ඔබව මිලදී ගන්නවානම් කීයක් ගෙවිය යුතුද ? – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

snihala katha kawi

ටිකක් අමුතු ප්‍රශ්නයක් නේද?

‘මිල’ කියන්නේ භාණ්ඩයක වෙළෙඳ අගය. ඒ කියන්නේ සල්ලි වලින් නම් කීයකට දෙන්න පලුවන්ද ගන්න පුළුවන්ද කියන එක.
ඒත් මිනිසුන්ගේ ජීවිත වලට එහෙම මිලක් නියම කරන්න බෑනේ. නේද ?
හැබැයි, ‘එයා හරි වටින පුද්ගලයෙක්’ කියලා සමහර අය ගැන අපි කියනවනෙ නේද?
මේ ‘මිල’ සහ ‘වටිනාකම්’ කියන්නේ එකම දේට නෙමෙයි.
වටිනාකම කියන එක එක් එක් පුද්ගලයා දකින්නේ වෙනස් විදියට.
සමහරුන්ට තඹ සතයක් වටින්නේ නැති දේවල් තවත් කෙනෙකුට මහමෙරක් වටින්න පුළුවන්. ඒ වගේම සමහරුන්ට ගොඩක් වටින දේවල් තවත් සමහරු තඹේකට ගණන් ගන්නෙ නැති වෙන්නත් පුළුවන්.

අම්මා කෙනෙකුට තම දරුවන්ගේ වටිනාකම , දරුවන්ට තම දෙමව්පියන්ගේ වටිනාකම සල්ලි වලින් මිල කරන්න බැහැ.
රත්තරන් මුද්දකට මිලක් තියෙනවා . ඒත් විවාහක යුවලක් එකිනෙකාට පැළඳ වූ මංගල මුදු වලට මිලට එහා ගිය සුවිශේෂ වටිනාකමක් තියෙනවා . ඒ, ඒ දෙන්නා අතර තියෙන ආදරය නිසා.
මලක් පර වුණාම වටිනාකම්ක් නෑ. විසිකරනවා. ඒත් පෙම්වතෙක් පෙම්වතියකට දුන් මලක් සමහරවිට පරවෙලා බොහෝ කල් යනතුරු පොතක් ඇතුලේ පිටු අතර තියෙනවා.. ආදර කතාවක සුවිශේෂී මතකයක් රැඳී තිබෙන නිසා එයාලට ඒක වටිනවා.
කෙනෙක් කාලා විසිකරන ඉඳුල් දවටනය දුප්පත් දරුවෙකුට රජ බොජුනක් වෙන්න පුළුවන්.

වතුර බෝතලයකට මිලක් තියෙනවා. ඒත් තද වර්ෂාව කියන සීතල දවසකට වඩා තදට අව්ව පායන දවසක අධික පිපාසයෙන් ගෙදර ආපු වෙලාවක ඒ වතුර බෝතලේ ඊට වැඩිය 10 ගුණයක් වටිනවා. එකම මිල වුණාට වටිනාකම් දෙකයි. එහෙම නේද?
මිලයි වටිනාකමයි අතර තියන වෙනස ගැන අදහසක් ඔබට එන්න ඇතිනේ.
කොහොමද කෙනෙක්ගෙ සැබෑ වටිනාකමක් හඳුනාගන්නෙ?
අපි බොහෝ වෙලාවට මිනිසුන්ව තක්සේරු කරන්න උපයෝගි කරගන්නේ මිල මිසක් වටිනාකම් නෙවෙයි.
දුප්පත් පොහොසත් කියලා අපි මිනිස්සුන්ව වර්ග කරල තියෙනවා.
අපි සාමාන්‍යයෙන් කෙනෙක් දුප්පත්ද පොහොසත්ද කියලා තීරණය කරන්න පුරුදුවෙලා ඉන්නෙ එයාට කොච්චර සල්ලි තියෙනවද ඉඩකඩම් ගෙවල් දොරවල් රන් ආභරණ යාන වාහන වගේ දේවල් තියෙනවද නැද්ද කියන මිනුම් දණ්ඩෙන්. නේද?

ඒ විතරක් නෙවෙයි,සමහරු සල්ලි තියෙන අයට ගරු බුහුමන් දත්ක්වනවා. දුප්පත් අයව ගණන් ගන්නෙත් නෑ.
අපි ඉපදෙනකොට සතයක්වත් අතේ ඇතිව නෙමෙයි ඉපදෙන්නේ .යනකොටත් සතයක්වත් අරගෙනත් නෙමෙයි යන්නේ.
මේ දෙක අතරතුර අපි කොහොමද ජීවත් වෙන්නේ කියන එකයි වැදගත්.
කෙනකුගේ සැබෑ වටිනාකම් තියෙන්නෙ සල්ලි වල වත් ඔහුට තියෙන දේවල් වල වත් නෙමෙයි.
සල්ලි වලට ගන්ඩ බැරි උතුම් වටිනා ගතිගුණ කොච්චර ඒ පුද්ගලයා තුල තියෙනවද කියන කරුණ මතයි සැබෑ වටිනාකම් තීරණය වෙන්නේ.
ඇත්තටම කෙනෙක් සතු සියලුම භෞතික වස්තු සම්පූර්ණම අයින් කරල ඒ පුද්ගලයා පමණක් ගත්තම ඔහු තුළ මොන තරම් විශිෂ්ට උතුම් ගතිගුණ තියෙනවද කියලා තක්සේරු කිරීමෙන් තමයි කෙනෙකුගේ සැබෑ වටිනාකම් මැන ගන්න පුළුවන් වෙන්නේ.

සමහර මිනිස්සු කොච්චර දුප්පත් ද කියනවා නම් ඒ ගොල්ලො තමන්වම විකුණනවා සල්ලි වලට. වෙන විදියකට කියනවා නම් සල්ලි දීපුවම ඕන වැඩක් එයාලට කියලා කරගන්න පුළුවන්.
මේකෙන් අදහස් කරන්නේ තමන්ගේ ශක්තිය දක්ෂතාවන් දැනුම ශ්‍රමය යොදවලා තමන්ගේ දෑතේ ශක්තියෙන් යමක් උපයා ගැනීම ගැන නෙමෙයි. මේකෙන් අදහස් කළේ සල්ලි දෙනවනම් ඕනෑම ප්‍රතිපත්තියක් පාවාදෙන්න, ඕනෑම කැත වැඩක් කරන්න ඕනෑම අපරාධයක් වුණත් කරන්න සමහර මිනිස්සු සූදානම් කියන එකයි.
සමහර දේශපාලනඥයන්ට අපරාධකාරයන්ට අන්න ඒ වගේ මුදලට විකිණෙන තුට්ටුදෙකේ හිස් මිනිසුන්ව හරියට වටිනවා.

සල්ලි තනතුරු බලය කොච්චර තිබුනත් පගා ගහන, කොමිස් ගහන, හොරකං කරන, අල්ලස් ඉල්ලන ,අනුන්ගේ දේ මංකොල්ල කන මිනිස්සු මොන තනතුරක හිටියත් ඇත්තතටම නින්දිත මානසික හිඟන්නෝ ටිකක් මිසක් කිසිම සැබෑ වටිනාකමක් ඇති ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ නෙවෙයි. ඇත්තටම ඒ වගේ මිනිස්සු මුලු ලෝකෙටම ශාපයක්.

සමහර මිනිසුන්ට සල්ලි තිබුනට ඒගොල්ලන්ගෙ ජීවිතවල කිසි වටිනාකමක් නැහැ. හිස් බොල් මිනිස්සු. අනිත් අතට සමහර මිනිස්සු මුදල් අතින් අන්ත දුප්පත් වුණත් ඉතා උසස් වටිනා ගුණධර්ම වලින් හෙබි මිනිස්සු. අන්න ඒ අය ඇත්තටම වටිනා මිනිස්සු.
ඔබේ සැබෑ වටිනාකම් තියෙන්නේ බාහිරින් ඔබට අයිති මුදල්, තර බැංකු ගිණුම් ,යානවාහන, සුවපහසු ගෙවල් දොරවල් යනාදිය මත නොව, අභ්‍යන්තරයෙන් ඔබ මුදලට විකිනෙන්නේ නැති නිවහල් පෞරුෂයක් තියෙනකෙනෙක්ද කියන එක මතයි.

උසස් වටිනාකම් තියන මිනිස්සුන්ව කවදාවත් සල්ලි වලට ගන්න බෑ. සල්ලි වලට ගිජු නැති නැමෙන්නෙ නැති උතුම් ගති ඔබ තුළ තියෙනවා නම් ඇත්තෙන්ම ඔබ වටිනා කෙනෙක්.

සමහර මිනිසුන්ට සල්ලි තිබුනට හිතේ සතුටක් සමාදානයක් නෑ.හැමතිස්සෙම ඉන්නේ ආතතියෙන්.හිතේ අසහනයෙන්. අපි සල්ලි හම්බකරන්නේ සතුටින් සමාදානෙන් ජීවත් වෙන්න. ඒත් ඒ අපි ප්‍රාර්ථනා කරන සන්සුන් සතුටු ජීවිතය ලැබෙන්නේ නැත්නම් සල්ලි කොච්චර තිබුනත් ඇති වැඩේ මොකක්ද?

මේ පුංචි කතාව ටිකක් අහන්නකො.
එක සල්ලිකාර ධනවත් ගෙදරක තාත්තා කෙනෙක් හිතුවලු එයාගේ පුංචි පුතාට දුප්පත් මිනිසුන්ගේ ජීවිත ගතවෙන හැටි පෙන්නන්න.

එහෙම හිතිලා ඈත දුප්පත් ගමක දවස් තුන හතරක් ගත කරන්න එක්කගෙන ගියාලු. ඒ ගමේ ඉඳලා තියෙන්නෙ ගොවිතැන් කරන, ලණු අඹරන ,තෙල් හිඳින, වළං හදන යනාදි දේවල් ජීවනෝපාය කරගත්තු අහිංසක මිනිස්සු පිරිසක්.
ඒ ගමේ දින කීපයක් ගත කරල තමන්ගේ සැප පහසු කාර් එකේ ආපසු එමින් ගමන අර තාත්තා පුතාගෙන් මෙහෙම ඇහුවලු .
“පුතාට තේරුණාද දුප්පත්කමයි පෝසත් කමයි අතර තියෙන වෙනස ?”
එතකොට අර පුතා මෙහෙම උත්තර දුන්නලු
“ඔහු තාත්තේ මට හොඳට තේරුනා”
“මොනවාද පුතාට තේරුණේ ?’
ඒකට ඒ පුංචි පුතා දීලා තියෙන්නේ විශ්මයජනක පිළිතුරක්.
“අපේ ගේ වටේටම තාප්ප තියෙනවා.ඒ ගමේ එහෙම නෑ. අපේ වත්තෙ ස්විමින් පූල් එකක් තියෙනවා .වත්ත වටේට ලයිට් දාලා තියෙනවා.ඒගොල්ලන්ට ලොකු වැවක්
තියෙනවා .ඊට උඩින් තරුයි හඳයි පායලා තියෙනවා.
අපිට තඩි බල්ලෙක් ඉන්නවා. ගමේ බල්ලො ගම ආරක්ෂා කරනවා.
අපිට ඒසී තියෙනවා. ඒගොල්ලන්ට වැවට උඩින් එන සීත හුලං තියෙනවා .
අපි සුපර්මාර්කට් එකෙන් එළවළු ගේනවා. කිරි පැකට් ගෙනල්ල බොනවා.
ගමේ අය අලුත්  එළවළු වවාගෙන කනවා. එළදෙනුන්ගෙන් උදේ ගත්තු නැවුම් කිරි බොනවා. අපි තාප්පෙ ඇතුලේ බැඩ්මින්ටන් ගහනවා, මොබයිල් ෆෝන් එකෙන් ගේම් ගහනවා… ගමේ ළමයි සින්දු කිය කිය ගමේ සෙල්ලම් පිට්ටනියෙ සෙල්ලං කරනවා . හැංගිමුත්තං ඔට්ටු සෙල්ලම් කරනවා ..මම ගෙට වෙලා පාඩම් කරනවා,ගමේ ළමයි ගස් යට පොත් කියවනවා.අපේ ගෙදර මල් පෝච්චි කීපයක් තියෙනවා. ගමේ පාර දෙපැත්තේ මල් පිපිලා තියෙනවා …මට හොඳට තේරුනා තාත්තේ ඒ ගොල්ලො කොච්චර පොහොසත් ද අපි කොච්චර දුප්පත්ද කියලා.. අපි හරි පවු නේද තාත්තේ.. ? ”
ඒ පුංචි දරුවාගේ කතාව අහලා තාත්තට දෙන්න උත්තර නැති වුනාලු .

සල්ලි වලට ගන්න බැරි, ඒත් අපි ගණන් ගන්නෙවත් නැති, කොච්චර වටිනා දේවල් අපි මගහැර ගන්නවද කියලා තේරුම් ගන්න මේ පුංචි කතාව හරි වටිනවා නේද ?

සල්ලි කියන්නේ ධනය කියන්නේ නරක දේවල් නෙවෙයි. ඒවා ඇත්තටම හොඳයි. අපට ජීවත්වෙන්න ගෙයක්, දිනපතා ආහාර පාන, ඇඳුම් , වාහනයක් වගේ දේ බොහෝ දේවල් අවශ්‍යයි. මේ හැමදේටම සල්ලි අවශ්‍යයි. ඒ නිසා මුදල් හම්බ කළාට මුදල් පාවිච්චි කලාට, ටිකක් ඉතිරි කර ගත්තට කිසිම වරදක් නැහැ.

වරද තියෙන්නෙ ඕනෑවට වඩා සල්ලි වලට කෑදර වීම සහ අනවශ්‍ය වැඳුම්පිදුම් කිරීමයි. තරහ ගිය හරකෙකුව අං දෙකෙන් අල්ලනවා මිසක් වලිගෙන් ඇල්ලුවොත් දන්නවනේ වෙන දේ .

සල්ලිවලට ඕනැවට වැඩිය ගරු බුහුමන් දක්වන්න ගියාම පෙරේත වෙන්ඩ ගියාම සිද්ද වෙන්නෙත් ඒ වගේ ලොකු විනාසයක් තමයි . සල්ලි වලින්ම විනාශ වෙලා යනවා.

අද සමාජයේ බොහෝ ප්‍රශ්න වලට මුල තමයි පුද්ගලයෙකුගේ නියම වටිනාකම තේරුම් ගන්නේ නැතුව සල්ලි වලින් ඔහුව මනින්න හදන එක . සල්ලි වලටයි සල්ලි තියන මිනිසුන්ටයි වැඳුම් පිදුම් කරන එක.
ඉතින් ,වටිනාකමයි මිලයි පටලවා නොගෙන , සල්ලි කියන්නේ පාවහන් දෙකක් මිසක් ඔටුන්නක් නෙමෙයි කියලා හිතාගෙන වැඩ කරන්න.
සල්ලි වලට කෑදර වෙන්න එපා. සල්ලි තියෙන මිනිස්සුන්ට ආවඩන්නත් , නැති අයව කොන් කරන්නත් එපා.
සල්ලි වලට ගන්න බැරි උසස් ගුණාංග වලින් හෙබි පුද්ගලයෙක් වන්න.

ඔබ මිනිස් ගල් බොරළු මැද සැබවින්ම වටිනා මැණිකක් වේවි!

මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

ඉරා අදුරුපට