ඔක්තෝබර් 01 වන දා ගුරුවරියන්ගේ නැටීම දුටු බොහෝ දෙනකුට නොපෙනුණු සැප්තැම්බර් 30 දා සිදු වූ සිඟිති පරිසර ක්‍රියාකාරකමක්

sigithi

ඉකුත් ඔක්තෝබර් 01 වන දාට යෙදුණු ලෝක ළමා දිනයේ දී දරුවන් විනෝදමත් කරනු පිණිස විවිධ ආකාරයේ රැඟුම් ඉදිරිපත් කළ ගුරුවරියන් පිළිබඳ විවිධ ආකාරයේ සමාජ කතිකාවන් දියත් ව තිබේ. ඒ අතරේ කැලිකසල අපේ රටට කවදත් විශාල ප්‍රශ්නයක් බවත් ඒවා නිසි ලෙස බැහැර කරන නිසි ක්‍රමයක් අදටත් නොමැති බවත් දැන් කලෙක සිට බොහෝ දෙනෙක් පවසති.මේ අතරේ දිරන ද්‍රව්‍ය කොම්පෝස්ට් පොහොර බවට පත් කිරීම, නොදිරන ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීම ආදී වශයෙන් කැලිකසලවලට සාර්ථක විසඳුම් තිබුණත් කිසිවක් ක්‍රමානුකූලව සිදු නොකෙරෙන බැවින් තවමත් අපේ රටේ වැඩි දෙනෙක් තමන්ගේ නිවසින් බැහැර කරන කැලිකසල කොහේ හෝ දැමීම දිගටම කරගෙන යති.

මේ සියළු තත්වයන් යටතේ ඉවත දමන කැලිකසල ප්‍රයෝජනවත් දෙයක් බවට හරවා ගත හැකි බවත්, පරිසරය යහපත්ව තබා ගන්නට ඉන් අපට බොහෝ දේ කළ හැකි බවත් කුඩා දරුවන්ට අවබෝධයක් ඇති කළහොත් අනාගතයේදී අපේ රටේ මේ තිබෙන තත්ත්වය වෙනස් කිරීමට හැකි වනු ඇත.අප මේ කතා කරන්නේ මෙලෙස ඉවත දමනු ලබන ද්‍රව්‍ය උපයෝගී කරගනිමින් අලංකාර නිර්මාණ ප්‍රදර්ශනයක් පැවැත්වූ ළදරු පාසලක් සම්බන්ධවයි.යමක් පිළිබඳ සාධනීය කරුණු හමුවේ මුණිවත රකිමින් අවශ්‍ය තැන දී මෙන්ම අනවශ්‍ය තැන දී ද විවේච්නය පිණිසම “දත කට මැද ගෙන හිඳින” ජන මාධ්‍යයන් හි අවධානයට යොමු නොවූ සිඟිති විප්ලවයක් කළ මෙය කඩුවෙල ශාන්තාලෝකගම පිහිටි කඩුවෙල මහ නගර සභා පෙර පාසල යි.

රොෂාලි දශිකා සහ ඔෂංගනී පලිහේන යන ආචාර්යවරියන් සහ තවත් ගුරු සහායිකාවන් තිදෙනෙක් යටතේ පවත්වාගෙන යන මෙම ළදරු පාසලේ දරුවෝ අසූ දෙනෙක් අධ්‍යාපනය ලබති.පසුගිය සැප්තැම්බර් 30 දා “වන අරණයි පුංචි අපියි” යන තේමාව යටතේ මෙම ප්‍රදර්ශනය පෙර පාසල් පරිශ්‍රයේදී පවත්වනු ලැබිණි. පෙර පාසල් අධ්‍යාපනය ලබන කුඩා දරුවන්ගේ කුසලතා වර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිව වාර්ෂිකව මෙවැනි ප්‍රදර්ශන පැවැත්වීම ළදරු පාසල් අධ්‍යාපනයෙහි එක් අංගයකි.

පසුගිය වසරේ “මල්වත්ත ” තේමාව කර ගනිමින් මෙම ළදරු පාසලේ පවත්වන ලද ප්‍රදර්ශනයේ දී ද එම නිර්මාණ සඳහා යොදා ගත්තේ ඉවත ලන ද්‍රව්‍ය වේ. ඒ අනුව යමින් මෙවර ප්‍රදර්ශනය සඳහා ද නිරන්තරයෙන් නිවෙස්වලින් බැහැර කරනු ලබන ෂොපින් බෑග්, පිළිස්සුණු විදුලි බල්බ, සැමන් ටින්, යෝගට් කප්, බීම කප්, මෙගා බෝතල් ආදී බොහෝ දෑ යොදා ගනු ලැබිණි. වනාන්තරය ඉදිකරනු ලැබුවේ පෙර පාසල් ගොඩනැගිල්ල තුළ සහ ඒ අවට පාසල් භූමියේ ය.

මෙහිදී මුලින්ම නිර්මාණය කරනු ලැබුවේ වනාන්තරයකි. එම වනාන්තරය සේම එහි ගස්වැල් සතුන් ඇතුළු සියලුම ජීවී සහ අජීවී දේවල් නිර්මාණය කිරීමට මෙම ඉවත ලන ද්‍රව්‍ය විවිධ අයුරින් යොදා ගනු ලැබිණි.මෙම නිර්මාණ සකස් කළ ආකාරය පිළිබඳව අපට විස්තර කළේ පෙර පාසලේ ඔෂංගනී පලිහේන ගුරුතුමියයි.

” පෙර පාසලේ අවුරුදු තුන සහ හතර දරුවන්ගේ වශයෙන් පන්ති දෙකක් තිබෙනවා. මේ පන්ති දෙකේම දරුවන් ලවා දවසකට එක නිර්මාණයක් බැගින් දිනපතා නිර්මාණ දෙකක් අපි කෙරෙව්වා ”

” මේ සඳහා අමුද්‍රව්‍ය කොහොමද සපයා ගත්තේ?”

” කලින් දවසේ දරුවන්ව දැනුවත් කරනවා හෙට මේ දේවල් අරන් එන්න කියලා. ඊට පස්සේ අපි පන්තියේ දී දරුවන් ලවා ම එම නිර්මාණ සකස් කරවනවා. ඒ විදිහට මාසයක පමණ කාලයක් විවිධ නිර්මාණ සකස් කරලා ඊට පස්සේ තමයි මේ ප්‍රදර්ශනය පැවැත්වූයේ. මේ සඳහා දරුවන්ගේ දෙමාපියන්ගෙනුත් විශාල සහයෝගයක් අපට ලැබුණා”

මෙමගින් කුඩා දරුවන්ට ඉගෙන ගත හැකි පාඩම් බොහෝය. එකක් නම් අක්‍රමවත් ලෙස පරිසරයට මුදා හරිනු ලබන ද්‍රව්‍යවලින් ප්‍රයෝජනවත් නිර්මාණ කිරීමට හැකි බවට දරුවන් තුළ ආත්ම විශ්වාසයක් ගොඩ නැංවීමය. අනෙක දරුවන් තුළ ඇති සැඟවුණු කුසලතා වර්ධනය කිරීමයි. වඩාත්ම වැදගත් දෙය දෙය පරිසරය පිරිසිදුව තබා ගැනීමට දරුවන් තුළ උනන්දුවක්, වුවමනාවක් සහ හැඟීමක් ඇති කරලීමයි. කුඩා කල පටන් එවැනි ස්වයං පාලනයකට හුරුවුණු දරුවකු වැඩිහිටි වියට පැමිණි පසු කිසි විටෙකත් පරිසරය විනාශ කරන්නට, හානි කරන්නට පෙළඹෙන්නේ නැත.ඒ අනුව මහා පරිමාණයෙන් නොවූවත් සිඟිති දෑත් වලින් සිදු කෙරුණු මෙම සුසිනිඳු හරිත විප්ලවය සම්බන්ධයෙන් ප්‍රමාණවත් සමාජමය අගැයුමක් නොලැබුණු පසුබිමක මෙම කෙටි සටහන ඔබ හමුවට ඉදිරිපත් කිරීමට අපි අදහස් කළෙමු.

මෙම ප්‍රදර්ශනය විවෘත කිරීම සඳහා ප්‍රධාන ආරාධිතයන් ලෙස කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතාත්, නාගරික කොමසාරිස් නදීකා දිල්රුක්ෂි මහත්මියත්, නියෝජ්‍ය නාගරික කොමසාරිස් ශ්‍රියානි මල්ලිකා මහත්මියත් සහභාගී වූහ.

ඉන්දු පෙරේරා

එතෙර - මෙතෙර