ඔන්ලයින් දක්වා පැමිණි බුදුදහමට එරෙහි ආශීර්වාද පූජා

වත්මන් ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජයේ ජනප්‍රියතම පූජා විශේෂය කුමක් දැයි විමසන්නකු හට දිය හැකි පැහැදිලිම පිළිතුරක් තිබේ. එනම් ‘ආශීර්වාද පූජා’ යන්න ය.
මීට දශක කිහිපයකට පෙර සිට ශීඝ්‍රයෙන් වර්ධනය වූ මෙම ආශීර්වාද පූජා සංකල්ප අද වන විට කොතෙක් ව්‍යාප්ත සහ නවීකරණය වී තිබේද යත් මෙරට රාජ්‍ය නායකයකු උදෙසා ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඉන්දියාවේ සිට ශ්‍රී ලාංකේය භික්ෂුන් වහන්සේලා කිහිප නමක විසින් ආශීර්වාද පූජාවක් පැවැත් වූ අන්දම ද මාධ්‍ය මගින් ප්‍රචාරය විය.
එහෙත්, මෙම ආශීර්වාද පූජා නම් වන ආගමික පුද සිරිත් හෙවත් අභිචාර ක්‍රම මූලික බුදු සමය හා කොතෙක් සැසඳේ ද යන්න පිළිබඳව මේ දක්වා විධිමත් ධර්ම ශාස්ත්‍රීය විමර්ශනයක් තබා සමාජ අවධානයක් වත් යොමුව ඇති බවක් නොපෙනෙයි.
ලොව පුරා සමාජ සහ මානව විද්‍යාඥයන්ගේ පොදු නිර්නායකයන්ට අනුව බොහෝ ආගම් වලට පොදු ලක්ෂණ කිහිපයක් තිබේ. ඒ ශාස්තෘ දේශනාව, ඉන් මතු වන දර්ශනය, සදාචාර මාර්ගය, එය ප්‍රවර්ධනය පිණිස සිදුකෙරෙන පුද පිළිවෙත් සහ ශාන්ති කර්ම වශයෙනි.
මේ සෑම ආගමක් සම්බන්ධයෙන්ම දර්ශනයක් සේම සදාචාර මාර්ගයක් දක්නට ලැබේ. බුදු දහම, ජෛන දහම ආදී ඥාන විමසංවාදයන් (Epistemology) තුළ එම දාර්ශනික පක්ෂය වඩාත් ඉස්මතු වී පෙනෙයි. එම ශාස්තෘ දේශනාවන් තුළ ඒවායින් ඉගැන්වෙන සාදාචාර මාර්ගය ඊළඟට ඉස්මතු වන අතර ආගමක පැවැතිය යුතු පුද පිළිවෙත් සහ ශාන්ති කර්ම සම්බන්ධයෙන් හිමි කොට ඇත්තේ ඊට අඩු අගයකි; වටිනාකමකි. ලොව සෑම ආගමක්ම කිසියම් භක්ති මාර්ගයක් වන අතර එම ආගම් වල ඉගැන්වෙන මූලික කරුණු තර්කයට විවාදයට සේම විවේචනයට ලක් කිරීමේ ඉඩක් එම ආගම් වලින් තම ආනුගාමිකයන්ට ලබා දී නැත. ඒවායින් පැවසෙනුයේ එම ආගමික මතවාද දිව්‍යමය මනැසකින් නිර්මාණය වූ බැවින් මිනිස් අප ඒවා තර්කයට, විචාරයට හෝ විවේචනයට ලක් නොකළ යුතු බවකි. එහෙත්, මැවුම්කාර හෝ වෙනයම් කිසිදු දෙවියකු කේන්ද්‍ර කර නොගත් අදේවවාදී ශාස්තෘ දේශනාවක් වන බුදු දහමින් නිතර අවධාරණය කෙරෙනුයේ තමන් තුළ හටගන්නා වූ භක්තිය (අමූලික සද්ධාය) වුව එලෙසින්ම භාර නොගෙන එය ද ප්‍රඥාව මගින් පරීක්ෂණ, නිරීක්ෂණ වලට ලක් කොට (සද්ධා ජාතො උපසංකමති) එය ප්‍රඥාව මුල් කොට මනැසේ ප්‍රතිෂ්ඨාපනය කළ යුතු බවකි. එය ඊනියා භක්ති මාර්ගයෙන් ඉවත්ව නියමාකාර ශද්ධාවක් ලෙස ස්ථාපිත වනුයේ ඒ ඔස්සේ බව බුදුන් පැහැදිලිවම දේශනා කොට තිබේ. දහමෙහි එය හැඳින්වෙනුයේ ‘ආකාරවතී සද්ධාය’ යනුවෙනි. ඒ සම්බන්ධ විස්තර චංකි විමංසක, කාලාම සහ මහාපදේශ ආදී සූත්‍රවල හරය විමසා බැලීමෙන් මනාව වටහා ගත හැක.
මිනිසා ගේ පැවැත්ම දෙවියන් ගේ බඹුන්ගේ කැමැත්ත මත හෝ විශ්වයේ පවත්නා වෙනයම් ගුප්ත පදාර්ථයන් ගේ අභිමතය මත සිදුවන්නේ යන බුද්ධ කාලීන සමාජය පුරා මුල් බැස ගත් වෛදික මතය බුදුන් වහන්සේ මුලුමනින් බැහැර කොට තිබේ. මිනිසාට ලෞකික යහපත උදාකර ගැනීමට අවශ්‍ය කරුණු බාහිර බලවේගයන් මගින් පිවිසුවා ගත හැකි නම් මිනිසුන් කුමකට බිය විය යුතු දැයි බුදුන් වහන්සේ සෘජුවම ප්‍රශ්න කරති. ඒ පිළිබඳ බුද්ධ දේශනාව පංච ඉට්ඨ ධම්ම ආදී සූත්‍ර වල හරය විමැසීමෙන් දත හැකිය.
බුද්ධ කාලීන භාරත සමාජයේ විශ්වය පාලනය කරන බවට විශ්වාස කළ දෙවිවරුන් ඇතුළු විශ්වීය බලවේග සඳහා යාග හෝම ආදී පුද පිළිවෙත් කිරීමෙන් ඒ බලවේග මිනිසාට හිතකර ලෙස මෙහෙයවා ගත හැකි බවට තදබල විශ්වාසයක් පැවතුණි. එවක භාරත සමාජයේ පැවැති යාග හෝම නම් වන මෙම වෛදික සම්ප්‍රදාය හුදෙක් මිථ්‍යා විශ්වාස බව අවධාරණය කළ බුදුන් වහන්සේ එම යාග හෝම සංකල්පය යථාර්ථය මත පදනම් වූ සදාචාරාත්මක ක්‍රියා මාර්ගයක් බවට පත්විය යුතු බව දැඩිව අවධාරණය කළහ. කූටදන්ත ඇතුළු යඤ්ඤ ආදී සූත්‍ර ගණනාවක් මගින් බුදුන් අවධාරණය කොට ඇත්තේ යාග හෝම ආදී ගුප්ත පුද පූජා චාරිත්‍ර වලින් මිනිසා ගේ සැබෑ විමුක්තියට කිසිදු පිළිසරණක් නොලැබෙන බව ය. ඒ අනුව ලොව බොහෝ ආගම් වල ප්‍රධාන තැන හිමිවන දෙවියන් ගෙන් හෝ මිනිසුන් ගෙන් ආශීර්වාද පැතීම, මිනිසා ගේ සැබෑ යහපතට ඉෂ්ඨාර්ථ සිද්ධියට හේතු නොවන බව බෞද්ධ දාර්ශනික මතය බව මනාව පැහැදිලි වෙයි.
ඒ අනුව මේවා බුදුසමයට එක් වූ පසුකාලීන මතවාදයන් බව කිව යුතුය. එම කරුණ පසෙක තිබිය දී මිනිසාට තම ලෞකික සංවර්ධනය උදා කරගත හැකි නිවැරදි උපාය මාර්ග රාශියක් බුදු දහමින් හඳුන්වා දී තිබේ. ධම්මපදයේ කුමභකාරක වස්තුවේ එන ප්‍රවෘත්තිය හා සබැඳුණු ‘උට්ඨානමතෝ සතිමතෝ සුචි කම්මස්ස නිසම්ම කාරිනෝ’ යන ගථාවට අනුව සාර්ථක දිවි පෙවෙතකට අවශ්‍ය උපකාර ධර්ම ලෙස උත්සාහය, නිවැරදි සිහිය, ආදී යථාර්ථවාදී මංපෙතක් පෙන්වා දී තිබේ. ඒ අනුව මිනිසා ගේ යහපැවැත්ම කෙරෙහි චිත්ත දමනය මුල්කොට ගත් සාදාචාර මාර්ගය මිස අන්‍යයන් ගේ ආශීර්වාද ශක්තිය සාධනීය ලෙස බලපාන්නේ යයි යමකු විශ්වාස කිරීම මූලික බුදු සමයේ හරය සිඳලීමක් බව ඒකාන්ත වශයෙන්ම කිව යුතුව තිබේ.
මෙවන් තත්වයන් යටතේ මූලික බුදු සමය කෙරෙහි පසුකාලීනව බලපෑ වෛදික ඇතුළු වෙනත් ආගමික බලපෑම් මත බ්‍රාහ්මණ ශාන්ති කර්ම ගණයේ මෙවන් පූජා සංකල්ප ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජයට පිවිස අද වන විට ඒවා ජනකාන්ත තත්වයට පත්ව තිබේ. මීට දශක කිහිපයකට පෙර පැවැති තත්වයට සාපේක්‍ෂව ඉතා විධිමත් සංවිධාන ජාලයක් ඔස්සේ පැවැත්වෙන මෙම නවතම ආශීර්වාද පූජාවන් හි මුඛ්‍ය අරමුණ ජනතාව ගේ පංච කාම සම්පත් හෙවත් අනේක විධ ලෞකික අභිමතාර්ථ ඉෂ්ඨ සිද්ධ කරවීමක් බව පැහැදිලි ය. අද වන විට මෙම ආශීර්වාද පූජා යාන්ත්‍රය සමාජය පුරා කොතෙක් ප්‍රබල ලෙස ක්‍රියාත්මක වන්නේ ද කිවහොත් එය රුපියල් මිලියන ගණනක මුදලක් සංසරණය වන ව්‍යාපාර ජාලයක් බවට ද පත් වී තිබේ.
අලෝභ, අදෝස, අමෝහ යන කුසල මූලයන් පදනම් කර ගනිමින් දහමට අවතීර්ණ වීම බෞද්ධයා ගේ විමුක්ති මාර්ගය බව බුදු දහමින් පැහැදිලි ලෙස අවධාරණය කෙරෙන පසුබිමක මිනිසා ගේ ලෞකික තෘෂ්ණාව කුළු ගන්වමින් පංච කාම සම්පත් ඉෂ්ට සිද්ධ කරගැනීම අරමුණු කරගත් මෙම නව ආශීර්වාද පූජා සම්ප්‍රදාය සැබෑ බුදු දහමට එරෙහි ඊට වින කැටීමක් බව ද අකැමැත්තෙන් වුව කිව යුතුය. මෙහි ආශීර්වාද යනුවෙන් හැඳින්වෙන්නේ හුදෙක් තම පාර්ශවයේ අභිමතාර්ථයන් බැවින් මේවා ගත හැක්කේ බෞද්ධ පුද පූජා ගණයට නොව බලි තොවිල් ශාන්ති කර්ම ගණයට ය.

කඳුරුපොකුණේ සුමංගල හිමි

පහන් ටැඹ