ඔබ වැඩි වැඩියෙන් ලෙඩ විය හැකි අවුරුදු මාසය

අලුත් අවුරුද්දට තව වැඩි දවසක් නැත. අප්‍රේල් මාසය අන් කවරදාටවත් වඩා පැණි රස, තෙල් සහ ලුණු වැඩි ආහාර ගන්නා සමයකි. එබැවින් ශරීර සෞඛ්‍යය ගැන අන් කවර මාසයකටත් වඩා ප්‍රවේශම් විය යුතු මාසයක් ලෙස අප්‍රේල් මාසය හැඳින්වූවොත් වැරදි නැත.
මිනිසුන් වූ අප සාමාන්‍යයෙන් ආහාර ගන්නේ ස්වභාවික ද්‍රව්‍ය ඒ පවතින අයුරින් ම නොවේ. ස්වභාවික ද්‍රව්‍ය ඒ අයුරින්ම අප ගන්නා අවස්ථාවක් වන්නේ පලතුරු ය. ඒ හැරුණු විට අනෙක් සියලුම ද්‍රව්‍ය අප කැමති දේවල් අඩු වැඩි වශයෙන් යොදමින් සකස් කර ආහාරයට ගන්නෙමු. අමුවෙන් ගන්නා සලාදයක් වුවද රසවත් කිරීමට ලුණු ඇඹුල් ඇතුළු තවත් නොයෙකුත් දේවල් එකතු කිරීම අපගේ ස්වභාවය යි.
සීනි, ලුණු , තෙල් ආදී වූ මේ ඕනෑම දෙයක් අප ආහාරයට මුසු කරන්නේ අපගේ දිව ප්‍රබෝධමත් කරන්නට ය. දිවෙහි පැණි රස, ඇඹුල් රස, ලුණු රස, තිත්ත රස ආදී වශයෙන් වෙන් වෙන් වූ කොටස් ඇති අතර ඒ සෑම කොටසක්ම පිනවීම කෙරෙහි අපි උනන්දුවක් දක්වමු. විවිධ සුවඳ, කෘත්‍රිම රසකාරක, වර්ණක ආදිය මුසු කර උණුසුම් සහ සිසිල් වශයෙන් විවිධ ආහාර ගැනීමට අප යොමු වන්නේ දිවෙහි ඒ සෑම කොටසක්ම පිනවීමට අපගේ තිබෙන දැඩි කැමැත්ත නිසා ය.

කෙසේ වුවත් අප ගන්නා සෑම ආහාරයක් ම අපගේ පෝෂණය සඳහා ඉවහල් වන්නේ නැත. මෙලෙස දිව සනහාලමින් අප ගන්නා ආහාර අතර පිළිකාකාරක, දියවැඩියාව කොලෙස්ටරෝල් හටගැනීමට හේතු වන විෂ කාරක, ආමාශයේ ඇසිඩ් වැඩි කරමින් ආමාශය තුවාල කරන ද්‍රව්‍ය වැනි දේවල්ද නොදැනුවත්වම බොහෝ සෙයින් අඩංගු වී තිබෙනු ඇත. මේවා ටිකෙන් ටික අපේ ජීවිතය විනාශ කරන ආකාරය ගැන අප දැනුවත් ද නැත.

අපේ ශරීරය වැඩ කරන්නේ ශරීරයට වුවමනා හැටියට මිස අපිට වුවමනා හැටියට නොවේ. එනිසා අප ගන්නා වැරදි ආහාර හේතුවෙන් ශරීරය ද වැරදි ප්‍රතිඵල දෙන විට අපට ඒවා භාර ගන්නට සිදුවෙයි. කුසගින්න, නිදිමත, මළ මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාවය වැනි කිසිවක් අපට වෙනස් කරන්නට නොහැකිය. ඒ ශරීරයට අවශ්‍ය පරිදි අප ඒවා කළ යුතු නිසා ය. එලෙසින් දිව පිනවන්නට ගන්නා ආහාරවලින් අප බලාපොරොත්තු වන දේ ශරීරයේ ඉටු කරන්නේ ද නැත.

පැණි රස කෑමේදී සිදු වනදේ දන්නවාද?

දිවෙහි පැණි රසය සඳහා වූ කොටසක් ඇති බව ඉහත සඳහන් කළෙමු. සොබාදහම අපට එය ලබා දී තිබෙන්නේ පලතුරු වැනි ස්වභාවික පැණි රසය විඳීම සඳහා ය. නමුත් අප කරන්නේ හැකිතාක් සීනි සහිත ආහාර ගැනීමෙන් පැණි රසය සන්තෘප්ත කිරීමය. අපගේ දරුවන්ට කුඩා කාලයේ සිටම අප සීනි නැමැති රසයක් හඳුන්වා දී එය ජීවිතයේ අවසානය තෙක් ම ගෙන යාමේ උනන්දුවක් ඇති කර දී තිබේ.
නමුත් ශරීරයට එම කෘත්‍රිම පැණි රසය අවශ්‍ය නැත. එසේ වුවද අප ලබාදෙන එම පැණි රස, එනම් සීනි ශරීරය තුළ හැසිරවීම සඳහා ශරීරය විසින් මහත් වෙහෙසක් දරනු ලබයි. නමුත් අප සීමාවක් නැතිව පැණි රසය දෙන විට ශරීරයට ද කරන්නට දෙයක් නැතිව යන තත්ත්වයට පත්වෙයි. ඉන්පසු සිදු වන්නේ දියවැඩියාව වැනි රෝග හට ගැනීම ය. ඉන්පසු ඔබට සීනි නොකන ලෙස වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලැබේ. ඒ නිසා ඔබ සීනි අතහැර තිබුණත් ඒ වන විට ඔබ ශරීරයට කරගෙන තිබෙන විනාශය නැවත යථා තත්ත්වයට පත්කර ගත නොහැකිය.
සීනි තරබාරුකමට ද ප්‍රධාන හේතුවක් වෙයි. මෙහිදී තරබාරුකම ඇති වූ පසු ව්‍යායාම ගැනීම ද අපහසු තත්ත්වයක් ඇති වන අතර එවිට තරබාරුකම තව තවත් වැඩි වන්නේ ප්‍රශ්නය තවදුරටත් බරපතළ කරවමිනි.

තරබාරුකම වැඩි වන විට ශරීරය අපට රිසි ආකාරයට හැසිරවීම අපහසු වන නිසා අප වඩාත් කැමති එක තැනක වාඩි වී හෝ හාන්සි වී සිටින්නට ය. නමුත් මෙලෙස ශරීරය එක තැනක තබා ගෙන සිටියත් ශරීරයේ සියලු ඉන්ද්‍රියයන් තම රාජකාරී වැඩ කොටස් නතර කරන්නේ නැත. අප මිය යන තුරුම අපේ ශරීරය නො නවත්වා වැඩ කරයි. ඒ නිසා අපට ආහාර අවශ්‍ය වේ.

මෙලෙස නිකන්ම සිටින කෙනෙකුගේ ශරීරයට වැඩ කිරීමට දිනකට කිලෝ කැලරි දාහක් අවශ්‍ය ය. ශරීරය මහන්සි කරන කෙනෙකුට දිනකට අවශ්‍ය කිලෝ කැලරි ප්‍රමාණය දෙදහසකි. කිලෝ කැලරි දෙදහසක් යනු දළ වශයෙන් පාන් රාත්තලක බරයි.

පැණි රස ඇතුළු අප ගන්නා ආහාර ශරීරය තුළදී ක්‍රියා කරන්නේ මෙසේය.

පැණි රස, ලුණු රස, තෙල් ආදී වශයෙන් සකස් කර අප ගන්නා රසවත් ආහාර ආමාශය තුළදී කුඩා කැබලිවලට කඩා සකස් කෙරේ. ඒ මුළු ශරීරයේම ඇති මාංශ පේශිවලට පාවිච්චි කළ හැකි වන පරිද්දෙනි. මෙලෙසින් කුඩු කර ලබා ගන්නේ ආහාරය තුළ ඇති ග්ලූකෝස් , ඇමයිනෝ අම්ල, මේද අම්ල වැනි පෝෂක කොටස් ය. ආහාර දිරවීම යනු මෙම ක්‍රියාවලිය යි. ඔබ ආහාර මුඛයට ගෙන සපන්නට පටන් ගත් මොහොතේ සිටම මෙම ක්‍රියාවලිය ආරම්භ වේ.

මෙලෙස කොටස්වලට වෙන් වන්නේ ඔබ ගන්නා කුමන ආහාරවලින්දැයි දැන් අපි සො⁣යා බලමු.

සීනි ඇතුළු පැණි රස ග්ලූකෝස් බවට හැරේ. මස්, මාළු , කිරි, බිත්තර , සෝයා ආදී ප්‍රෝටීන් ආහාර ඇමයිනෝ අම්ල බවට පත් වෙයි. සියලුම තෙල් වර්ග මේද අම්ල බවට පත් වනු ඇත. බඩවැල් මගින් උරා ගන්නේ මෙලෙස කැඩී ගිය සරල ද්‍රව්‍ය පමණි.
මෙලෙස ආහාර දිරවීම නිකන්ම කළ හැක්කක් නොවේ. ඒ සඳහා යුෂ අවශ්‍ය ය. එම යුෂ ලබා දෙන්නේ අපේ උදරය පිටුපසින් හරහට පිහිටා ඇති ඉන්ද්‍රියක් මගිනි. වැටකොළු කරලක හැඩයට යම් සමානකමක් ඇති මෙම ඉන්ද්‍රිය අග්න්‍යාශය යි. මේ ඉන්ද්‍රියෙහි රෝග තිබුණොත් ආහාර දිරවීමට බාධා ඇති වෙයි.

අග්න්‍යාශය රෝගී වන්නේ කොහොමද?

පැණි රස අධික ලෙස ආහාරයට ගන්නා මේ කාලයේ අග්න්‍යාශය රෝගී වන අයුරු දැන ගැනීම ඉතා වැදගත් වෙයි.
පැණි රස ආහාර මගින් ශරීරය තුළ දී නිපදවෙන ග්ලූකෝස් සිරුර තුළ පවතින්නේ රුධිරයේ පාවෙමිනි. මේවාට ශරීරයේ මස්පිඩුවලට ඇතුළු වීමට නම් ඉන්සියුලින්වල උපකාරය අවශ්‍ය වේ. මෙම ඉන්සියුලින් නිපදවෙන්නේ ද අග්න්‍යාශය තුළ ය. අග්න්‍යාශය රෝගී වූ විට ඉන්සියුලින් නොලැබෙන නිසා සීනිවලට රුධිරයෙහි ම රැඳී සිටින්නට සිදු වෙයි. එවිට රුධිරයේ සීනි ප්‍රමාණය වැඩි වන අතර එලෙස වැඩිවන සීනි මුත්‍රා සමග පිට වන්නේ විශාල වතුර ප්‍රමාණයක් ද සමගිනි. දියවැඩියාව යනු මෙයයි.
මේ තත්වයේදී සිදුවන්නේ ශරීරයට ග්ලුකෝස් නොලැබී යාමයි. ග්ලූකෝස් නොලැබෙන විට ශරීරය දුර්වල වී වැහැරෙයි. මේ ආකාරයට අග්න්‍යාශයේ ඉන්සියුලින් නිපදවෙන්නේ නැත්නම් ඒ පුද්ගලයාට ජීවත්වීම සඳහා බාහිරින් ඉන්සියුලින් ලබා දීමට සිදුවෙයි. අග්න්‍යාශය රෝගී වීම යනු ඉදිමී අවසානයේ අක්‍රිය වී යාමයි.

ආහාර සම්බන්ධයෙන් වැදගත් වන අක්මාව…

බඩවැල්වල ආහාර දිර වූ පසු කුඩා පෝෂක කොටස් රුධිරයට එකතු වී ඊළඟට ගමන් කරන්නේ අක්මාවට ය. අක්මාව උදරයේ දකුණුපස ඉහළින් පිහිටා තිබෙන ඉන්ද්‍රියකි. ශරීරය පුරා පෝෂ්‍ය කොටස් බෙදාහරින මධ්‍යස්ථානය අක්මාව යි. ආහාර මගින් ශරීරයට ලැබෙන පෝෂණය තැන්පත් කරගෙන ඊළඟ ආහාර වේල ලැබෙන තුරු සිරුර නඩත්තු කිරීම අක්මාවේ කාර්යයක් වේ. අක්මාව රෝගී වුණොත් මොනවා කෑවත් පලක් වන්නේ නැත. හේතුව, කන බොන දේවල්වල පෝෂණය නිසි ලෙස ශරීරයට ලැබෙන්නේ නැති නිසා ය. අක්මාව රෝගී වීමට මත්පැන් ප්‍රධාන හේතුවක් වන අතර ඊළඟට තවත් ප්‍රධාන හේතුවක් වන්නේ අධික මේදය යි.

ඇල්කොහොල් බලපෑමක් නැතිව අක්මාව නරක් වන රෝගී තත්ත්වයක් තිබේ. දිගින් දිගටම ශරීරයට ලැබෙන අධිපෝෂිත තෙල් වර්ග තැන්පත් වී අක්මාව තෙල් වලින් පිරීමේ මෙම තත්ත්වය ෆැටි ලිවර් ( fatty liver) ලෙස හඳුන්වයි. අක්මාව තෙල්වලින් පිරුණු පසු මෙම තෙල් අක්මාවට විෂ වී අක්මාව ඉදිමෙයි. මෙය ෆැටි ලිවර් රෝගය, නෑෂ් නමැති රෝගය බවට පත්වීම ය. මේ නිසා ක්‍රම ක්‍රමයෙන් අක්මාවේ කොටස් තුවාල වී කැළැල්වලින් පිරී ගොස් යම් දිනෙක අක්මාව ගලක් මෙන් තද බවට පත්වෙයි. මේ තත්ත්වයට පත් වූ පසු කළ හැකි කිසිවක් නැත. අන්තිමේ නහර පිපිරී ගොස් විශාල ලේ ගැලීමක් ඇති වී නාසයෙන් කටින් ලේ දමාගෙන රෝගියා මිය යා හැකිය. මෙය නෑෂ් රෝගය, සිරෝසිස් බවට පත්වීමේ දී සිදුවන තත්ත්වයකි. මත්පැන් දිගින් දිගටම ගන්නා කෙනෙකු නෑෂ් රෝගය නැතිවම පසු කලෙක සිරෝසිස් රෝගය වැළඳීමේ තත්ත්වයට පත්විය හැකිය. නමුත් මත්පැන් නොගන්නා අය අධික මේද ආහාර බහුලව ගන්නේ නම් මත්පැන් නැතිවම ඔවුන් සිරෝසිස් කරා යා හැකිය.

මේදය නිසා හට ගන්නා කොලෙස්ටරෝල්

මෙය මේදය අධිකව ගන්නා අය තුළ මේ වන විට ඉතා බහුල ලෙස දැකිය හැකි රෝග තත්ත්වයකි.

අධික රුධිර පීඩනය

ලුණු අපේ ආහාරයට නැතිවම බැරි ද්‍රව්‍යයකි. නමුත් අධික ලෙස ලුණු ආහාරයට ගැනීම අධි රුධිර පීඩනයට මුලක් වේ.

දැන් ඔබට මේ කතාව මැනවින් පැහැදිලි වී ඇතැයි සිතමු. සීනි හෙවත් පැණි රස නිසා දියවැඩියාවත්, මේදය නිසා කොලෙස්ටරෝල් අධික වීමත්, ලුණු නිසා අධික රුධිර පීඩනයත් අපට අත් විඳින්නට සිදුවෙයි. අද ලෝකයේ වැඩිහිටියන් අකාලයේ මිය යන ලොකුම සහ ප්‍රධාන හේතුව හෘදයාබාධයි. වැඩිහිටියන් වැඩිම ප්‍රමාණයක් සදහටම ආබාධිත තත්ත්වයට පත් කරන ප්‍රධාන හේතුවක් වන්නේ අංශභාග රෝගය යි. මේ රෝග දෙකටම ප්‍රධාන හේතු ලෙස පසුපසින් හිඳින්නේ දියවැඩියාව, අධික රුධිර පීඩනය හා අධිකොලොස්ටරෝල් තත්ත්වයයි.මෙකී රෝග තුන වැරදි ආහාරවල ප්‍රතිඵලයකි. ඒ හැරුණු විට දුම්බීම සහ මත්පැන් ද බලපායි.

එනිසා පැණි රස, තෙල් සහ ලුණු ආහාර මෙන් ම මත්පැන් ද අප්‍රේල් මාසය තුළ බහුලව පරිභෝජනය කරන බැවින් ඔබේ ශරීරය රෝගී වීමට මේ අප්‍රේල් මාසය වැඩි නැඹුරුවක් දක්වන බව අමතක නොකළ යුතුය.

කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා

සැකසුම – ඉන්දු පෙරේරා

විනිවිද සායනය