වමත හුරු දරුවෙකුට බලහත්කාරයෙන් දකුණත හුරු කරන්නට යන මව්වරු සිටිති. සමහරුන් කියන්නේ එසේ කරන්නට යාම දරුවාගේ පැත්තෙන් ඉතා අහිතකර බවයි. මෙවැනි ගැටලු ගැන පවසන මව්වරු අපට සායනයේදී හමුවෙති. මෙහි ඇති හොඳ නරක ගැන කතා කරන්නට කලින් කෙනෙකුට වමත හෝ දකුණත හුරු වීම තීරණය වන්නේ කෙසේදැයි විමසා බලමු.
සාමාන්‍යයෙන් අප වැඩි දෙනෙකුටම හුරු දකුණත යි. එනිසා කෑම ගැනීම ලිවීම වැනි ඕනෑම දෙයකට අප පාවිච්චි කරන්නේ දකුණත ය. දකුණත හුරු තැනැත්තා බෝලයකට ගල් කැටයකට පයින් ගැසුවත් ගසන්නේ දකුණු පාදයෙනි. එනිසාම දකුණත හුරු පුද්ගලයාට වමතින් කෑම කන, වමතින් ලියන, වමතින් වැඩ කරන අය දකින විට නුහුරු ගතියක් දැනෙනු ඇත.
තමන්ගේ දරුවෙකු වමතින් වැඩ කරන අන්දම දකින විට බොහෝ මවුවරු ඊට වැඩි කැමැත්තක් නොදක්වන අතර ඒ නිසාම බලෙන්ම වාගේ දරුවන්ට දකුණු අත හුරු කරන්නට වෑයම් කරති. අප කෙනෙකුට යමක් දෙන්නේ දකුණතිනි. කෙනෙකු පිළිගැනීම සඳහා අතට අත දෙන විට භාවිත කරන්නේද දකුණතයි. ඒ කෙසේ වුව වම් අත පිළිබඳ අපේ පවතින ආකල්ප එතරම් හොඳ මට්ටමක නොතිබීම සඳහා බලපාන ප්‍රබල හේතුවක් විය හැක්කේ අප වැසිකිළියට ගොස් ශරීරය පවිත්‍ර කිරීම වැනි කටයුතුවලදී වම් අත භාවිතා කිරීම ය. විශේෂයෙන් වමතින් කෑම කන දරුවකුට දකුණත හුරු කිරීම සඳහා මව්වරුන් බලවත් වෑයමක් දරන්නේ මේ ආකල්පය නිසා බව සිතිය හැකිය.
අප දකුණත්කාරයන් හෝ වමත්කාරයන් වන්නේ කෙසේද?
අපේ මොළයේ වම් සහ දකුණ වශයෙන් ප්‍රධාන අර්ධයන් දෙකක් තිබේ. වම් අර්ධයෙන් පාලනය වන කොටස් වෙනමත්, දකුණු අර්ධයෙන් පාලනය වන කොටස් වෙනමත් වශයෙන් පවතින අතර මීට අමතරව මැද මොළය, කුඩා මොළය සහ මොළයේ නාරටිය වශයෙන් මොළයේ ප්‍රධානම කොටස් කිහිපය වෙන්කර දැක්විය හැකිය.
අපේ කථන හැකියාව පාලනය කරන්නේ මොළයේ වම් අර්ධය යි. හඬ කනට ලබා ගැනීම,එය අවබෝධ කර ගැනීම සහ කථනය යන මේ කාර්යයන් තුනම මෙයට අයත් ය. එනිසා මොළයේ වම් අර්ධයට කුමක් හෝ හානියක් සිදුවුණොත් කතා කිරීමේ හැකියාව, තේරුම් ගැනීමේ හැකියාව වැනි දෑ නැති විය හැකිය.
අප කෙනෙකු හඳුනා ගත් පසු ඒ රූපය මතක හිටීම, ඒ අනුව නැවත දුටු විට ඒ පුද්ගලයා හඳුනා ගැනීමට හැකිවීම ආදිය දකුණු අර්ධයේ ක්‍රියාකාරීත්වය මත ඇතිවේ. යමක් දෙස බලා අප සිටින තැන හිඳ එතැනට ඇති දුර අනුමාන ලෙසින් ගණනය කිරීමේ හැකියාව එනම් ත්‍රිමාණ හැකියාව, වම සහ දකුණ යන දෙකෙහි වෙනස හඳුනාගැනීමේ හැකියාව අපට ලැබී තිබෙන්නේ මොළයේ දකුණු අර්ධය නිසා ය. යම් අයුරකින් මෙම දකුණු අර්ධයට හානියක් වුණොත් අඩුම තරමින් අපට වම දකුණ වෙන්කර තෝරා ගැනීමට තිබෙන හැකියාව පවා අහිමි වෙයි.
මේ හැරුණු විට බුද්ධිමය හැකියාවන්, ගණිතමය හැකියාවන්, කලාත්මක හා නිර්මාණශීලී හැකියාවන් යනාදී බොහෝ දේවල් මෙම අර්ධයන් දෙකෙන් පාලනය වේ.
වැඩි දෙනෙකුගේම මෙම අර්ධයන් දෙකෙන් ප්‍රධාන අර්ධය වී පවතින්නේ වම් අර්ධයයි. අප වැඩි දෙනෙක් දකුණත්කරුවන් වී හිඳින්නේ ඒ නිසා ය. සමාජයේ 94% ක් පමණම දකින හුරු අයයි. වමත්කරුවන් වන්නේ ඉතිරි 6% දෙනා ය.
අපට වම හෝ දකුණ වැඩියෙන් හුරු වීමට ජානවල බලපෑමක් ද තිබේ. නිදසුනක් ලෙස වම හුරු කෙනෙකුගේ පවුලේ සමහර දරුවන්ද වමත්කාරයන් වීමට හැකියාවක් ඇත.
කෙසේ වුවද වයස අවුරුද්දට අඩු කුඩා දරුවන්ගේ ක්‍රියාකාරකම් දෙස බලා ඒ දරුවා අනාගතයේ වමත්කරුවෙක් හෝ දකුණත්කරුවෙක් වේයැයි හරියටම නිශ්චය කිරීම අපහසු ය. ඕනෑම කෙනෙක් උපදින විට මොළයේ හැම මධ්‍යස්ථානයක්ම මූලික වශයෙන් වර්ධනය වී අවසන් ව තිබුණත්, බුද්ධිමය යමක් තේරුම් ගැනීමේ හැකියාව, ඉගෙන ගැනීමේ හැකියාව ආදී වූ උසස් හැකියාවන් ඉන්පසු ටික ටික වර්ධනය වෙයි. වයස අවුරුද්දට වඩා අඩු දරුවකුට වමත මෙන්ම දකුණතත් එකම ආකාරයට භාවිත කළ හැකිය. මේ වගේ කුඩා දරුවන් අත් දෙකෙන්ම බත් කන ආකාරය ඔබත් දැක ඇතැයි සිතමු. නමුත් සමහර විට මාස 6 -7 වැනි වයසක පසුවන දරුවකු වමත හෝ දකුණත වැඩිපුර පාවිච්චි කරන්නට බැරි කමකුත් නැත. ඒ වයසේ කුඩා දරුවකු වම් අත වැඩිපුර පාවිච්චි කළහොත් ඒ දරුවා අනාගතයේ වමත්කරුවකු වේ යැයි නිගමනය කිරීමද කළ නොහැකිය. සාමාන්‍යයෙන් දරුවකු වමත්කාරයෙක්ද, දකුණත්කාරයෙක්ද යන්න හරියටම තීරණය කළ හැක්කේ ඒ දරුවාගේ වයස අවුරුදු දෙකක් පමණ වන විටය.
ඉතා කලාතුරකින් දකුණු අර්ධය ප්‍රබල දරුවකු වුවද වම් අත වෙනුවට දකුණු අත පාවිච්චි කරන අවස්ථාද නැතුවා නොවේ. ඊට හේතුව පාරිසරික බලපෑම ය. නිදසුනක් ලෙස වමත හුරු දරුවකුට බලෙන් වාගේ දෙමව්පියන් දකුණත හුරු කිරීම නිසා ඔවුන් දකුණ වැඩිපුර පාවිච්චි කරන අය බවට පත්වන්නට පුළුවන.
වමත හුරු දරුවකු දකුණතට බලෙන් හුරු කරවන්නට උත්සාහ කිරීමෙන් ඔවුන් තුළ විවිධ ගැටලු ඇති විය හැකි යැයි සමාජයේ මුල් බැසගත් මතයක් ඇත. නමුත් මෙය විද්‍යාත්මකව සනාථ වූවක් නොවේ. එකම දෙය නම් වමත හුරු දරුවෙකුට දකුණත හුරු කරවන්නට යාම එම දරුවාට මානසික වදයක් විය හැකි වීමයි. ඒ කෙසේ වුවද වමත හුරු දරුවකුට දකුණත හුරු කළත් නැතත් එහි ගැටලුවක් නොමැත. නමුත් බලහත්කාරයෙන් එලෙස දකුණත හුරු කරවීමට අවශ්‍යද නොමැත. එයට හේතුව මේ අත් දෙකෙන් කොයි අත වැඩිපුර හුරු වුණත් එහි කිසිදු ගැටලුවක් නොමැති වීම ය.
කායික රෝග විශේෂඥ වෛද්‍ය කේමින්ද තිලකරත්න
ඉන්දු පෙරේරා