ඒලියන්තගේ මරණය ගැන අගමැති සොව පළ කරයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනපති ධුරය හොබවන සමයේ සිට ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙස කටයුතු කොට කොවිඩ් ආසාදිතව මිය ගිය ඒලියන්ත වයිට් මහතා පිළිබඳව අගමැති වරයා සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇත.

එමඟින් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ ඔහුගේ හදිසි අභාවයෙන් බෙහෙවින් කණගාටුවට පත්වූ බවයි. වෛද්‍ය ඒලියන්ත මහතා ක්‍රීඩකයින් ඇතුළු දෙස් විදෙස් විශාල පිරිසකට සිය රෝගාබාධ සුවපත් කර ගැනීමට උදව් කළ බවත් කෘතවේදීව සිහිපත් කරන බව අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.

කිසිදු වෛද්‍ය ක්‍රමයක් හදාරා හෝ කිසිදු වෛද්‍ය සභාවක ලියා පදිංචියක් ලබා නැතත් .මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙස ප්‍රකටව සිටි ඒලියන්ත වයිට් මහතා ඒ දිනවල මාධ්‍ය තුළ හැඳින්වුණේ “රාජකීය වෛද්‍යවරයා” යනුවෙනි.එහෙත්,ඔහු මාධ්‍ය මඟින් කරනු ලැබූ ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් සැක පළ වී තිබිණ.

තමන් ඉන්දියාවේ කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ද සම්බන්ධ වූ බවට මෑතකදී මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය මුල් කොට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් විමසූ විට දැන ගන්නට ලැබුණේ ඉන්දීය රජය ශ්‍රී ලංකාවෙන් එබඳු කිසිම සහායක් අපේක්ෂා කර හෝ ලබා ගෙන නැති බවකි.

ඒලියන්ත වයිට් මහතා අවස්ථා කිහිපයකදීම කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා තමන් හට කුණ්ඩලීනි ශක්තිය ඇති බව කියා සිටි අතර ලොව කිසිදු වෛද්‍ය ක්‍රමයක නොමැති ගංගාවලට මුට්ටි දැමීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම නිසා මහත් ආන්දෝලනයට ලක් විය.ඒ අතරේ ඔහු ද එම කොවිඩ් රෝගයටම ගොදුරු වී මිය යාම ඉතා කණගාටුදායක තත්වයකි.

කාලීන පුවත්