මාර්ගස්ථ හෙවත් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සිය නිරුවත අලෙවි කළ තිස් තුන් වියැති විවාහක කාන්තාවක මහරගම පන්නිපිටිය ෆදේශයේ දී අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශ ආරංචි මාර්ග උපුටා දක්වන මාධ්‍ය වාර්තා කොට තිබේ.එහි දැක්වෙන අන්දමට ඇය විනාඩි දහයක කාලසීමාවක් තුළ ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සිය නිරුවත ප්‍රදර්ශනය කිරීම සඳහා රුපියල් දෙදහසක මුදලක් සහ පැයක කාලසීමාවක් තුළ සිය නිරුවත පෙන්වීම සඳහා රුපියල් අට දහසක මුදලක් ද ලබා ගෙන ඇත. එමෙන්ම සිය මුහුණ සමග නිරුවත පෙන්වීම සඳහා එම කාන්තාව ඒ මුදල මෙන් දෙගුණයක් අයකර ඇති බව විමර්ශන වලදී අනාවරණය වී තිබේ.එමෙන්ම එම පුවතේ විශේෂත්වය වනුයේ ඉහත සඳහන් පරිදි මුදල් ගෙවා එම කාන්තාවගේ නිරුවත දැක බලාගෙන ඇති බහුතරයක් දෙනා පාසල් සිසුන් බව අනාවරණය වී තිබීම ය.එම දරුවන් ඔවුන්ගේ මව්පියන් අමතර පන්ති සඳහා දෙන මුදල් ඒ සඳහා වැයකර ඇති බවත් අදාල කාන්තාව එම මුදල් ලබාගෙන ඇත්තේ අනියම් ව්‍යවහාරික මුදල් හුවමාරු යටතේ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මේ අතර මාර්ගස්ථ හෙවත් ඔන්ලයින් ක්‍රමයට ස්වයං ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙමින් ස්වයං රැකියාවක් ලෙස මුදල් ඉපයූවා යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අරුක්ගොඩ, අලුබෝමුල්ල ප්‍රදේශයේ තරුණියක පිළිබඳව ද මාධ්‍ය වාර්තා කොට තිබිණ. වයස අවුරුදු එකහමාරක පමණ කුඩා දැරියකගේ මවක ද වන අතර සැකකාරිය මෙම මුදල් ඉපැයීම සිදු කොට ඇත්තේ සිය සැමියාගේ ද අනුදැනුම මත බව ද මේ වනවිට කරුණු අනාවරණය වී තිබේ. ඇය වට්ස්ඇප් ඔස්සේ දැන්වීමක් මගින් පණිවිඩ හුවමාරු කර, වරකට රුපියල් විසි දහසක්, තිස්දහසක් වැනි මුදලකට කලින් වේලාවක් වෙන්කර දී සජීවීව ස්වයං ලිංගික ක්‍රියාකාරකම්වල නිරත වී ඇති බවත් අනාවරණය වී තිබේ.නමුදු මෙය ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ මෙන්ම පරිගණක පනත ප්‍රකාරව වරදක් බව නීති අංශ පෙන්වා දෙයි. මාර්ගස්ථ හෙවත් ඔන්ලයින් ක්‍රමය පිළිබඳව නොදන්නා අයකු මේ වන විට රටේ සිටිත් නම් ඒ ඉතා අහඹු ලෙසිනි. අපගේ වැටහීම අනුව එය රට පුරා වඩාත් ව්‍යාප්ත වූයේ පසුගිය කොවිඩ් වසංගත සමයේ ය.
වරක් මම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිබාව අධ්‍යාපන කොට්ඨාශයේ චිත්‍ර කලා ගුරු උපදේශකවරයකු වන මගේ හිතවත් ජේ. රත්නායක මහතා ද සමඟ කිසියම් කටයුත්තක් සඳහා ගිරිබාවේ හෙට්ටිආරච්චිගම නම් ප්‍රදේශයට යමින් සිටියෙමි. වන අලින් ගෙන් හේන් කුඹුරු බේරා ගැනීම පිණිස ගස් මත තැනූ පැල්පත් ඒ ප්‍රදේශයේ අතිශයින් සුලබ ය.සාමාන්‍යයෙන් පොළොව මට්ටමේ සිට යම් උසින් තනා ඇති ඒ පැල්පත් වලට වඩා වැඩි උසකින් යුතුව උස් ගසක් මත තරමක් විධිමත් ලෙස තනා තිබූ තරමක අමුතු ආකාරයේ පැලක් දුටු මගේ විශේෂ අවධානය ඒ වෙතට යොමු විය.
“ඕක ඔන්ලයින් පැලක්” රත්නායක මහතා වැඩි තැකීමකින් තොරව කී ඒ වදන් මට හරි හැටි වැටහුණේ නැත.
“දැන් මේ පළාත්වල ළමයි ඉස්කෝලේ වැඩ කරන්නේ ඔන්ලයින් නේ. ඒත් මේ හරියට ඉන්ටනෙට් වැඩ නොකරන හින්දා තමයි හරියට ෆෝන් සිග්නල් තියන උස තැන් බලලා ඔහොම උස තැන්වල පැල් හදන්නේ. ගමේ ළමයින්ගේ තාත්තලා වැඩි පිරිසක් එකතු වෙලා හදන හින්දා තමයි ඔහොම ලොකුවට ලස්සනට හදලා තියෙන්නේ. අනික තමන්ගේ දරුවෝ වෙනුවෙන් හදන පැලක්නේ; ඒ හින්දා වැඩේ ටිකක් වැඩිපුර උනන්දුවෙලා කරනවා.” ඔහු කීය. අප රටේ ඔන්ලයින් ව්‍යාප්තිය පිළිබඳව තව දුරටත් නිදසුන් අවශ්‍ය නොවෙතැයි හැඟෙන බැවින් මම ඒ පිළිබඳව ඊට වඩා යමක් නොකියමි.
විද්්‍යුත් සන්නිවේදන ක්‍රම ඔස්සේ ලිංගිකත්වය හුවමාරු කර ගැනීමට දශක කිහිපයක් දක්වා අතීතයට දිවයන ඉතිහාසයක් තිබේ. එහි ආරම්භක අවස්ථාව කෝල් ගර්ල්ලා නමින් හැඳින්වෙන දුරකථන පණිවිඩ මගින් ගණිකාවන් සපයා ගැනීමේ ක්‍රමයයි. නමුත් දුරකථන සංනිවේදන ජාලය පුළුල්වීම සහ ජංගම දුරකථන භාවිතයට ඒමත් සමඟ දුරකතන ලිංගිකත්වය (Phone Sex ) ද විවිධාකාරයෙන් ව්‍යාප්ත විය. මෙහි සමාරම්භය සනිටුහන් වනුයේ කායිකාව එක්විය නොහැකි දුර බැහැර වෙසෙන සහකරුවන් ඔවුන් ගේ ලිංගික හැගීම් ආවේග ආදිය දුරකථන මාර්ගයෙන් හුවමාරු කර ගැනීමෙන් ඔවු`නොවුන් තනි තනිව මානසිකව සේම කායිකව සන්තර්පනය වීමේ ක්‍රමයක් ලෙසිනි. පසුව මෙහි ව්‍යාප්තියත් සමඟ එසේ වදන් මාධ්‍යයෙන් මුදලට පුද්ගලයන් මානසික සේම කායික සංතර්පනය කිරීමේ සේවා ද ලොව බොහෝ රටවල ආරම්භ කරන ලදී.එම නව සංස්කෘතියේ පුරෝගාමී භූමිකාවක වනුයේ ඇමරිකානූ අනුරාගී නිළියක වූ ග්ලෝරියා ලෙනාඩ් ය.1977 වසරේ High Society නම් සඟරාවේ සංස්කාරකවරිය ලෙස ඇය මෙබඳු සන්නිවේදන කටයුතු සඳහා 976 කෙටි දුරකතන අංකට හඳුන්වා දී ඊට දේවදූත අංකය(Angel Number )යන නම ද තැබුවා ය. “මට පිරිමින් ගෙන් එන දුරකතන ඇමතුම් වලින් සීයට අනූවක්ම ලිංගිකත්වය පදනම් කර ගත්තු ඒවා.පස්සේ මං ඒකට වෙළඳ පළක් නිර්මාණය කළා” ඇය කීවාය. ඇය ඇරඹූ මෙම ලිංගික සන්නිවේදන යාන්ත්‍රණය ශීඝ්‍රයෙන් ලොව පුරා පැතිරුණු අතර එහි දී කාන්තා හඬ භාවිතයෙන් සේවා ලාභීන් උද්දීපනය කිරීමක් සිදුවිය.පටිගත කළ හෝ සජීවීව නැඟෙන ඒ කාන්තා කටහඬ මගින් එම සේවා ලාභියාට ලිංගික ක්‍රියාවන් සඳහා ඇරැයුම් කිරීම්, තමන් තුළ පවත්නා තදබල අනුරාගී අවශ්‍යතා සේවා ලාභියාට පැවසීම, තමන්ගේ ලිංගේන්ද්‍ර පද්ධතිය සම්බන්ධයෙන් හෝ ලිංගික ක්‍රියාව සම්බන්ධයෙන් සේවා ලාභියා තුළ චිත්ත රූප මැවෙන ආකාරයේ ප්‍රකාශ කිරීම් ආදිය මගින් නිශ්චිත වේලාවක් තුළ නිශ්චිත මුදලක් අය කර ගැනීමේ ක්‍රමෝපායන් ද විය.
එහෙත්, පසුකාලීනව අන්තර්ජාලයේ ව්‍යාප්තියත් සමඟ එම අන්තර්ලිංගික සන්නිවේදන ජාල වඩාත් පුළුල් හා විවිධාංගීකරණයට ලක්ව ඇති අන්දම ඉහත සඳහන් සිදුවීම් වලින් ඒ වන විට අද ලොව පුරා ක්‍රියාත්මක වන මෙම සයිබර් ලිංගික ක්‍රියාවලිය(Cybersex ) සම්බන්ධ නීති අනපනත් තවමත් විධිමත් ලෙස සකස් වී ඇති බවක් නොපෙනේ. ගණිකා වෘත්තිය යනු ස්පර්ශය පදනම් කරගත් කායික සංසිද්ධියක් වුව මෙම සයිබර් ලිංගික සන්නිවේදන ජාලය මගින් එසේ කාන්තාවක ස්පර්ශ කිරීමට අවකාශ නොලැබේ. ඒ අනුව මෙය ගණිකා වෘත්තිය ලෙස තැකිය හැකි ද? යන්න මතු වන පැනයකි. එහෙත් මුදල් තකා තමන් ගේ නිරුවත දැක්වීම ලිංගිකත්වය අලෙවි කිරීම සම්බන්ධයෙන් විමසා බලන විට මෙය ගණිකා වෘත්තිය පැත්තට පහසුවෙන් ඇද දැමීමට පුළුවන. මෙම සයිබර් ලිංගිකත්වය ලොව පුරා ව්‍යාප්ත වනුයේ 1990 දශකයේ මුල් භාගයේ සිට ය.මෙම ක්‍රියාවලිය බහුපුද්ගලානුරාගී තාක්ෂණය(Teledildonics/Cyberdildonics ) ලෙසින් හැඳින්වේ.ප්‍රකට තාක්ෂණ විචාරකයකු සහ ලේඛකයකු වන හොවාඩ් රයින්ගෝල්ඩ් විසින් රචිත Virtual reality නම් කෘතිය මෙම සමාජමය සංසිද්ධිය පිළිබඳ මූල ග්‍රන්ථය සේ සළකනු ලැබේ.ඒ කෙසේ හෝ මේ වන විට එය අප සමාජය තුළට ද පිවිස ඇති බව ඉහත නිදසුන් මඟින් මනාව තහවුරු වේ.
“ඕනෑම සමාජයක සදාචාර මට්ටම් ඒ රටේ සමාජ ආර්ථිකයත් එක්ක සෘජුවම සම්බන්ධයි. අද වෙන කොට අපේ රටේ පවතින ආර්ථික පරිහානියට සාපේක්‍ෂව ජනතාවගේ සිතුම් පැතුම් අදහස් උදහස් අරමුණු අපේක්‍ෂාවන් ආශාවන් කියන දේවල් අසීමාන්තිකව ඉහළ නැගලා තියෙනවා.මේක බරපතල සමාජ අසමතුලිතතාවක්. ඒ හින්දා මොනම ක්‍රමයකින් හරි ජීවත් වීමට වගේම සුඛ විහරණයට මුදල් හොයන්න පෙළඹෙන සමාජයක් තුළ මේ වගේ දේවල් ව්‍යාප්ත වීමේ කිසිම අරුමයක් නැහැ” මේ සම්බන්ධයෙන් අප කළ විමසුමක දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර කීය.
“හැබැයි ඉතින් මේ වගේ සංසිද්ධීන් පිළිබඳව නිවැරදි විද්‍යාත්මක කරුණු පදනම් කර නොගෙන තහංචි මගින් විතරක් මේවා පාලනය කිරීම අතිශයින් අසාර්ථකයි. ඒක හරියට රෝග නිදානය නොසොයා බෙහෙත් නියම කරනවා වගේ වැඩක්.නමුත් අපේ රටේ මීට අදාල විෂයන් සම්බන්ධ විද්වතුන් මේවගේ දේවල් සම්බන්ධ ගවේෂණයට එතරම් උනන්දු නොවන බවත් පැහැදිලිවම පෙනෙන බව කිව යුතුයි” යනුවෙන් ද මහාචාර්යවරයා කීය. ඉහත සඳහන් තත්ත්වය යටතේ සමාජයේ පවත්නා සම්මත සදාචාර බැමි වේගයෙන් ලිහිල් වීමේ පැහැදිලි අවදානමක් තිබේ. ඉහත සඳහන් ආකාරයේ සිදුවීම් ජනතාවගේ කුතුහලය පුබුදුවන ප්‍රවෘත්තිය ලෙසින් ඉස්මතු වනුයේ ඒ අනුව ය.එහෙත් මේ සිදුවීම් දාමය සමාජය පුරා ව්‍යාප්ත වීමත් සමඟ එය සාමාන්‍යකරණයට ලක් වීමේ ද ස්වභාවික ඉඩක් පවතී. සිදු වනුයේ මේවායේ ප්‍රවෘත්තිමය වටිනාකම ද ගිලිහී ගොස් මේවා ද ජන අවධානයෙන් තොර නීති විරෝධී මත්පැන් සූදු කෙළීම් වැනි හුදෙක් පොලීසිය පමණක් ලුහු බඳින සිදුවීම් බවට පරිවර්තනය වීම පමණි.
තිලක් සේනාසිංහ