ඔසප් පැල්ලමක් සමග පාර්ලිමේන්තු ආ මන්ත්‍රීවරිය

සිය ඇඳුමෙහි තැවරුණු ඔසප් පැල්ලමක් ද සමග පාර්ලිමේන්තු සභා ගර්භයට ආ අපූරු මන්ත්‍රීවරියක ගැන කතාවක් පසුගිය දා කෙන්යාවෙන් වාර්තා වුණා. ඇයගේ මෙම ක්‍රියාවත් සමග පාර්ලිමේන්තුව තුළ විශාල කළබැගෑනියක් ඇතිව තිබූ බවයි සඳහන් වුණේ.

කෙන්යානු පාර්ලිමේන්තුවේ සෙනෙට් මන්ත්‍රීවරියක වූ ඇයගේ නම ග්ලෝරියා ඔර්වෝබා. මේ කියන සිද්ධිය සිදු වූ දිනයේ ග්ලෝරියා පාර්ලිමේන්තුවට පැමිණ තිබුණේ සුදු පැහැති ඇඳුමකින් සැරසී යි. ඇය සිය මෝටර් රියෙන් බැස පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ඇතුල් වීමට ගිය අවස්ථාවේ එහි කාර්ය මණ්ඩලයේ කෙනෙකු පැමිණ ඇයට බාධා කර තිබුණා. එම සේවිකාව ග්ලෝරියාට පාර්ලිමේන්තුවට ඇතුල් වීමට ඉඩ දී නැත්තේ ඇයගේ සුදු කලිසමේ ඉදිරිපස රුධිර පැල්ලමක් තිබීම නිසයි. මෙම සේවිකාව ග්ලෝරියා ආවරණය කරගෙන නැවත ඇයගේ මෝටර් රථය වෙත කැඳවාගෙන යාමට උත්සාහ කර තිබුණා.

නමුත් ග්ලෝරියා සේවිකාවගේ විරෝධය නොතකා පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිස ඇති බවයි වාර්තා වන්නේ. පසුව මෙම සිද්ධිය ගැන ප්‍රකාශයක් කරමින් ඇය පවසා තිබුණේ පාර්ලිමේන්තුවට ඇතුල් වීමට එද්දී තමා ද මෙම ඔසප් පැල්ලම දුටු බවයි. නමුත් තමා කවදත් කාන්තාවන්ගේ ආර්තවය ලැජ්ජාවට පත් කිරීමේ සංස්කෘතියට එරෙහිව සටන් කළ කෙනෙකු නිසා පැල්ලම පිටින්ම පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වීමට තීරණය කළ බව ද ඇය පවසා තිබුණා.

නමුත් පාර්ලිමේන්තුව තුළ දී ඇයගේ මෙම ක්‍රියාවට ලොකු විරෝධයක් එල්ල වූ බව සඳහන්. කාන්තා මන්ත්‍රීවරියන් පවා ඇයට විරෝධය පළ කර තිබූ බවයි පැවසෙන්නේ. ග්ලෝරියා මේ ආකාරයෙන් හැසිරීම තුළින් පාර්ලිමේන්තුවට අගෞරවයක් කර ඇති බවට එක් මන්ත්‍රීවරියක චෝදනාවක් එල්ල කර තිබුණා. ග්ලෝරියාගේ ඇඳුම පාර්ලිමේන්තුව සඳහා නිර්දේශ කර ඇති ඇඳුමට ගැලපෙනවාදැයි තීරණය කරන මෙන් තබිතා මුතින්දා නැමැති මන්ත්‍රීවරියක කතානායකවරයාට දන්වා තිබුණා. මුතින්දා තවදුරටත් පවසා තිබුණේ එය කිසිසේත් ගැලපෙන ඇඳුමක් නොවන බවයි. ‘ග්ලෝරියා ඇත්තටම ආර්තවයට ලක්ව සිටිනවාද නැතහොත් මෙය ඇයගේ රඟපෑමක් පමණක් ද කියා අප දන්නේ නැහැ. කෙසේ වෙතත් මෙය ඉතාම අශෝභන කටයුත්තක්’ යයි ද ඇය ප්‍රකාශ කළ බව සඳහන්.

මෙයට පිලිතුරු දෙමින් ග්ලෝරියා කළ ප්‍රකාශයක් ද මාධ්‍ය වාර්තා කළා. ‘මගේ ඇඳුමේ පැල්ලමක් ඇතිව තිබූ බව ඇත්ත. ඒත් එය අනපේක්‍ෂිතව සිදු වූ ස්වභාවික සිද්ධියක්. එවැනි සිද්ධියක් ගැන මගෙන් මේ ආකාරයෙන් ප්‍රශ්න කිරීම ගැන මා කණගාටු වෙනවා.’ යයි ඇය ප්‍රකාශ කර තිබුණා.
‘මම හිතන්නේ මා ස්ථාවර නියෝගවලට ගැලපෙන අයුරින් සැරසී සිටිනවා කියලයි. මං සූට් එකක් හැඳගෙන ඉන්නවා. මගේ ඇඳුමෙන් මගේ සිරුර මුලුමනින්ම ආවරණය වී තිබෙනවා. එහි කොලර් එකක් තිබෙනවා. ටයි එකක් විතරයි අඩු’ යනුවෙන් ද ග්ලෝරියා පවසා තිබුණා.

ආර්තවය නිසා ඇතැම් කෙන්යානු ගැහැණු දරුවන්ට මුහුණ දෙන්නට සිදුවන කොන් කිරීම මෙම සිද්ධිය නිසා තමාට වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට හැකි වූ බවයි ඇය පවසන්නේ. මෙවැනි අත්දැකීමකට මුහුණ දීම නිසා දිවි නසා ගත් තරුණියක ගැන ද ග්ලෝරියා සිහිපත් කර තිබුණා. ආර්තවය අපරාධයක් ලෙස පෙන්වා දෙන්නට යන්නේ කාන්තාවන්ම වීම කණගාටුවක් බව ද ඇය පවසනවා.

ග්ලෝරියා මේ ආකාරයෙන් තර්ක කළත් ඇයට පාර්ලිමේන්තුව තුළ රැඳී සිටීමට කතානායකවරයා ඉඩ දුන්නේ නැහැ. ඔහු තීන්දු කළේ ඇය පාර්ලිමේන්තුවෙන් පිට විය යුතු බවයි. ‘ආර්තවය කියන්නේ අපරාධයක් නොවෙයි.’ ඔහු පවසා තිබුණා. ‘ඔබ ඔසප් වීම නැමැති ස්වාභාවික ක්‍රියාවලියට මුහුණ දී සිටින බව මා පිලිගන්නවා. මේ නිසා ඔබේ අගනා ඇඳුම් කට්ටලයේ පැල්ලමක් ඇති වී තිබෙනවා. මේ අවස්ථාවේ මෙයින් පිටව ගොස් පැල්ලම් නැති ඇඳුමකින් සැරසී නැවත පැමිණෙන්නැයි මා ඔබෙන් ඉල්ලා සිටිනවා’ කෙන්යානු සෙනෙට් මණ්ඩලයේ කතානායක ඇමසන් කින්ගි ප්‍රකාශ කර තිබුණා.

එයින් පසු ග්ලෝරියා පාර්ලිමේන්තුවෙන් පිටව ගොස් තිබූ බව සඳහන්. නමුත් ඇය නැවත එහි පැමිණ තිබුණේ නැහැ. ඇය පසුව එම ප්‍රදේශයේ පාසලක උත්සවයකට සහභාගි වූ බවත්, එහි දී දැරියන්ට සනීපාරක්‍ෂක තුවා බෙදා දී තිබූ බවත් මාධ්‍ය වාර්තාවල සඳහන් වුණා.

ග්ලෝරියා ඔර්වෝබා නැමැති මෙම සෙනෙට් මන්ත්‍රීවරිය කාන්තාවන්ගේ ආර්තවය නිසා විඳින්නට සිදුවන විෂමතාවන්ට එරෙහිව කලෙක සිටම සටන් කරන කාන්තාවක්. සනීපාරක්‍ෂක තුවා නොමිලයේ ලබා දීම සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන වැඩි කිරීම අරමුණු කරගත් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීම සඳහා ද ඇය වෙහෙසෙමින් සිටින බව පැවසෙනවා. දිළිඳුකම නිසා බොහෝ කාන්තාවන්ට සනීපාරක්‍ෂක තුවා මිල දී ගැනීමට අපහසු වීම බොහෝ රටවල දක්නට ඇති කණගාටුදායක තත්ත්වයක්. ග්ලෝරියාගේ පනත් කෙටුම්පත කෙන්යාව තුළ මෙම ගැටලුව විසඳීම සඳහා ගන්නා උත්සාහයක්.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර