ඔබේ සුනඛ සුරතලාටත් දියවැඩියාව වැළඳිය හැකියි

දියවැඩියාව මිනිසුන් තුළ බහුල බෝ නොවන රෝග තත්ත්වයකි. නමුත් දියවැඩියාව මනුෂ්‍යයන්ට පමණක් ආවේණික වූ රෝගයක් නොවේ. ඔබ නොදන්නවා ඇති මුත් දියවැඩියාව සුනඛයින්ට ද වැළඳෙන්නකි. එනිසා සුනඛයන්ගේ දියවැඩියාව ගැන අපි මෙම ලිපියෙන් සාකච්ඡා කරමු.

සුනඛයන්ට දියවැඩියාව වැළඳීමට බලපාන හේතු දෙකක් දැක්විය හැකිය.

1. අග්න්‍යාශයෙන් ප්‍රමාණවත් පරිදි ඉන්සියුලින් නිපදවීම සිදු නොවීම හේතුවෙන් රුධිරයේ ග්ලූකෝස් මට්ටම නිසි පරිදි පාළනය නොවීම
2. අග්න්‍යාශයෙන් නිපදවෙන ඉන්සියුලින් සිරුරේ ඇති සෛලවල බෙදීම නිසි පරිදි සිදු වුවද ග්ලූකෝස් ශක්තිය බවට පරිවර්තනය වීමක් සිදු නොවීම හේතුවෙන් රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යාම

සුනඛ සුරතලුන් දියවැඩියාවෙන් පෙළෙන විට හඳුනා ගත හැකි රෝග ලක්ෂණ :

ඉහත සඳහන් දෙවන හේතුව වන ග්ලූකෝස් ශක්තිය බවට පරිවර්තනය නොවීම නිසා ශරීරයේ සෛල නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නැත. කුසගින්න පාළනය වීම ද මොළය මගින් සිදුකරන කාර්යයකි. මොළයේ සෛල ද පෙර කී හේතුව නිසා නිසි අයුරින් ක්‍රියාත්මක වීමට බාධා පැමිණේ. එවිට එම සුනඛයා ට නිතරම කුසගිනි ස්වභාවයක් දැනෙනු ඇත. ඒ නිසා සතා නිතර නිතර ආහාර ගැනීමට පෙළඹිය හැකිය. එසේ ආහාර ගත්තත් ඒවා සිරුරට අවශෝෂණය නොවී මුත්‍රා සමඟ පිටවීම හේතුවෙන් සිරුර වර්ධනය වීමක් සිදු නොවේ.

තවත් ලක්ෂණයක් වන්නේ නිතර දැනෙන පිපාසය යි. මේ හේතුවෙන් වරින් වර ජලය පානය කිරීමත්, නිතර නිතර මුත්‍රා පහ කිරීමත් දැකිය හැකිය.

ශරීරයේ බර අඩුවීම තවත් ලක්ෂණයකි.

සුනඛ සුරතලාට වැළඳෙන දියවැඩියා තත්වය හඳුනා නොගෙන කලක් ගත වුවහොත් වකුගඩු අකර්මන්‍ය වීම, ඇසේ සුද මතුවීම ද සිදුවිය හැකිය.

සාමාන්‍යයෙන් මිනිසුන්ට දියවැඩියාව හටගන්නට ජානමය බලපෑම් බොහෝවිටම හේතුවේ. සුනඛයන්ට ද එසේය. ඩැෂන් වර්ගයේ සුනඛයන් හට දියවැඩියාව වැළඳීමේ වැඩි හැකියාවක් පවතින බව තහවුරු වී තිබේ. ඔබේ සුනඛයාට ද දියවැඩියාව ඇතැයි සැක සහිත නම් රුධිර පරීක්ෂණයක් මගින් එය පහසුවෙන් හඳුනාගත හැකිය. යම් සුනඛයකු දියවැඩියාවෙන් පෙළෙන්නේ යැයි හඳුනාගත් විට පාලනයකින් යුතුව ආහාර ලබාදීම අත්‍යවශ්‍ය ය. ඒ සඳහා රෝගී තත්වයට සුදුසු ආකාරයට සකස් කරන ලද ආහාර වට්ටෝරු ලබා දීම සුදුසු වේ. දියවැඩියාව ඉතා තදබල ආකාරයෙන් පවතින විටදී මිනිසුන්ට සේම සුනඛයන්ට ද ඉන්සියුලින් එන්නත් කිරීම අවශ්‍ය වේ.

සාමාන්‍යයෙන් අපේ රටේ සුනඛයන් හැරුණු විට ගෘහස්ථ සතකු ලෙස වඩාත් ප්‍රචලිත වී හිඳින්නේ බළලා යි. මෙය කියවන ඔබට ඔබේ සුරතල් බළලාටත් දියවැඩියාව වැළඳිය හැකිද යන ගැටලුව මතු වනු නිසැකය.මීළඟට කතා කරන්නේ අප ඒ ගැනයි.

මුලින්ම අපි සුනඛයා සහ බළලා අතර ඇති වෙනස හඳුනා ගනිමු.

ලෝකයේ සුනඛ ප්‍රභේද අතරේ ගෘහස්ථ සුනඛයන් හැඳින්වෙන්නේ carnis lupus domesticus නමැති විද්‍යාත්මක නාමයෙනි. carnis lupus යනු වෘකයා යි. වෘකයන් ධාන්‍ය ආහාරයට නොගත්තත් වසර දහස් ගණනාවක් මිනිසුන් හා ජීවත් වුණු ගෘහස්ථ සුනඛයෝ ධාන්‍ය ආහාරයට ගනිති. ඒ අනුව සුනඛයා යනු මිනිසා මෙන්ම සර්වභක්ෂික සත්වයෙකි .

නමුත් වෘකයාගෙන් බෙදී ගිය අනෙක් වන සුනඛ විශේෂවලට අයත් සත්තු ධාන්‍ය ආහාරයට නොගනිති. එමෙන්ම අපේ රටේ වන සුනඛ වර්ගයේ සතුන් දක්නට ලැබෙන්නේ ද නැත. සමාජයේ සමහරුන් වල් බල්ලන් ලෙස හඳුන්වන්නේ නිවාස අහිමි ගෘහස්ථ සුනඛයන්ටම ය. ඒ සෑම සුනඛයකුම නිවසකින් පිටමං කළ හෝ එවැනි පරපුරකට අයත් ගෘහස්ථ සුනඛයෙක්ම වේ.

සුනඛයාගේ තතු එලෙස වුවද බළලා ඊට වඩා වෙනස්ය. බළලා මාංශ භක්ෂක සතෙකි. සුනඛයාට වඩා බළලාගේ ශරීරය ජීව විද්‍යාත්මක වශයෙන් මෙන්ම රසායනිකමය වශයෙන්ද වෙනස් ය.

නමුත් බළලාට වුවද දියවැඩියාව හැදෙන්නට බැරිකමක් නැත. එවිට සුනඛයා බඳුම රෝග ලක්ෂණ යම් පමණකට පළ කරන්නට ද පුළුවන. නමුත් සුනඛයාගේ තරම්ම බළලාගේ එය අනාවරණය කර ගැනීම අසීරු වෙයි. එසේ වුවද සුනඛයාගේ දියවැඩියාව රුධිර පරීක්ෂණයක් මගින් අනාවරණය කර ගත හැකි අයුරින් ම බළලාගේද එවැනි රුධිර පරීක්ෂණයක් කළොත් දියවැඩියාව තිබේද නැද්ද යන්න හඳුනාගැනීමට හැකියාව ඇත. නමුත් අපේ රටේ එවැනි දෙයක් කළ අවස්ථාවක් වාර්තා නොවන තරම්ය.

පශු වෛද්‍ය ඉසුරු අංජුල පෙරේරා

ඉන්දු පෙරේරා

සතුන්ටත් හිමි අපේ ලෝකය