හිටිවනම ඔබේ බළල් සුරතලා හෝ සුනඛ සුරතලා සොයාගත හැකි හේතුවක් නොමැතිව රෝගී වී, ඇතැම් විට ඉතා ශෝචනීය ආකාරයෙන් මරණයට පත්වන අවස්ථා තිබේ. එලෙස හිටිහැටියේ රෝගී කරවන සහ මරණයට පත්වන එක් අවස්ථාවක් වන්නේ සුරතලාට වස විෂ ශරීරගත වීමයි. සමහර විෂ වර්ග ශරීරගත වූ සැණින් සතුන් රෝගාතුර වේ. තවත් සමහර විෂ වර්ගවල බලපෑම කලක් තිස්සේ එම විෂ වර්ග ආහාරයට ගැනීම නිසා පසුකාලීනව ඇති වන්නකි.
සුනඛයන්ට සහ බළලුන්ට ශරීරගත විය හැකි විෂ වර්ග
* මිනිසුන් සඳහා නිර්දේශිත සමහර ඖෂධ වර්ග
මෙවැනි එක් ඖෂධ වර්ගයක් වන්නේ නිවෙස්වල බහුලව තිබෙන වේදනානාශකයක් වන පැරසිටමෝල් ඖෂධය යි. එය බළලුන්ගේ ශරීරගත වුවහොත් උග්‍ර විෂක් ලෙස බළලාගේ ශරීරය තුළ එම ඖෂධය ක්‍රියාකාරී වනු ඇත.
* සමහර මිනිස් ආහාර වර්ග
චොකලට්, මිදි, අලිගැටපේර වැනි මිනිසුන්ගේ ප්‍රියතම කෑම වර්ග කාලයක් තිස්සේ සුනඛයන් ආහාරයට ගතහොත් එය ඔවුන් රෝගී කරවන විෂක් ලෙස ක්‍රියා ක්‍රියාකාරී වේ.
* මීයන් මැරීමට යොදා ගන්නා මී පාසානම්
* සමහර පැළෑටි සහ ගෙඩි වර්ග
අලිගැටපේර ගසේ කොළ, දළු මෙන් ම පොත්ත ද සුනඛයන් ආහාරයට ගතහොත් එය ඔවුන්ට විෂ විය හැකිය. මිනිසුන්ට මාරාන්තික වන පැළෑටි සහ ගෙඩි වර්ග සුනඛයන්ටද මාරාන්තික විය හැකි අවස්ථා තිබේ.
* පොහොර වර්ග, ශෝධක කුඩු සහ බ්ලීචින් වර්ග
විෂ ශරීරගත වූ සතුන් කිරීම් කෙරෙන් දැක ගත හැකි ලක්ෂණ
* හුස්ම ගැනීමේ අපහසුව
* දියර ලෙස මල පිටවීම
* වමනය
* සිරුරේ සමබරතාවය රැකගැනීමට අපොහොසත් වීම
* මාංශ පේශීන් තද වීම නිසා පාද දරදඬු වීම
* සිරුරේ මාංශ පේශීන් හෝ මුළු සිරුරම වෙව්ලීම
* සිරුරේ උෂ්ණත්වය ඉහළ යාම
* සතාගේ විවර තුළින් රුධිර වහනය වීම
* මූර්ජා තත්ත්වයට පත්වීම
මිදි සහ අලිගැටපේර වරක් දෙවරක් ආහාරයට ගත් පමණින් සුනඛයකු රෝගී වීම බොහෝ විට සිදු නොවේ. එහෙත් කාලයක් තිස්සේ එවැනි ආහාර ගතහොත් පසුකාලීනව රෝගීවීමට වැඩි හැකියාවක් පවතී. චොකලට් ආහාරයට ගත් සමහර සුනඛයන් ක්ෂණිකව රෝගී වීමටත්, තවත් සමහර සුනඛයන් වැඩි වාර ගණනක් චොකලට් ආහාරයට ගැනීම නිසා රෝගී වීමටත් හැකියාව පවතී.
නමුත් මී පාසානම් සහ වෙනත් විෂ වර්ග ආහාරයට ගත් විගස එය මාරාන්තික විය හැකිය. එනිසා වහාම සතාව ප්‍රතිකාර කරා යොමු කිරීම අවශ්‍ය වේ. එහෙත් අධික විෂ ශරීරගත වූ විට සායනයක් කරා රැගෙන යන තුරු ප්‍රථමාධාර දීම ද කල්පනාවෙන් කළ යුත්තකි. ඒ අනුව එම විෂ වර්ග ශරීරගත වීම වැළැක්වීමට හෝ අවම කිරීමට සමහර අවස්ථාවලදී වමනය කරවීම අවශ්‍ය ය. නමුත් සෑම විෂ වර්ගයක් ම වමනය කරවීම ද අනතුරුදායක ය. නිදසුනක් ලෙස ශෝධක කුඩු වැනි විෂ වර්ග වමනය කරවීමේ දී ඒවායේ ඇති වාෂ්පශීලී බව නිසා විෂ පෙනහලුවලට ගමන් කිරීමේ හැකියාව තිබේ. ඒ අනුව වමනය කරවීම ද ඒ ඒ විෂ වර්ගයට අනුව වෛද්‍යවරයකුගේ උපදෙස් මත කළ යුතුය. ශෝධක කුඩු විෂ වමනය කරවනවා වෙනුවට වතුර, කිරි හෝ බිත්තර සුදු මදය පොවමින් සිරුරට ඇතුළු වූ විෂ තනුක කරවීම කළ යුතුවේ. එමගින් එම විෂ ශරීරයට අවශෝෂණය වීම අවම කළ හැකිය.
වමනය කර බැහැර කරවිය හැකි විෂ වර්ග වමනය කළ යුතු ආකාරය
කිලෝග්‍රෑම් 10 ක් බරැති සතෙකුට 3% හයිඩ්රජන් පෙරොක්සයිඩ් මේස හැඳි එකක් පෙවීමෙන් වමනය කරවිය හැකිය.
මී පාසානම් ශරීරගත වූ විට
සුලභව සතුන්ගේ ශරීරගත වන විෂ වර්ගයක් වන්නේ මීපාසානම් ය. මී පාසානම් තුළ රුධිරය කැටි ගැසීම අඩු කරවන රසායනයක් අඩංගු වේ. එනිසා සතාගේ නාසය, මුඛය, ගුදය වැනි විවරයන් තුළින් විශාල වශයෙන් රුධිරය වහනය විය හැකිය. මීපාසානම් ශරීරගත වූ විට ද වමනය කරවීම සුදුසු නොවේ. වෙනත් දෙයක් සිදු නොකොට සතාව වහාම ප්‍රතිකාර කරා යොමු කර වීම අවශ්‍ය වේ. සතා මූර්ජා තත්ත්වයට පත්ව සිරුර සීතල වී පවතී නම් රෙදි කඩකින් ඔතා උණුසුම් කළ හැකිය.
ආහාරයට ගත් විෂ සතාගේ මුඛය අවට හා සිරුරේ තැවරී තිබී සතා නැවත නැවත ඒවා ලෙව කෑම නිසා ශරීරගත වීමට හැකියාව පවතියි. එනිසා සතාගේ කට වටා හා සිරුරේ තැවරී ඇති විෂ, සබන් හෝ ජලය යොදා සෝදා ඉවත් කිරීමට කල්පනාකාරී විය යුතුය.
ප්‍රතිකාර කරා යොමු කළ විට සායනයේදී ලබාදෙන ඖෂධ මගින් විෂ ශරීරගත වීම වළක්වනු ලබයි. ඒ එම ඖෂධයන්ට විෂ උරා ගැනීමට ඇති හැකියාව නිසාය. ඊට අමතරව බටයක ආධාරයෙන් ආමාශගත වී ඇති විෂ ඉවතට ඇද ඉවත් කිරීමද කරනු ලැබේ.
මේ අතරම සතා විජලනය වීම වළක්වාලීමට සේලයින් ශරීරගත කිරීමද සායනවල දී සිදුකරනු ලබයි.
සතුන් ඇති කරන අය වඩාත් කල්පනාකාරී විය යුතු වන්නේ පෙර කී ආකාරයේ විෂ වර්ග සතුන්ගෙන් ඈත් කර තැබීමට ය. සතුන් ඒවා ආහාරයට ගැනීමෙන් සිදුවන කනගාටුදායක තත්වයන් ගෙන් සතුන් මුදවා ගැනීමට ඇති හොඳම ක්‍රමය එයයි. කුඩා දරුවන් සිටින නිවසක එවැනි වස විෂ දරුවන්ට හසු නොවන සේ ඈත්කර තබන අයුරින්ම, සුරතල් සතුන් සිටින නිවසක හිමිකරුවන් ද ඒවා සතුන්ට හසු නොවන සේ තැබීමට විශේෂයෙන් කල්පනාකාරී විය යුතු වේ.
පශුවෛද්‍ය ඉසුරු අංජුල පෙරේරා
ඉන්දු පෙරේරා