අද හැම දෙයක්ම ගිනි ගණන් යන්න වත්මන් සමාජයේ වැඩිම දෙනෙකු විසින් භාවිතා කරන වදන බවට පත් ව තිබේ.පසුගිය කාලයේ යම් භාණ්ඩයක හෝ සේවාවක මිල ඉහළ යාම් සම්බන්ධයෙන් ජනතාවගේ විශේෂ අවධානය යොමු වූ අතර අද එසේ විශේෂ අවධානය යොමු වනුයේ භාණ්ඩ හා සේවාවන්හි මිල ඉහළ නොයාම් සම්බන්ධයෙනි.
මෙම ඇතැම් මිල ඉහළ නැංවීම් යම් විධිමත් ස්වභාවයකින් යුතු වන අතරේ තවත් ප්‍රමාණයක් අමු අමුවේ ගසා කෑම් බව පෙනෙයි.මේවා අතුරුන් වැඩිපුර දක්නට ඇත්තේ සැබෑ මිල වැඩි වීම් ද නැතහොත් ඒ ඔස්සේ සිදු කරන ගසා කෑම් ද යන්න නිශ්චය කර ගත නොහැකි මට්ටමට අද තත්වය ව්‍යාකූල වී ඇත.
ඇතැම් පෞද්ගලික බස්රථ කොන්දොස්තර වරුන් නියමිත ගාස්තුවට වඩා මගීන්ගෙන් මුදල් අයකරන බවට කලෙක සිට එල්ල වූ එල්ල වූ පොදු චෝදනාව මෙවර බස් ගාස්තු වැඩි කිරීමෙන් පසු පසු අහස උසට ඉහළ නැංවී ඇති බවට මගීහු ගේ ප්‍රකාශ මගින් තහවුරු වෙයි. වැඩි කළ අවම බස් ගාස්තුව රුපියල් 17 ක් වුවත් ඇතැම් කොන්දොස්තරලා ඒ වෙනුවට රුපියල් 20 ක්ම ගනිති.
නව ගාස්තු යටතේ රුපියල් 33 ගාස්තුවට 40 ක්ද 52 ගාස්තුවට 60 ක් ද 74 ගාස්තුවට 80 ක් ද ආදී වශයෙන් මොවුහු අයකරති. මේ නිසා මගීන් සහ කොන්දොස්තරවරුන් අතර උණුසුම් තත්ත්වයන් හට ගන්නා අවස්ථා ද තිබේ.
මේ වන විට බොහෝ කොන්දොස්තරවරුන් ටිකට් මැෂින් ද භාවිතා නොකරන අතර එය බොහෝ විට බසයේ කොහෝ හෝ සඟවා තිබේ.එවන් අඩුපාඩු කම් ගැන කතා කරන අවස්ථා වල බොහෝ කොන්දොස්තර වරුන් මගීන්ට දෙන පොදු පිළිතුරක් වනුයේ”යන්න බැරි නම් බහින්න”යන්න ය.
එහෙත්, එම බස් රථයේ හිමිකාරිත්වය පෞද්ගලික වුව ද එය මගී සේවා සඳහා යොදවා ඇති විටෙක ඒ “පෞද්ගලික” යන නිර්වචනය අහෝසි වන බවත් එවැනි කරුණු දැක්වීම මගින් බසයට නඟින මගියා ප්‍රතික්ෂේප කිරීමට රියැදුරුට කොන්දොස්තරට හෝ බසයේ හිමි කරුට අයිතියක් නොමැති බවත් තවමත් බොහෝ දෙනෙක් නොදනිති.
ඒ කෙසේ හෝ ජීවන වියදම දරා ගත නොහැකිව ජනතාව දැඩි දුක් පීඩාවකට ලක් වූ හා බස් ගාස්තු සැලකිය යුතු ආකාරයකින් වැඩි කළ අවස්ථාවක මෙලෙස බස් මගීන් ගෙන් අසාධාරණ ලෙස මුදල් අය කිරිම ජනතාව තවත් පිඩාවට පත් කරන්නක් බව හයක් හතරක් දත් කිසිවකුටත් අමුතුවෙන් කියා දිය යුතු නොවේ.
අදාල ගමනාන්තය සඳහා නියමිත ටිකට් පතක් ලබා නොදී ලබා ගන්නා මෙම අතිරේක මුදල කොන්දොස්තර හෝ රියැදුරු කොන්දොස්තර යන දෙදෙනාම බෙදා ගනු ඇතැයි බොහෝ දෙනෙක් සිතති.ඒ හැරුණු කොට මෙසේ ලබා ගන්නා අතිරේක මුදල ඔවුන් බස් හිමියා අතට පත් කරතැයි කිසිවකුත් විශ්වාස කරන බවක් නොපෙනෙයි.
එහෙත්,අප රටේ දූෂිතම කර්මාන්ත අතරිනුදු පෞද්ගලික බස් රථ කර්මාන්තය මුල් තැනකට පැමිණ ඇත්තේ මෙලෙස මගීන් ගෙන් මුදල් ගසා කෑම නිසා හෝ “මාටියා ගැහීම”යන පෞද්ගලික බස් කර්මාන්තය ඔස්සේම සමාජ ගත වූ බස් කොන්දොස්තර වරුන් තමන් මගීන් ගෙන් ලබා ගන්නා මුදල් බස් හිමි කරුවන්ගෙන් යටි මඩි ගැසීම නිසා නොවේ.
ඒ කර්මාන්තය හා සබැඳි මහා පරිමාන කප්පම් යාන්ත්‍රණය නිසා ය.ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන අන්දමට අප රටේ පෞද්ගලික බස් කර්මාන්තයෙන් උපයන මුදලින් කප්පම් සඳහා මාසික ව වැය කිරීමට සිදු වන මුදල රුපියල් කෝටි දාහතකි.
මේ කප්පම් ක්‍රියාවලිය සඳහා පෞද්ගලික බස් රථ කර්මාන්තය සඳහා නිල දායකත්වයක් උසුලන වේලා සටහන් කරුවන් ගේ සිට ජාතික ප්‍රවාහන කොමිසම දක්වා නොනිල දායකත්වයක් සපයන බවද ඔහු කියයි.ඊට අමතර ව රාජ්‍ය අංශයේ විවිධ නිලධාරීන් හට ද කප්පම් දීමේ යාන්ත්‍රණයක් අන්තර් පළාත් බස් රථ ධාවනයේ දී සිදු වන බවත් වග කිව යුත්තන් මේවා දැන දැනත් නොදන්නා ලෙසින් හිඳින බවත් පෞද්ගලික බස් සේවකයෝ කියති.
ඊට අමතරව ප්‍රාදේශීය බස් රථ මඟින් ද විවිධාකාර කප්පම් ලෙසින් මුදල් කුට්ටි වෙන් කරන්නට සිදු වීම මත බස් කොන්දොස්තර වරුන් ද මෙලෙස මගීන් ගෙන් “කප්පම් ගන්නා”: තත්වයට පත් ව ඇතැයි එම ක්ෂේත්‍රය තුළින්ම අසන්නට ලැබේ.
පෞද්ගලික බස් කර්මාන්තය හා සබැඳි මෙම කප්පම් යාන්ත්‍රණයේ අක් මුල් අප රටේ පාතාල ක්‍රියාකාරිත්වය තෙක්ම විහිද ඇති බවත් එම කප්පම් වල”අග්‍ර භාගය”පාතාල ක්‍රියාකාරීන් අතට පත් වන බවත් බොහෝ දෙනෙක් කියති.ඒ අනුව අපට පසක් වනුයේ මොන තරම් කයිවාරු පුරසාරම් දෙඩුවත් අප රටේ පාතාලය මැඩලන්නට වත්මන් රජයට නොහැකි වී ඇති බව ය.
මේ අතර පෞද්ගලික බස් කර්මාන්තය හා සබැඳි කප්පම් යාන්ත්‍රණය පිටු දැකීම පිණිස පසු ගිය කාලයේ පොලිස් විශේෂ කාර්ය බලකාය පවා යොදවන ලද බව ද දැන ගත භැකි විය.එහෙත්,දැන් එළඹ ඇති තත්වය හමුවේ යමකුට පෙනී යනුයේ පෞද්ගලික බස් රථ කර්මාන්තයේ නිල නොලත් ආධිපත්‍යය දරන මේ”ගෝඩ් ෆාදර්ලා”ගේ බලය පොලිස් විශේෂ කාර්ය බලකාය පවා ඉක්මවා මතු වී ඇති බවකි.
එමෙන්ම ඔවුන්ගේ ඒ අවනීතික බලය මාර්ග බලපත්‍ර නොමැති බස් රථ සඳහා ධාවනයට අවසර දීමට තරම් ප්‍රබල වී ඇති බවකි.
නමුදු, ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානයක් වන එල්ටීටීයට යුදමය වශයෙන් පරාජය කරවීමට ප්‍රබල දායකත්වයක් දුන් බව පැවසෙන වත්මන් ජනාධිපති වරයා බස් මගීන් ගෙන් දිනපතා රුපියල් කිහිපයක් ගසා කෑමේ සිට පෞද්ගලික බස් කර්මාන්තයේ යෙදෙන්නවුන්ගෙන් මාසිකව රුපියල් කෝටි හැත්තෑ පහක් දක්වා ගිල ගන්නා මෙම පෞද්ගලික බස් මාෆියාව මැඩලීමට අසමත් වී ඇත්තේ මන්ද යන්න මොළ ගෙඩිය දස අතට විහිදුවා වත් තේරුම් ගත නොහැකි ගැටලුවක් ව තිබේ.
දමයන්ති ගමගේ