වැසියන් ගෑස්, කිරි, හාල්, පෝලිම්වල පැය ගණන් වරු ගණන් තපින අතරේ ආණ්ඩුව 2021 වසරේ අවසන් දවසේ රු. ලක්ෂ 66,500 ක් මුද්‍රණය කර ඇත. 2021 ජනවාරි 01 දින සිට දෙසැම්බර් 31 දක්වා දින 365 තුළ ආණ්ඩුව අච්චු ගැසූ මුදල් ප්‍රමාණය රු. ලක්ෂ 6,783,300 ( බිලියන 678.33) කි.
ආණ්ඩුවේ සල්ලි අච්චු ගැසීම හරියට ‘Catch me if you can’ චිත්‍රපටියේ නත්තල් දවසේ රැ, රටට උත්සවශ්‍රීයෙන් නත්තල සමරන විට, ප්‍රංශයේ ඉදන් හොර සල්ලි අච්චු ගැහුවා වගේ වැඩකැයි. යැයි හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් පවසයි.ඒ නිවේදනයක් නිකුත් කරමිනි.ඔහු පවසන ලෙසම ආණ්ඩුව ජනතාවට මේ පෙන්වනුයේ මූල්‍යමය බයිස්කෝප් එකකි.එහෙත් ඒ සම්බන්ධයෙන් එන්න!නරඹන්න ! ප්‍රීතිවන්න! කියා හඬ නැඟිය නොහැක්කේ එය ආර්ථිකය ඔස්සේ සමස්ත රට ජාතියම බරපතල ඛේදවාචකයක් කරා ඇදගෙන යන ක්‍රියාවක් බැවිනි.
“කලින් දවසේ ඩොලර් මිලියන 1500 ක් රටට ආවා කියලා ඉලක්කම් විජ්ජාවක් පෙන්නපු ආණ්ඩුව පහුවදා, මෙහෙම සල්ලි අච්චු ගැසීමෙන් වෙන්නේ දැන් ගුවන්ගත වෙලා තියෙන බඩු මිල, රොකට් ගත වීම. පසුගිය වසරට ආණ්ඩුව රු. ලක්ෂ හැට හත් ලක්ෂ අසූතුන් දහස් තුන්සීයක් (6,783,300) ලංකා ඉතිහාසයේ කිසිම දවසක මෙහෙම සල්ලි අච්චු ගැහිල්ලක් වෙලා නෑ.අද උද්ධමනය කියන්නේ ඉලක්කමක් විතරයි. දවසට දෙතුන් සැරයක් බඩු ගණන් යනවා. මේ තත්වය පාලනය කරන්න ආණ්ඩුව කිසිම පියවරක් ගන්නේ නෑ.
දවසෙන් දවස රටේ ආර්ථිකය බිඳ වැටෙනවා. කාබාසිනියා වෙනවා. හැමදේටම ආණ්ඩුවට තියෙන පිළිතුර සල්ලි අච්චු ගැසීම විතරයි.වටිනාකමක් නැති සල්ලි කොළ අච්චු ගැහුවාම භාණ්ඩ මිල ඉහළ යනවා. මේ අච්චු ගහන සල්ලි කොළ කන්න බෑ. රටේ තියෙන සීමිත හාල්, ගෑස්, කිරි ටික ගන්න පෝලිමේ ඉන්න මිනිස්සු සංඛ්‍යාව දවසින් දවස වැඩිවෙනවා‘ යැයි ද, තෙන්නකෝන් මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
මුදල් අච්චු ගැසුවාට රට තුළ ඩොලර් නොමැතිවීම හේතු කොට මුද්‍රණය කරන මුදල් වල සැබෑ වටිනාකමක් නොමැත. මන්ද එම මුදල් වියදම් කොට කිරීමට දෙයක් නොමැති බැවිනි. රුපියල දිනෙන් දින බාල්දු වන අතර රුපියල් දහස නෝට්ටුව රුපියල් 100 නෝට්ටුවක වටිනාකමට පත්ව තිබේ. එදා රුපියල් සියයකින් ගත් භාණ්ඩ කොටස අද ගැනීමට නම් රුපියල් 1000 ක් වත් තිබිය යුතු ය.
රට තුළ ඩොලර් නොමැතිවීම කොට ආනයනික භාණ්ඩ ගෙන ඒමට නොහැකි වී තිබේ. ඊට හොදම උදාහරණය කිරි පිටි ය. කොපමණ මුදල් තිබුණත් අද කිරි පිටි පැකැට්ටුවක් ගැනීමට නම් පෝලිමේ සිටිය යුතුවේ. දුප්පතා මෙන්ම පොහොසතා ද අද කිරිපිටි පෝලිමට ගාල් වී ඇත්තේ ආනයනික කිරිපිටි නොමැතිවීම හේතු කොටගෙන ය.
එසේම වාහන අමතර කොටස් ද මේ වන විට ආනයනය නතර වී ඇත්තේ ද ඩොලර් ගැටළුව මූලික කොට ගෙන ගනිමිනි. ණයවර ලිපි විවෘත කොට ගෙන්වූ ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් වරායේ ගුදම්වල ගොඩ ගැසී ඇත්තේ එවා මුදා ගැනීමට නම් ණයවර ලිපියේ මුදල් ගෙවිය යුතු බැවිනි. එලෙස මුදල් ගෙවීමට ඩොලර් නොමැති නිසා එම භාණ්ඩ තොග මෙලෙස ගුදම්වල සිරවී තිබේ.
මාස හයක පමණ කාලයක් මෙලෙස භාණ්ඩ ගුදම්වල සිරවීම තුළ තවත් කල් යන විට එම භාණ්ඩ මුදාගත්ත ද ප්‍රයෝජනයට ගත නොහැකි වන්නේ ඒවා භාවිතා කිරීමට හැකි කාලය ඉකුත් වූ පසුව ය. ආනයනික භාණ්ඩ මිලදී ගැනීම වෙනුවෙන් අද වන විට දෙගුණයක මුදලක් ගෙවීමට සිදුව තිබේ. වාහන අමතර කොටස් වෙනුවෙන් ගෙවන මුදල ඊටත් ඉහළය.
රජය කිසිදු හිරිකිතයක් නොමැතිව රුපියල් අච්චු ගැසුව ද එහි වටිනාකම නොමැතිවීම නිසා රුපියල් සියය තඹ අළුක් කාල් ගණනට පහත වැටී තිබේ. පාන් පිටි ආනායනය ද සීමා කිරීමට සිදුවන බව තිරිගු පිටි ආනයනකරුවන් මේ වන විට ප්‍රකාශ කර තිබේ. ඒ ගෙන්වන පිටි වෙනුවෙන් මුදල් ගෙවීමට නොහැකිවීම හේතුකොට ගෙන ය.
රාජ්‍ය හා පෞද්ගලික බැංකු ද ඩොලර් නිකුත් කිරීම සීමා කොට තිබේ. ලංකා බැංකුව සිය ශ්‍රේණිගත කිරිම cc දක්වා පහත හෙළා තිබේ. එයින් කියා පාන්නේ ඔවුන් ණයවර ලිපි පවා නිකුත් කළ නොහැකි තැනකට පැමිණ ඇති බව ය. මුදල් අච්චු ගැසීම තුළ ජීවන වියදම ද ඉහළ ගොස් ඇත. උද්ධමනය වසර ගණනාවක් පුරා තනි ඉලක්කමේ පැවැති උද්ධමනය ඉලක්කම් දෙකක අගයක් දක්වා ඉහළ ගොස් තිබේ.
හතර දෙනෙකුගෙන් යුතු පවුලකට මාසයක් ජීවත් වීමට රුපියල් 60,000 ක් අවශ්‍ය බව සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ගණනය කර ඇත. එහෙත් රුපියල් 20,000 ක අවම වැටුප් ලබන සේවක සංඛ්‍යාව 60% ට ආසන්න ය. එනයින් බලන කල ජනතාවගේ ආදායම අනුව වියදම තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ.
මුදල් අච්චු ගැසීමෙන් මුදගේ වටිනාකම පහත යන බව ආර්ථික විද්‍යා සත්‍යයකි. එනම් පාන් ගෙඩියක් ගැනීමට විල්බැරෝවක මුදල් ගෙන යාමට සිදුවන බවට උදාහරණ දුන්නේ සිම්බාබ්වේ රාජ්‍යය. අද වන විට සිම්බාබ්වේ රාජ්‍ය සිය මුදල් ඒකකය අතහැර ඇමරිකානු ඩොලර් සිය මුදල් ඒකකය ලෙස භාවිතා කිරීඹට කටයුතු කර තිබේ.
ලංකාවට නම් එසේ කිරීමට ඩොලර් නැත. මුදල් අච්චු ගැසීම තුළ රාජ්‍ය සේවයක වැටුප් ගෙවීමට හැකියාවක් උදා කළද රාජ්‍ය සේවකයන්ට එහි වටිනාකමක් නොමැත. එසේම ළගදීම රුපියල් දස දහසේ නෝට්ටුව මුද්‍රණය කිරීමට සිදුවනු ඇති බවට ද ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති. මේ අනුව 2022 වර්ෂය ද රට තීරණාත්මක තැනකට මහබැංකුව විසින් ඇදගෙන ගොස් තිබේ.
ලසන්ත වීරකුලසූරිය