එල්ටීටීඊ ලාංඡන වාහනයේ නැඟි කාලි තවමත් අපට වින කටිනවාද?

වර්තමාන ශ්‍රී ලාංකේය ජන සමාජයේ ඇදහීමට ලක් වන දෙවි දේවතාවන් කොතෙකුත් සිටිය ද ඔවුන් අතුරින් මෙරට පොදු ජනතාව අතර අනියමින් හෝ කතා බහට පත් වූ දේවතාවිය කාලි දෙවඟන ය.

පසුගිය කාලයේ ලෝක වසංගත තත්වයට පත් වූ කොවිඩ් උවදුරින් අත් මිදීම පිණිස ලොව සෑම රටක්ම විද්‍යා තාක්ෂණයේ පිහිට පතන අතරේ අප රටේ රාජ්‍ය මට්ටමේ අවධානය පවා මුලින්ම යොමු වූයේ කාලි දෙවඟන දුන් වට්ටෝරුවකට අනුව කොවිඩ් සුව කරන පැණියක් තැනූ බව කී මේසන් බාස් උන්නැහේ කෙනකු වෙතට ය.

රජය එම මිථ්‍යාවේ ගිලී කොවිඩ් එන්නත්කරණ වැඩ සටහන් කල් නොදමන්නට එදා මෙදා සිදු වූ කොවිඩ් මරණ “එකට එකක්” අඩු කර ගත හැකිව තිබිණ.

මීට අමතරව මේ වන විට ජනපති වරයා රාජ්‍ය පාලන කටයුතු වලට පවා උපදෙස් දෙන බවට රට පුරා ප්‍රකටව සිටින අනුරාධපුර මහ රෝහලේ ඇටන්ඩන්ට් වරියක ලෙස කලක් සේවය කළ අනුරාධපුර ගුවන් තොටුපල පාරේ, කැටේ හන්දියේ “ඥානක්කා” නම් කාන්තාව ද මීට කලක සිට අනුරාධපුර ප්‍රදේශවාසීන් දැන සිටියේ කාලි වරමින් ශාස්ත්‍ර කියන්නියක ලෙසිනි.

ඒ අනුව මේ වන විට අපේ සමාජය කෙරෙහි වැඩිම බලපෑමක් කළ දෙවඟන කාලි බවට සැක නැත. කාලි මෑණියන්, කාලි අම්මා සහ ද්‍රවිඩ ජාතිකයන් කාලි අම්මාන් නමින් හඳුන්වන මැය ජන සම්මතය අනුව නපුරු, චණ්ඩ ගතිගුණවලින් හෙබි දේවතාවියකි. එමෙන්ම කාලි දෙවඟන විවිධ ස්වරූප හෙවත් අවතාර අටකින් පෙනී සිටින බවට ජන විශ්වාසයක් තිබේ.

මේ එක් එක් අවතාරය මුල්කර ගත් වෙනම පුරාවෘත්ත ගොඩ නැගී ඇති අතර ඒවායින් කාලි දෙවඟන සතු එකිනෙක සුවිශේෂතා ඉස්මතු වී පෙනෙන බව පැහැදිලි ය. ඒ අතුරින් මෙම කාලි දෙවඟනගේ එක් අවතාරයක් වනුයේ ‘පත්‍ර කාලි’ ය. එය මුල් කොට කාලි දෙවඟන සතු අවතාර අටක් නොව නවයක් ඇතැයි පවසන්නෝ ද වෙති.

මෙම පත්‍ර කාලි යන ව්‍යවහාරය පසුකාලීන සිංහල ලේඛනවලට පවා ඇතුළත්ව ඇති අතර ඇය වසූරිය, පැපොල ආදී වසංගත දුරු කරවීමට සමත් වන්නියක ලෙස ද හැඳින්වෙයි.

එනිසාම ඇතැම් තැනක මෙම පත්‍ර කාලි දෙවඟන සහ වදුරු මා දේවි නම් දෙවඟන එකම දේවත්වයක් වශයෙන් සැලකීමට සමහරෙක් පුරුදුව සිටිති. නමුදු ඇතැම් පැරණි මූලාශ්‍රවලට අනුව මෙම පත්‍ර කාලි දෙවඟන සහ වදුරු මා‌ දේවි යන දෙවඟනන් අතර ඒකීයත්වයක් නොමැති බව ද පෙනේ.

වසූරිය නම් වන වසංගත රෝගය අප රටේ බහුලව පැතිර ගිය යුගවල මෙම පත්‍ර කාලි දෙවඟන ඇදහීම වඩාත් ව්‍යාප්තව තිබූ බව පෙනේ. ඒ එම රෝගය පැතිරවීමට සේම සුව කිරීමට ද ඇය තුළ සුවිශේෂ බලයක් තිබූ බවට පැතිර තිබූ විශ්වාසය මත ය.

කුවේනිය සරණ පාවා ගත් විජය කුමරු කිසිදා ඇය අත නොහරින බවට කළ ‘බොරු දිව්රීම’ පදනම් කර ගනිමින් කුවේණිය අප රටට එල්ල කළ ‘දිවි දෝෂය’ පිළිබඳ තොරතුරු කොහොඹා කංකාරි යාතු කර්ම සාහිත්‍යයෙහි සඳහන් වෙයි. ඒ දිවි දෝෂය මුල් කොට අප රටේ විශාල පිරිසක් වදුරු වසංගතවලට ලක් වූ බව පැවසෙයි.

මෙහි වදුරු යනු වසූරිය බව පැහැදිලිවම සඳහන් කළ හැක්කේ යෝග රත්නාකරණය නම් වෛද්‍ය ග්‍රන්ථයේ වසූරිය ‘වදුරු’ යන නමින් හඳුන්වා ඇති බැවිනි.

නමුදු මෙම පත්‍ර කාලි මෑණියන් හට යාදිනි කන්නලව් කිරීමෙන් හා බාරහාර වීමෙන් එම වදුරු වසංගත පිටු දැකිය හැකි බවට කෝට්ටේ රාජධානි සමය තෙක් මෙරට ප්‍රබල ජන විශ්වාසයක් පැවැති බව පෙනී යයි. නමුදු ඉන් පසුව එළැඹි සීතාවක, විශේෂයෙන්ම මහනුවර යුගවල දී ඉන්දියාවෙන් මෙරටට පැමිණි පත්තිනි දේව ඇදහීම මුල් කොට පත්‍ර කාලි නම් මේ සුවකාරක දේවතාවිය පිළිබඳ විශ්වාසය යම් ප්‍රමාණයකින් අඩු වූ බව ද තහවුරු වී තිබේ.

අතීතයේ වසූරිය රෝගයෙන් අසාධ්‍ය වන රෝගීන් වෙසෙන නිවෙස් වටා දිවියන් සැරිසරනු දක්නට ලැබිණ. ඒ එම රෝගයෙන් හටගන්නා තුවාලවලින් මතුවන දුර්ගන්ධය දිවියන්ට ආහාර රුචිය දනවන සුගන්ධයක් වූ බැවිනි. මෙම වසූරියෙන් මිය යන රෝගීන්ගේ මළ සිරුරු දිවියන්ට රස භෝජනයක් වූ බව ද පැවසෙයි.

සාමාන්‍යයෙන් කුණු වූ මස් ආහාරයට ගනු ලබන දිවියන් මෙබඳු ගන්ධයන් කෙරෙහි විශේෂයෙන් ආකර්ෂණය වන බව සත්වවේදීන් ඉතා හොඳින් තහවුරු කරගෙන ඇති කරුණකි.

මධ්‍යම කඳුකරයේ හෝර්ටන් තැන්න ආශ්‍රිතව සැරිසරන දිවියන් මස්කෙළිය, නල්ලතන්නිය, ගිනිගත්හේන ආදී ප්‍රදේශවල ඇති වතු ජනාවාස ආශ්‍රිත කුකුළු කොටුවලින් නික්මෙන ගන්ධය ඔස්සේ ඒ දෙසට සංක්‍රමණය වන බවටත් ඒ අතරේ විවිධ පුද්ගලයන් උන් උගුල්වලට හසු කොට මරා දමන බවටත් නොයෙක් විට තොරතුරු ලැබේ. දිවියන් හට මෙවන් දුර්ගන්ධයන් කිලෝ මීටර් තුනක පමණ දුරක් දක්වා ආඝ්‍රාණය වන බව සත්වවේදීහු පවසති.

මෙහි විද්‍යාත්මක පසුබිම කෙසේ වුව ද වසූරිය වැළඳුණු අයකු අසාධ්‍ය තත්ත්වයට පත්වීමේ දී එම නිවස අවට දිවියන් ගැවසීම ඒ තැනැත්තා මරණයට පත්වන බවට පෙරනිමිත්තක් ලෙස පැරණි ගැමියෝ සැලකූහ.

එමෙන්ම ඒ දිවියන් සැබෑ සතුන් නොවන බවත් පත්‍ර කාලි මැණියන් හෝ වදුරු මා දේවිය විසින් එවනු ලබන අවතාරයන් බවටත් ජන විශ්වාසයක් තිබේ. මෙම පත්‍ර කාලි මෑණියන්ගේ රූපකාය දක්වන ඇතැම් ඉන්දීය රූපවල ඇය කොටියකු හෙවත් බෙංගාල ව්‍යඝ්‍රයකුගේ පිට නැගී හිඳින චිත්‍ර ද දක්නට ලැබේ.

පත්‍ර කාලි මෑණියන් මෙම අවතාරය ජනතාව වෙත එවනුයේ ඔවුන් කෙරෙහි තම ශාපය එල්ල වීම ප්‍රකාශ කිරීමට බව ද ජන විශ්වාසයක් තිබේ.අප රටට ආගන්තුක සත්වයකු වන මෙම බෙංගාල ව්‍යාඝ්‍රයා මෙරට ජනතාවට බිහිසුණු සත්වයකු වූයේ එල්ටීටීඊ සංවිධාන ලාංඡනය බෙංගාල ව්‍යාඝ්‍ර මුහුණකින් යුතු වීම නිසා ය.ඒ අනුව අප රටට එල්ල වූ කොටි ත්‍රස්තවාදය ද කාලි ගේ ශාපයක් මුල් වූවක් සේ යමකුට හැඟෙන්නට බැරි නැත.

නමුදු මෙම පත්‍ර කාලි යන නමේ සුලමුල සම්බන්ධයෙන් වැඩිදුර විමසුම් කළ මට අනාවරණය කර ගත හැකි වූයේ එය ‘භද්‍ර කාලි’ යන නම ද්‍රවිඩ ඌරුවට සකස් වූවක් බව ය. සංස්කෘත භාෂාවේ ‘භද්‍ර’ යන වදන දෙමළ භාෂාවල ‘පත්‍ර’ ලෙස ව්‍යවහාර වීම ඊට ‌හේතුව ය.

ඒ කෙසේ හෝ ශ්‍රී ලංකාවට එල්ල වූ කොටි ත්‍රස්තවාදයත් එම එල්ටීටීඊ ලාංඡනය සහිත මුහුණින් යුතු වාහනයකින් ගමන් ගන්නා භද්‍ර හෝ පත්‍ර කාලිය මුල් කොට මේ වන විට අප සමාජය සිදු වෙමින් පවතින දේශපාලනික අනර්ථයත් අතර පූර්වාපර සන්ධි ගැලපීමේ හැකියාවක් මා සතුව නැත.

තිලක් සේනාසිංහ

අරුමැසි පුවත්