ඉස්ලාමීය මූලධර්මවාදී ත්‍රස්ත සංවිධානයක් බව පවසමින් 2019 වසරේ දී වත්මන් රජය විසින් තනහම් කරන ලද කටාර් චැරිටි ආයතනය මත පැනවූ තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. ඉන්ධන සහනාධාර ලබා ගැනීම පිණිස කටාරයේ සංචාරයක නිරත විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර මහතා කටාර් චැරිටි සංවිධානයේ නියෝජිතයන් මුණ ගැසී ඇති අතර, අදාල සංවිධානයට එරෙහිව පනවා ඇති තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබෙන බව එම නියෝජිතයන්ට දැනුම් දී තිබේ.
එවකට පොලිසිය භාර අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර සිටියේ, කටාර් චැරිටි, ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරන බවයි. නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට ද කටාර් චැරිටි සංවිධානයට එරෙහිව රජය එල්ල කළ එම චෝදනාව ඉවහල් විය.නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතාගේ සභාපතී්ත්වයෙන් යුතු සේව් ද පර්ල් නම් සංවිධානයට, කටාර් චැරිටි වෙතින් රුපියල් මිලියන 13 ක් ලැබී ඇති බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කරමින් වැඩිදුරටත් කියා සිටියේ කටාර් චැරිටි ත්‍රස්ත සංවිධානයක් බවත්, එම සංවිධානයෙන් මුදල් ලබා තිබෙන නීතීඥ හිජාස් හිස්බුල්ලා ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් සැකකරුවෙකු බවත් ය. කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රැසක් නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් රජයට එරෙහිව එල්ල කොට තිබිණ