ඔබගේ සුනඛ හා බළල් සුරතලුන්ටත් වකුගඩු ආබාධ ඇති විය හැකි බව දන්නවද ?

puwath

අප මහත් බියට පත්වන රෝග අතරින් එක් ප්‍රධාන රෝගයක් තමයි වකුගඩු රෝග. නමුත් මේ වකුගඩු රෝග වැළඳෙන්නේ මිනිසුන්ට පමණක් ම නොවෙයි. නිවසේ ඇති දැඩි කරන සුනඛයන්ට මෙන්ම බළලුන්ට ද වකුගඩු අකර්මණ්‍ය වීමේ රෝග තත්ත්වයන් ඇතිවිය හැකියි.
මේ ආකාරයට සතුන්ට වකුගඩු අකර්මණ්‍ය වීම සිදුවූ විට රුධිරයේ ඇති අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීමට නොහැකි වී යාමෙන් ඔවුන් මිය යාමට වැඩි ඉඩකඩක් පවතිනවා. එනිසා සුනඛයන් බළලුන් වැනි සතුන් ඇති දැඩි කරන ඔබ මේ පිළිබඳව දැනුවත් වීම ඉතාමත් වැදගත්.
සතුන්ට වකුගඩු රෝග වැළඳීම දෙආකාරයකට සිදු විය හැකියි.

1. දිගුකලක් ශරීරයේ රෝගය වර්ධනය වෙමින් පැමිණ අවසානයේ රෝග ලක්ෂණ මතුවන වකුගඩු රෝග ( chronic renal failure)

2. දින කිහිපයක් තුළ දී හටගන්නා වකුගඩු රෝග ( acute renal failure)

මෙලෙස වකුගඩු අකර්මණ්‍ය වීමට බලපාන හේතු අපි දැන් සොයා බලමු.

මුත්‍රාශයේ ගල්

මුත්‍රාශයේ ගල් හට ගැනීමෙන් මුත්‍රාශය හා මුත්‍රා මාර්ගය අවහිර වෙනවා. එවිට මුත්‍රා මාර්ගය දිගේ මුත්‍රා පිටතට ගමන් කිරීමට නොහැකිව ආපස්සට පැමිණෙන අතර ඒ නිසා ඇතිවන පීඩනය වකුගඩුවල ක්‍රියාකාරීත්වය දුර්වල කිරීමට හේතු විය හැකියි.

වකුගඩුවලට අවශ්‍ය රුධිරය නියමිත ප්‍රමාණයෙන් නොලැබීම

සතාට හෘද රෝග පවතින විටදී හදවත නිසි පරිදි ක්‍රියා නොකිරීමෙන් රුධිර පීඩනය අඩු වන්නට පුළුවන්. එවිට වකුගඩුවලට ගමන් කළ යුතු රුධිර ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට නොලැබී යනවා. මේ හේතුවෙන් ද වකුගඩු අකර්මණ්‍ය විය හැකියි.

විෂ වර්ග ශරීරගත වීම

වාහන එන්ජින් සිසිල් කිරීමට භාවිත කරන දියර පානය කිරීම හේතුවෙන් සතුන්ගේ සිරුරට ඇතුළු වන විෂ, වකුගඩු රෝග හටගැනීමට එක් ප්‍රධාන හේතුවක්. ඊට අමතරව ඊයම්, රසදිය වැනි බැර ලෝහ, බැටරි කැබලි, මීපාසානම් ශරීරගත වීම ද තවත් හේතුවක්. සුනඛයන් කාලයක් පුරා මිදි ආහාරයට ගැනීම හේතුවෙන් ද වකුගඩු රෝග හට ගැනීම සිදු වෙනවා.

බැක්ටීරියා ආසාදන

නොයෙකුත් රෝගී තත්ත්වයන් නිසා ශරීරයෙන් දියර බැහැර වීම සහ ජලය පානය නොකිරීමෙන් විජලනයට පත්වීම

ක්ෂණිකව හටගත් වකුගඩු රෝගයක ලක්ෂණ:

* වමනය
* ආහාර අරුචිය
* ක්‍රියාශීලී බව අඩුවීම
* මුත්‍රා අඩුවෙන් පිටවීම
* සිරුරේ සමබරතාව ගිලිහී යාම

රුධිර සහ මුත්‍රා පරීක්ෂණ තුළින් මෙන්ම එක්ස්රේ, ස්කෑන් පරීක්ෂණ තුළින් ද මෙම තත්ත්වය හඳුනාගත හැකියි.
මෙයට ඉක්මන් ප්‍රතිකාර ලෙස සේලයින් වැනි තරල වර්ග ශිරාගත කළ යුතුයි. එසේ කරන්නේ වකුගඩුවල ක්‍රියාකාරිත්වය දුර්වල වීම නිසා ශරීරය තුළ එක්රැස් වී ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමටයි. තරල වර්ග ශිරාගත කිරීමත් සමඟ මුත්‍රා නිපදවී මුත්‍රා පිටවන්නේ නම් තත්ත්වය බරපතළ නොවන බව සිතිය හැකියි. නමුත් එවිට ද මුත්‍රා පිට නොවන්නේ නම් තත්ත්වය වඩා බරපතළ බව වටහා ගත යුතුයි. එවිට එකම ප්‍රතිකර්මය රුධිරය පිරිසිදු කිරීමයි. නමුත් දැනට අපේ රට තුළ සතුන්ගේ වකුගඩු රෝගවලදී රුධිරය පිරිසිදු කිරීමේ දියුණු ප්‍රතිකාර ක්‍රම දැකීම අසීරු යි. වකුගඩුවල ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කළ හැකි ප්‍රතිකාර ක්‍රම තුළින් යම් තාක් දුරකට සුවපත් කරගන්න පුළුවන්. එහෙත් මෙම තත්ත්වය දරුණු අතට හැරුණොත් සතුන්ගෙන් 60% ක් පමණ ම මිය යාම බොහෝවිට සිදු වෙනවා.

දීර්ඝ කාලයක් පුරා වර්ධනය වූ වකුගඩු රෝගයක ලක්ෂණ :

* වමනය සහ දියර ලෙස මල පිටවීම
* මුලින් මුලින් වැඩිපුර ජලය පානය කරමින් වැඩිපුර මුත්‍රා පිට කිරීම , පසුව ජලය පානය කිරීමත් මුත්‍රා පහ වීමත් නිසි පරිදි සිදු නොවීම
* රුධිරය පිටවීම
* මුඛයෙහි තුවාල හට ගැනීම සහ මුඛයෙන් ඉවසිය නොහැකි තරමේ දුගඳක් වහනය වීම
* රක්තහීනතාවය ඇතිවීම
වකුගඩුවල රුධිර යෙදවීමට වැදගත් වන හෝමෝනයක් වන erythropoletin නිපදවීම ඇනහිටීම හේතුවෙන් රතු රුධිරාණු නිෂ්පාදනය අඩු වීම
* සතාගේ සමෙන් රෝගී බවක් දිස් වීම
* විජලනය
* වකුගඩු පිහිටි කොන්ද ආශ්‍රිත ප්‍රදේශය ස්පර්ශ කරන විට වේදනාවක් ඇතිවීම නිසා සතා කෑගැසීම
* පාද සහ උදරය ඉදිමීම

හදිසියේ හටගත් වකුගඩු රෝගයකට වඩා දිගු කාලයක් පැවති රෝගී තත්ත්වය බරපතළයි. කාලයක් පුරා වර්ධනය වූ වකුගඩු රෝගයක් හේතුවෙන් රෝග ලක්ෂණ පහළ වන අවස්ථාව වන විට වකුගඩුවලින් 75 % ක් පමණ ම විනාශ වී හමාරයි. රෝග ලක්ෂණ මතු වන අවස්ථාව වන විට දී බොහෝ සතුන් වයස්ගත වී සිටීම හේතුවෙන් ප්‍රතිකාර කිරීම ද අසීරුයි. රෝගී තත්ත්වය හේතුවෙන් ම සතුන් බොහෝ විට මිය යෑම සිදුවෙනවා.

මෙම රෝගයට ප්‍රතිකාර :
*ශිරාගත තරල ලබාදීම
*ලුණු නොදැමූ හෝ ලුණු ඉතා අඩු, ප්‍රෝටීන අඩු සහ පොස්පරස් අඩු විශේෂිත ආහාර වට්ටෝරුවක් ලබාදීම
*හදවත් රෝග හේතුවෙන් රුධිර සැපයුම නිසි පරිදි සිදු නොවේ නම් ඊට ප්‍රතිකාර කිරීම

සතුන්ට වැළඳෙන වකුගඩු රෝග වළක්වා ගන්නේ කෙසේද?

*සතුන්ට ළඟාවිය නොහැකි ලෙස වස විෂ වර්ග ඈත්කර තැබීම
*කොන්ද ආශ්‍රිතව සිදුවන අනතුරුද වකුගඩු වකුගඩුවලට බලපෑමක් ඇති කරන නිසා එවැනි අනතුරුවලින් වළක්වා ගැනීම
*ඖෂධ සහ විටමින් වර්ග හිතුමතේ නොදී අත්‍යවශ්‍යම අවස්ථාවල පමණක් ලබාදීම
*වෙළඳපලේ ඇති වියළි බවින් වැඩි ආහාර වෙනුවට නිවසේ පිළියෙළ කළ සමබර ආහාර වේලක් ලබා දීම
*කෘත්‍රිම සහ ක්ෂණික ආහාර අවම කිරීම

මෙලෙස ඔබේ සුරතලා පිළිබඳව සැලකිලිමත් වීම තුළින් මෙවැනි රෝග වළක්වා ගැනීම අසීරු වන්නේ නෑ .

පශු වෛද්‍ය ඉසුරු අංජුල පෙරේරා

සැකසුම ඉන්දු පෙරේරා

සතුන්ටත් හිමි අපේ ලෝකය