එළවළු මිල අර්බුදයට විසඳුමක් දෙන්න මාලතී නෝනාට වත් හැකි වේද?

ලක් ඉතිහාසයේ වැඩිම එළවළු මිල ඉකුත් සතියේ වාර්තා විය. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණු එළවළු තොගවලින් 60% ක පමණ කිලෝවක තොග මිල රුපියල් පන්සියය ඉක්මවා ගිය බව එහි වෙළෙඳ සංගමයේ අනුශාසක ශාන්ත ඒකනායක කීය.ඒ අනුව මේ වන විට එක් එළවළු කරලක,ගෙඩියක, කොළයක මිල ගණන් විමසා බලන විට හෙට අනිද්දා වන විට සිල්ලර එළවළු වෙළඳසල් අවට පවා විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදිය යුතු තත්වයක් පැන නැඟිය හැකි බවට ඇසෙන කතා හුදු විහිළුවක්ම නොවේ.ඉකුත් සතියේ දින කිහිපයකම දඹුල්ල තොග වෙළදපළට ලැබී තිබුණේ එළවළු කිලෝ ලක්ෂ 04 ක තරම් අඩු ප්‍රමාණයක් බවත් එය ඉල්ලුමට ප්‍රමාණවත් නොවීම මත සිල්ලර වෙළෙඳපොළේ එළවළු මිල දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇති බවත් ඒ සම්බන්ධ මතු පිට කතාව ය.එමෙන්ම මේ තත්වය යටතේ ඉදිරි දෙසතියේ දී පමණ එළවළු කිලෝවක තොග මිල රුපියල් දහස ඉක්මවා යනු ඇතැයි තොග වෙළෙන්දෝ අනතුරු අඟවති.

නමුදු ඉහල ඉල්ලුමක් යටතේ සැපයුම සීමිත වීමත් සමඟ භාණ්ඩ මිල ඉහළ නැඟීමේ න්‍යාය එළවළු වලටත් බලපවත්නේ නම් ඒ වාසියේ වැඩි කොටස එම එළවළු නිෂ්පාදනය කරන ගොවීන්ට හිමි විය යුතුය.එහෙත්, උඩරට පහත රට එළවළු ගොවීන් එක හඬින් කියා සිටිනුයේ එම වාසිය තමනට කෙසේ වත් අත් නොවන බව ය.ඒ අනුව මෙම එළවළු මිල ඉහළ යාමේ වාසිය ගොවීන් හා පාරිභෝගිකයන් නොවන අතරමැදි පාර්ශව කිහිපයක් වෙත බෙදී යන බවක් පෙනෙයි. ඒ පසුබිම යටතේ මේ වන විට වෙළෙඳපොළේ උඩරට හා පහතරට එළවළු මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යාම සම්බන්ධව මෙන්ම මේ වන විට මෙරට එළවළු වගාවන් වල තත්වය සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ද පසුගිය සතියේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් කරුණු විමසීමක් කොට තිබේ.එහි දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින් අවධාරණය කොට ඇත්තේ ද .මාස කිහිපයක සිට දිවයින පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් මේ වනවිට සියලු වගාවන්ට හානි සිදුවී ඇති බවත්, දැනට වෙළෙඳපළට ලැබෙමින් පවතින්නේ සීමිත එළවළු ප්‍රමාණයක් බැවින් එම මිල ඉහළ යාම ස්වාභාවික බවත් ය.

විශේෂයෙන් මහ කන්නයේ පුළුල් ලෙස එළවළු වගා කටයුතු වල යෙදීමට ගොවී ජනතාව සුදානම්ව සිටි බවත් ඇතැම් ගොවීන් මේ වන විට පස් වතාවක් හෝ හයවතාවක් පමණ එළවළු බීජ වගා කළ ද ඒ සියල්ල ද වැස්සට හසු වී කුණු වී ගොස් ඇති බවත් මෙහි දී ප්‍රකාශ විය.එමෙන්ම මේ වන විට වෙළෙඳ පොළට ලැබෙන එළවළු වලින් විශාල ප්‍රමාණයක් ආරක්ෂිත ගෘහ තුළ වගා කරන ලද එළවළු බවත් නමුදු එම ප්‍රමාණය රටේ සමස්ත එළවළු අවශ්‍යතාවයට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන් අවධාරණය කොට තිබේ.එමෙන්ම ඉදිරියේ එළඹෙන යහපත් කාලගුණික තත්වය යටතේ ඉදිරි සති හයක කාලය තුළ මේ තත්ත්වය වෙනස් විය හැකි අතර, එවිට අලෙවි කරගත නොහැකි තරම් විශාල එළවළු අස්වැන්නක් වෙළෙඳපොළට ලැබෙනු ඇතැයි ද කෘෂිකර්ම දෙපාර්තමේන්තු බලධාරීහු පවසති.ඔවුන් ගේ අනාවැකිය අනුව මෙවර සිංහල අලුත් අවුරුදු සමයට එළවළු සුලබ හා ලාබ විය යුතු ය.එහෙත්, මේ වන විට එළවළු වෙළඳාම සම්බන්ධ වෙළඳ මාෆියාව හිස ඔසවන හා ව්‍යුහගත වන ආකාරයට ඒ වාසිය වුව කෙලෙස පාරිභෝගිකයනට අත් වේදැයි කිව නොහැක.

මේ අතර ඉදිරියේ දී එළවළු ගොවීන් හට නව වගා ක්‍රමෝපායන් හඳුන්වා දෙනු පිණිස එළවළු බීජ වෙනුවට එළවළු පැළ සකස් කර අලෙවි කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරශුරාමන් මෙම හමුවේ දී සඳහන් කළා ය.තමන් වෙත ලැබෙන එළවළු බීජ නිසි නිසි පරිදි පැළ නොවන බවට ඇතැම් ගොවීන් කරන ලද චෝදනා ද සැළකිල්ලට ගනිමින් මෙය පියවර කඩිනම් කරන බව ද ඇය කීවා ය.මාලතී පරශුරාමන් පර්යේෂණ නිලධාරිනියක ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවයට බැඳුණු කාලයේ සිටම “වැඩ පෙන්වූ” දක්ෂ නිලධාරිනියකි.සෙසු බොහෝ රාජ්‍ය නිලධාරීන් මෙන් තම සේවය පැය අටට සීමා නොකළ ඇය මෙතෙක් එම තනතුරට පත් වූ එකම ද්‍රවිඩ සම්භවයක් සහිත එකම කෘෂිකාර්මික ක්‍රියාකාරිනිය ද වන්නීය. කෘෂි තාක්ෂණය පිළිබඳව ඉහළ දැනුමක් හා ප්‍රායෝගිකත්වය කෙරෙහි වැඩි නැඹුරුවක් ඇති ඇය විසින් මේ දක්වා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සාර්ථක පර්යේෂණ ගණනාවක් සිදු කර තිබේ.

විශේෂයෙන් ගන්නෝරුව A9 මෑ ප්‍රභේදය, HOB– 2 නමැති ප්‍රථම බෝංචි ජානමය පර්යේෂණය හඳුන්වා දීම, HORDI TOMOTO MY3 තක්කාලි ප්‍රභේදය හඳුන්වා දීම, දෙමුහුන් නව මාලු මිරිස් ප්‍රභේදයක් වන “ප්‍රාර්ථනා” හඳුන්වා දීම යනාදී වශයෙන් පර්යේෂණ රැසක් මාලතී පරශුරාමන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂිකාවක් වශයෙන් කටයුතු කළ අවදියේදීම සිදු කර ඇත. ඇගේ එම පියවර මඟින් මෙරට ගොවි ජනතාවට සුවිසල් මෙහෙවරක් සිදු වී තිබේ.පසුගිය කාලයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි තාක්ෂණ අංශයේ අතිරේක ලේකම්වරිය ලෙස කටයුතු කළ ඇය මේ වන විට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වශයෙන් දරන වගකීම යටතේ කාලගුණික අභියෝග ජය ගත හැකි නව කෘෂි තාක්ෂණික ක්‍රම හඳුන්වා දීම කෙරෙහි වඩාත් උත්සුක වනු ඇතැයි අපි සිතමු.නො එසේ නම් ඉදිරියේ එළඹෙන දේශගුණික හා කාලගුණික විපර්යාස හමුවේ ජනතාව බරපතල අසීරු තත්වයනට පත් වනු ඇත.නමුදු එම කාර්ය භාරයට අමතරව එළවළු ගොවියාත් පාරිභෝගිකයාත් දෙපැත්තකට වී දුක් විඳින අතරේ කල දුටු කළ වල ඉහගන්නා ජාවාරම් කරුවන් පිටු දකින්නට ඇයට,විෂය භාර අමාත්‍යවරයාට තබා ඇගේ පෙළපත් නමින් පැවසෙන “පරශු” යන නමින් හැඳින්වෙන කෙටේරියක් අතින් ගත් රාම දෙවියන්ට වත් හැක් වේදැයි සැක සහිත ය.මක් නිසා ද යත් ජාවාරම්කරණය මේ විටත් අප රටේ සෙසු සියළු අංශ අභිබවා උස්මුරුත්තාවටම ඉහළ නැංවී ඇති බැවිනි.

රේණුකා දමයන්ති

එතෙර - මෙතෙර