කතරගම දෙවියන් විතරක් නෙවෙයි තිස්තුන් කෝටියක් දෙවිවරුන් දෙනවාට වඩා වැඩි මුදලක් භාණ්ඩාගාරයෙන් සෞඛ්‍යයට දෙනවා

සෞඛ්‍ය අමාත්‍යාංශය යනු සාමාන්‍යයෙන් ඕනෑම රජයක් ඉල්ලුවොත් මුදල් දෙන තැනක් බවත් කතරගම දෙවියන් පමණක් නොව තිස්තුන් කෝටියක් දෙවිවරුන් දෙනවාට වඩා වැඩි මුදලක් භාණ්ඩාගාරයෙන් හැම වසරකම වෙන් කරන අතර සෞඛ්‍ය වෙනුවෙන් ඉතිහාසයේ වෙන් කරන වැඩිම මුදල මෙවර අය-වැයෙන් වෙන් කරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.ඔහු මේ බව පවසා සිටියේ මෙරට රජයේ රෝහලක් තුළ ඉදිකළ පළමු හා එකම ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ධ කිරීමේ ඒකකය මහරගම අපේක්ෂා රෝහලේදී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.මෙම ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ධ කිරීමේ ඒකකය කතරගම රුහුණු මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ සංකල්පයකට අනුව කතරගම දේවාලයට බැතිමතුන් ලබා දුන් මුදල් වලින් රුපියල් මිලියන 176 ක වියදමින් තනවා පරිත්‍යාග කරවන ලද්දකි.
“සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ සාමාන්‍යයෙන් ඕනෑම රජයක් ඉල්ලුවොත් මුදල් දෙන තැනක්. කතරගම දෙයියෝ නෙමෙයි තිස්තුන් කෝටියක් දෙවිවරු දෙනවාට වඩා වැඩි මුදලක් භාණ්ඩාගාරයෙන් හැම වසරකම වෙන් කරනවා. එදා මෙදා තුර ඉතිහාසයේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කරන ලද වැඩිම මුදල මෙවර අය-වැයෙන් වෙන් කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට දේශීය දානපතියන් හරහා ඒ වගේම අපේ අමාත්‍යාංශය හරහා විදේශීය ජාත්‍යන්තර ආයතනවල අනුග්‍රහය යම් යම් කාල වලදී ලැබෙනවා. අපි කරන්න සූදානම් වෙන්නේ මේ සියලු ප්‍රතිපාදන යම් ආකාරයකට විධිමත්ව, සැලසුම් සහගතව යෙදවීමට කටයුතු කරන එක. මින් ඉදිරියට දේශපාලන උවමනාව මත හෝ කාට හරි රෝහලක් බලලා හිතේ ඇති වෙන සංවේදී සිතිවිල්ලට උදවු කරන්න බෑ. ඉදිරි අවුරුදු 20 ගැන සලකලා බලලා ජාතික සැලැස්මක් අනුව තමා මේ සංවර්ධන කටයුතු කරන්නේ.අපේ මන්ත්‍රීවරුන්ටත් තමන්ගේ ප්‍රදේශයේ රෝහල මහ රෝහලක්, ජාතික රෝහලක් දක්වා දියුණු කර ගන්න හීන තියෙන්න පුළුවන්. නමුත් ඒ හීන කොතරම් ජාතික සැලැස්ම එක්ක ගැළපෙනවා ද කියන එක සලකා බලමින් තමා මෙතැනින් එහාට අපි වැඩ කරන්න බලාපොරොත්තු වෙන්නේ” යැයි ද වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

.

කාලීන පුවත්