වර්තමානයේ උද්ගතව ඇති ඩොලර් හිඟය මුල් කොට පැන නැඟී ඇති ආනයන අපහසුතාවට රජය යොදන නොවිධිමත් කෙටි කාලීන විසඳුම් සඳහා බහුල ලෙස යොදන ‘එදා වේල ටුවර්ස්’ නවීන පිරුළ මේ වන විට නිතර භාවිතයට ගැනෙයි.
සමාජයේ අනේක විධ සංසිද්ධීන් වඩාත් පහසු හා සරල ස්වරූපයෙන් කියා පෑම සඳහා යොදන ‘පිරුළු’ ද කාලානුරූපී ලෙස සකස් වීම හා වෙනස් වීම නිරතුරුව සිදුවන්නකි.
ඒ අනුව සෙසු දේශපාලන, සමාජ, ආර්ථික,සංස්කෘතික ආදී විෂය පථයන් හා සම්බන්ධ පැලැස්තරවාදී තාවකාලික විසඳුම් යෙදීම පිළිබඳව සරලව කරුණු ඉදිරිපත් කිරීම පිණිස ද ‘එදා වේල ටුවර්ස්’ යන්න යොදනු ලැබේ.
ඒ අනුව මූලිකවම කිව යුත්තේ මෙය නූතන සමාජය හා විද්‍යා තාක්ෂණය පදනම් කොට ගත් නවීන පිරුළක් බව ය. සමාජයේ භාවිතා වන සෑම පිරුළක් සම්බන්ධයෙන්ම කිසියම් මූල රූපයක් දක්නට ලැබේ. එය ඇතැම් විට යම් සිදුවීමක්, පුරාවෘත්තයක්, ජනශ්‍රැතියක් මුල් කොට බිහි වූවක් විය හැක.
ඉංග්‍රීසියෙන් Tour නු චාරිකාව සංචාරය සඳහා යොදෙන වදනක් වන අතර Tours යන්නෙන් චාරිකා සහ සංචාර මෙහෙයවන්නා සංවිධානය කරන්නා යන අරුත ද පළ වෙයි. පසුගිය කාලයේ වන්දනා, විනෝද සහ අධ්‍යාපන චාරිකා සඳහා යොදා ගන්නා බස් රථවල සිංහල බසින් ‘සංචාරකයෝ’ යනුවෙන් ඉංග්‍රීසි බසින් Tours යනුවෙන් ද සටහන්ව තිබූ අයුරු අපට මතක ය.
අප රටේ පෞද්ගලික බස් කර්මාන්තය ඇරඹී කෙටි කලකින් ජාතික ප්‍රවාහන කොමිසම, මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය වැනි ආයතන පිහිටුවා එහි යාන්ත්‍රණය වඩාත් විධිමත් සහ ක්‍රමවත් ලෙස සකසන ලදී.
එහි දී එක් එක් මාර්ග වල ධාවනය කෙරෙන බස් රථ සඳහා ඒ මාර්ගයට සහ ගමනාන්තයට පමණක් අදාල මාර්ග බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියක් බිහි විය.
අප රටේ ප්‍රධාන සහ දෙවන පෙළ මාර්ග සඳහා මාර්ග බලපත්‍ර ලබා ගැනීමේ උනන්දුව ඒ මාර්ග වල බස් රථවලින් ලැබෙන ආදායම් මත තරඟකාරී පදනමින් ඉහළ පහළ යාමක් දක්නට ලැබිණ. නමුත් ග්‍රාමීය මාර්ග වල බස් රථ ධාවනය සඳහා මාර්ග බලපත්‍ර ලබා ගැනීම එතරම් තරඟකාරී නොවූයේ ඒවායේ බස් රථ ධාවනය කිරීම ව්‍යාරික මට්ටමින් කළ නොහැකි වූ බැවිනි.
එමෙන්ම ඒ තත්වය හේතු කොට ගෙන එම ග්‍රාමීය මාර්ග සඳහා යොදවන ලද්දේ ප්‍රධාන සහ අතුරු මාර්ග වල ධාවනය කොට හිමි කරුවන් කිහිප දෙනකු අතට පත් වූ මිල අඩු අබලන් බස් ය.
එමෙන්ම පවත්නා අබලන් තත්වය නිසා නිතර අලුත්වැඩියා කිරීමට සිදු වූ බැවින් ඇතැම් විට ඒවා ධාවනය කර වීමෙන් ලැබෙන ආදායමට වඩා වැඩි ආදායමක් ඒවා නඩත්තු කිරීමටත් අලුත් වැඩියා කිරීමටත් වැය විය. බොහෝ විට ඒ අබලන් බස් රථ වල හිමිකරුවන් සහ ඔවුන් ගේ පවුල්වල සාමාජිකයන් ඒවායේ රියැදුරු සහ කොන්දොස්තර වරුන් ලෙස කටයුතු කළ බව මට මතක ය.ඒ සේවකයන්ට වැටුප් ගෙවීමට තරම් මුදලක් ඉන් උපයා ගත නොහැකි වූ බැවිනි.
නිශ්චිත හෝ නියමිත ගමන් වාර සංඛ්‍යාවක් නොතිබූ බැවින් උදෑසන හිතෙන වේලාවක බසය මාර්ගයට ගන්නා එම බස් රථ හිමිකරු තමන්ට හිතුණු ගමන් වාර ප්‍රමාණයක් එය එහාට මෙහාට ධාවනය කරවීම සාමාන්‍ය තත්වයක් විය.පසුව ඩීසල් වියදමට අමතරව තවත් කීයක් හෝ අතට පත් වූ පසු ඒ මුදලින් ගෙදර දොර ඉවුම් පිහුම් වලට වුවමනා හාල්.පොල්,සීනි,තේ කොළ,තුන පහ ටිකක් ද ඒ ආසන්න කඩ පෙළකින් රැගෙන බොහෝ විට ඇඳිරි වැටීමට පෙර ඒ බස් රථය ගෙදරට ගෙන ගොස් දැමීම හිමි කරුගේ සාමාන්‍ය සිරිත විය.
නමුත් පසු දා එහි හිමිකරුට වෙනයම් වැඩක් යෙදී තිබීම බස් රථයේ කුමක් හෝ දෝෂයක් මත එය ධාවනයට යොදා ගත නොහැකි වීම ආදී හේතුන් මත ඒ බස් රථ ගෙවත්තෙන් පිටතට නොගත් අතර ඒ යථාර්ථය හඳුනා ගෙන සිටින මගීහු ද ඒ බස් රථ ගැන වැඩි බලාපොරොත්තුවක් තබා නොගත්හ.
එම බස් රථ සඳහා ඒ කාලයේ යෙදුණු “එදා වේල ටුවර්ස්” යන වදන මා මුලින්ම අසා දැන ගත්තේ ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවියකව සිටි අසූව දශකයේ දී ය.
එකල පැල්මඩුල්ලේ සිට ග්‍රාමීය ප්‍රදේශයක් දක්වා ධාවනය වූ එක් බස් රථයක් අප සමඟ උගත් සිසුන් විසින් හඳුන්වන ලද්දේ ‘එදා වේල ටුවර්ස්’ යනුවෙනි.
එනිසාම ඒ බස් රථය හිමිකරුගේ දියණියක වන අප පන්තියේ ඉගෙනුම ලැබූ සිසුවියකට ද පාසලේ දඟකාර කටකාර කොල්ලන් විසින් “එදා වේල ටුවර්ස්” යන නම පටබැඳ තිබිණ.
මෙම නොවිධිමත් සහ නොදියුණු යාන්ත්‍රණය එවක අප රටේ ග්‍රාමීය තලයේ ප්‍රවාහනය පිළිබඳ පොදු ලක්ෂණයක් වූ බැවින් එම මාදිලියේ බස් රථ රට පුරා එවක ‘එදා වේල ටුවර්ස්’ නමින් හඳුන්වන්නට ඇත.
නමුදු ඒ නොදියුණුව බොහෝ වර්තමාන දේශපාලන තීන්දු තීරණ සම්බන්ධයෙන් සියයට සියයක්ම ගැලපීම මගින් පැවසෙනුයේ අපේ රට සමාජ ආර්ථික සහ දේශපාලනමය වශයෙන් යළි නොදියුණු ප්‍රාථමික යුගයක් වෙත ඇදෙන බව නොවේද?
දමයන්ති ගමගේ