එදා සුද්දන් සුනඛයන්ට සම කළ ඉන්දියානුවෙක් අද සුද්දන්ගේ අගමැති පුටුවේ

sudda

ඉන්දියානු සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතික විද්වතකු වන හතලිස් දෙහැවිරිදි සෘෂි සුනක් පසුගිය ඔක්තෝබර් 25දා මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය පදවියට පත් විය. “හිරු නොබසින අධිරාජ්‍යය” නමින් ප්‍රකට මෙම දේශයේ පනස් හත් වන අග්‍රාමාත්‍යවරයා,සේම අග්‍රාමාත්‍ය පදවියට පත් පළමු ඉන්දියානුවා සේම පළමු ආසියානුවා වනුයේ ද සෘෂි සුනක් ය. 1960 දශකයේ නැගෙනහිර අප්‍රිකාවේ සිට බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූ ඉන්දීය යුවලකට දාව 1980 මැයි 12දා එංගලන්තයේ සවුත්හැම්ටන් හි දී උපත ලත් සෘෂි ‘සුද්දකු’ නොකොට ඉන්දියානුවකු ලෙසම බ්‍රිතාන්‍ය සමාජය තුළම ස්ථාපිත කිරීමට ඔහුගේ දෙමාපියන් දැරූ වෑයම කොතෙක් ද යත් සෘෂි ගේ සාර්ථකත්වය ඔහු ජීවිතයේ හරි මැද දී ලබාගත් අග්‍රාමාත්‍ය පදවිය තෙක්ම ඉහළ නැංවිණි.

නමුදු බ්‍රිතාන්‍ය ජාතිකයන් හෙවත් “සුද්දන්” ඉන්දියානුවන් ඇතුළු පෙරදිග වැසියන් කෙරෙහි අතීතයේ දක්වන ලද ආකල්පය අතිශය පහත් එකකි. අදටත් උතුරු ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශයේ පිහිටි ‘ශිම්ලා’ නගරය සමස්ත ඉන්දියාවේ ප්‍රමුඛතම සංචාරක නගරයක් බවට පත්ව තිබේ.අතීතයේ එහි කාලි දෙවඟනගේ අවතාරයක් වන “ශ්‍යාමලා” දේවිය සඳහා කෝවිලක් පැවතීම මත පසුව එය ශිම්ලා නමින් ප්‍රකට විය. ඉංග්‍රීසින් විසින් ඉන්දියාව අත්පත් කර ගත් මුල් කාලයේ කුඩා ග්‍රාමීය ජනාවාසයක්ව පැවැති ශිම්ලා හි දේශගුණය එංගලන්ත දේශගුණයට බෙහෙවින් සමාන වූ බැවින් ඉන්දියාව ආක්‍රමණය කරගත් ඉංග්‍රීසි ජාතීහු තම ගිම්හාන නිවාඩුව ගත කිරීම පිණිස ශිම්ලා වෙත ගියහ.පසුව හිමාචල් ප්‍රදේශ් හි ප්‍රධාන වානිජ මධ්‍යස්ථානයට පත් ශිම්ලා හි බටහිර සංස්කෘතියට අයත් විවිධ අංග ස්ථාපිත වූ අතර ඉංග්‍රීසි යුද හමුදා නිලධාරීන් සිවිල් නිලධාරීන් සහ විනිසුරු වරුන් සඳහා පමණක් වෙන් වූ නොයෙකුත් විනෝදාංශ සපිරි ශිම්ලා රාජකීය සමාජ ශාලාව ඉදිරිපිට සුනඛයන් හෝ ඉන්දියානුවන් නැත(No dogs or Indians ) යනුවෙන් පුවරු සවි කරන ලද්දේ ඉන්දියානුවන් හට කළ හැකි පරම නිග්‍රහය ලෙසිනි.

1844 ශිම්ලා හි ආරම්භ කළ යුනයිටඩ් සර්විස් කල්බ් නම් ප්‍රභූ පැළැන්තියේ සුද්දන්ට පමණක් සීමා වූ සමාජ ශාලාවකට බැරි වීමකින් හෝ ඉන්දියානුවකු ඇතුළු වීම “ඉළ ඇට කඩා ගැනීමට” හේතුවක් බව එකල ප්‍රකට විය.
නමුත් එම No dogs or Indians පුවරු කියැවීමට නොහැකි වුව ද සුනඛයන් ඒවාට නොපිවිසීම මත ඔවුනට නම් ඒ ඉරණම අත් නොවූ බව පෙනේ. ඉන්දියාව තුළ මේ ආකාරයේ දැන්වීම් ප්‍රදර්ශනය වූයේ ශිම්ලා හි පමණක් නොවේ. ඉංග්‍රීසින් අත්පත් කර ගත් ඉන්දියාවේ බොහෝ ප්‍රධාන ගොඩනැගිලි වල ද මේ සඳහන සහිත පිත්තල පුවරු අදත් දක්නට තිබේ. ඒ අනුව තම පාලනය තුළ ඉංග්‍රීසීන් ඉන්දියානුවන් කෙතරම් පීඩනයට, අවමානයට ලක් කරන ලද්දේ දැයි සිතා ගැනීමට පුළුවන.

කෙසේ හෝ කුඩා කල සිට ඉගෙනීමට උපන් හපනකු වූ සෘෂි සුනක් වින්ස්ඩර් විද්‍යාලයෙන් ඉගෙනුම ලබා පසුව ඔක්ස්ෆර්ඩ් විද්‍යාලයේ ලින්කන් ආයතනයෙන් දර්ශනය, දේශපාලනය සහ ආර්ථික විද්‍යාව යන දියුණු දේශපාලනය සඳහා වන අත්පොතක් බඳු PPE උපාධිය දිනා පසුව ෆුල්බ්‍රරිට් ශිෂ්‍යත්ව ධාරියකු ලෙස ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ MBA උපාධිය ද දිනා ගැනීමට සමත් විය.

පසුව දේශපාලනයට සම්බන්ධ වූ මූර්ති වයස අවුරුදු තිස්පහේ දී 2015 වසරේ රිච්මන්ඩ් (යෝකර්ස්) හි පාර්ලිමේන්තු ධූරයකට පත් වූ අතර වයස අවුරුදු තිස් නවයේ දී එනම් 2019 දී භාණ්ඩාගාරයේ ප්‍රධාන ලේකම් පදවියට පත්ව හතලිස් වන වියේ දී එනම් 2020 වසරේ භාණ්ඩාගාර චාන්සලර් පදවියට පත් විය. පසුගිය ඔක්තෝබර් 24 වන කන්සවේටිව් පක්ෂ නායකත්වයට පත් වූ ඔහු ඊට පසු දින බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය පදවියේ දිවුරුම් දෙන ලද්දේ ‘සුනඛයන් හෝ ඉන්දියානුවන් නැත’ යනුවෙන් ඉංග්‍රීසි යටත් විජිත සමයේ සුද්දන් ඉන්දියාවනුවන්ට කළ ඓතිහාසික සරදමට දිය හැකි හොඳම පිළිතුර ලබා දෙමිනි.

සාමාන්‍යයෙන් තම මව්බිම හැර විදෙස් රට වලට සංක්‍රමණය වන බොහෝ දෙනෙක් තම මව් රට සේම රට සංස්කෘතිය මුළුමනින් අමතක කොට එසේ සංක්‍රමණය වූ රටේ සමාජ, ආර්ථික,සංස්කෘතික ලක්ෂණ ඉත සිතින් වැළඳ ගනිති. එහෙත්, අප කාටත් වැටහී යන අන්දමට කිව හොත් මහා බ්‍රිතා‍න්‍යයේ උපත ලැබුවද ඉන්දීය සම්භවයක් සහිත සෘෂි සුනක් “ඒ ජාතියේ මිනිහෙක්” නොවේ.සෘෂි යන භාරතීය නමේ අරුත ද සාමන්‍ය මහුෂ්‍යත්වය අබිබවා උත්තරීතර තත්වයට පැමිණි යන්න ය.

සුද්දන් ගේ රාජධානීයේ ඉපදී ඔවුන් අතරම හැදී වැඩී “සුදු කෙල්ලන්” සමඟ අධ්‍යාපනය ලත් මේ සුවිශේෂ ඉන්දියානුවා තම පෙම්වතිය ලෙස තෝරා ගත්තේ ද ඉන්දීය සම්භවයක් සහිත මෝස්තර නිරූපිකාවක වන අක්ෂතා මූර්ති ය.බ්‍රිතාන්‍යයේ ඉන්ෆොසිස් හි කෝටිපති ඉන්දීය ව්‍යාපාරික එන්. ආර්.නාරායන් මූර්ති ගේ දියණිය වන ඈ ද මහා පරිමාන සමාගම් අධ්‍යක්ෂ වරියකි. 2009 සෘෂි ගේ සහ අක්ෂතාගේ විවාහය සිදුවන විට ඔවුන් දෙදෙනා ගේම වයස අවුරුදු විසි නවයක් වීම විශේෂත්වයකි.මේ වන විට ඔවුනට දියණි වරුන් දෙදෙනකු සිටින අතර වැඩිමල් දියණිය ගේ නම භාරතීය හින්දු දේව සම්ප්‍රදායේ පූජනීය නාමයක් වන ක්‍රිෂ්ණා ය.බාල දියණිය අනුෂ්කා වන අතර එහි හින්දි අරුත ප්‍රසාදනීය යන්න ය.මෙම සුනක් පවුල දැඩි හින්දු භක්තිකයන් අතර තම ජීවන ගමන් මඟට හින්දු ආගමේ පූජනීය කෘතියක් වන “භගවත් ගීතා”වෙන් මහත් ආලෝකයක් ලැබුණු බව වරක් සෘෂි මාධ්‍ය හමුවේ කියා තිබේ.

බ්‍රිතාන්‍ය ප්‍රවෘත්ති සේවා වාර්තා කරන අන්දමට සෘෂි අක්ෂතා යුවල මේ වන විට බ්‍රිතාන්‍ය ධනවතුන් ගේ ලැයිස්තුවේ 222 තැනට පත්ව සිටිති. මහා බ්‍රිතාන්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහය අනුව ඔහුගේ සම්භවය එහි අගමැති පදවිය හිමි කර ගැනීමට බාධාවක් නොවේ.එමෙන්ම සංවිධිත සමාජ, ආර්ථික පදනම මත අපේ රටේ බොහොමයකට මෙන් දේශපාලනය පදනම් කොට ආර්ථිකයේ පහළම අඩියේ සිට ඉහළම තැනකට පැමිණීමේ හැකියාවක් හෝ අවශ්‍යතාවක් ඔවුනට නොමැත. කෙසේ හෝ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ සුද්දන් ගෙන් සුනඛයන්ට සම කොට පරිභව ලත් ඉන්දියානුවන් ගේ සම්භවයේ අයකු තම ජීවිතයේ ඇති සකල විධ කුශලතා උපයෝගී කර ගනිමින් මහා බ්‍රිතාන්‍යයේ පවත්නා ප්‍රජාතන්ත්‍රීය බව පදනම් ව එහි අග්‍රාමාත්‍ය පදවියට පත් වීම අප සිත් තුළ පවා සියුම් අභිමානයක් දනවන්නකි.

එමෙන්ම එවක සුද්දන් ඉන්දියානුවන්ට සම කරමින් නිග්‍රහ කළ සුනඛයන් ගේ තත්වය ද අද මහා බ්‍රිතාන්‍යය ප්‍රමුඛ යුරෝපාකරයේ කෙතරම් ප්‍රවර්ධනය වී තිබේද? යත් බ්‍රිතාන්‍ය රාජකීය මාලිගා තුළ රජ සැප විඳින්නවුන් අතරට සුනඛයෝ ද පත්ව හිඳිති. නමුත් එංගලන්තයේ වෙස්මිනිස්ටර් දෙව් මැදුර තුළ රාජකීය සුනඛයකුට වුව නිල පිළිගැනීමක් ලබා දී නැති අතර ඉදිරි මානව චින්තන පරිනාමයේ දී එම තත්වය ද වෙනස් වනු ඇත.

දමයන්ති ගමගේ

එතෙර - මෙතෙර