කතාව දෝලාවෙන් ගමන පයින් වෘත්තාන්ත හෙවත් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන – විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ

‘චයිනීස් රෙස්ටෝරන්ට්’ යන නාම පුවරුව සහිත චීන අවන්හල් වශයෙන් හැඳින්වෙන ආපන ශාලා දහස් ගණනක් අප රටේ තිබේ. එහෙත්, ඒ සම්බන්ධ ප්‍රකට උපහාසාත්මක ජන වහරකට අනුව ඒ අවන්හල් බොහොමයක ඇති චීන කෑම චීන ජාතිකයන් අනුභව කොට දැක තබා අසාවත් නැත. මෙම ප්‍රකට ජනවහර අපගේ මතකයට පිවිසියේ ඉදිරි පලාත් පාලන මැතිවරණය මුල් කොට අප රටේ විවිධ දේශපාලන කණ්ඩායම් සහ සන්ධාන විසින් එළි දක්වනු ලබන ප්‍රතිපත්ති ප්‍රකාශන පිළිබඳව විමැසීමේ දීය.ඉහත සරල උපමාවට අනුව විදග්ධ පක්ෂ දේශපාලන ප්‍රතිපත්ති”ඔර්ජිනල් චීන කෑම” නම් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශන”ලෝකල් චීන කෑම” මෙනි.

කිසියම් දේශපාලන පක්‍ෂයක; සන්ධානයකට හෝ කණ්ඩායමකට අදාල පොදු ප්‍රතිපත්ති මාලාවක් තිබිය හැක. එළැඹෙන සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික විෂමතා හමුවේ එම ප්‍රතිපත්තිවල වෙනස්කම් සහ යාවත්කාලීන වීම් ද සිදුවිය හැක. එය ලොව ඕනෑම දේශපාලන සංස්කෘතියකට පොදු තත්වයකි.
නමුදු අප රටේ ජනාධිපතිවරණ, මහමැතිවරණ සහ පලාත් පාලන මැතිවරණ ඉලක්ක කොට එක් එක් පක්ෂ සහ සන්ධාන මගින් එළි දක්වන ප්‍රතිපත්ති ප්‍රකාශන පිළිබඳව විමැසීමේ දී ඒවායේ ඊට වඩා විචල්‍ය සහ සංකීර්ණ බවක් දක්නට පුළුවන. ඊට හේතුව ඒ සෑම ප්‍රතිපත්ති ප්‍රකාශනයකම අදාල ජනපතිවරණය හෝ මැතිවරණය ඉලක්ක කොට ගත් ජනතා අපේක්‍ෂාවන් කේන්ද්‍ර කොට ඉල්ලුම සහ සැපයුම න්‍යාය මත සකස්ව තිබීම ය.

ඉකුත් එල්.ටී.ටී.ඊ යුද ජයග්‍රහණයෙන් පසු ඉකුත් පාස්කු ප්‍රහාරය හැරුණු කොට ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රබල තර්ජනයක් නොවීම මත ඉහත සඳහන් ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ අන්තර්ගත ප්‍රමුඛතා ලැයිස්තුවෙන් ජාතික ආරක්ෂාව යන තේමාව සම්බන්ධ උනන්දුව මඳක් අඩු කොට තිබේ. ජාතික ආරක්ෂාව පිළිබඳ අවධානය හැරුණු කොට අප රටේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල ප්‍රමුඛතා ලැයිස්තුවේ විශේෂයෙන් කැපී පෙනුණු තවත් විෂය පථයක් විය. එනම් ජන වාර්ගික අර්බුදය යන්නයි.
නමුදු අද වන විට ඉහත සඳහන් ජාතික අර්බුද ගැටළු අභිබවා මුලු රටම වෙලාගත් දරුණු ආර්ථික අර්බුදය හමුවේ මෙවර විවිධ පක්ෂ සහ සන්ධානයන් හි ප්‍රතිපත්ති ප්‍රකාශන වල ඒ සඳහා නන් වැදෑරුම් විසඳුම් ඉදිරිපත් කොට තිබේ. ඒ සඳහා රාජ්‍ය යාන්ත්‍රණය තුළ සහ ඉන් බැහැරව වංචා, දූෂණ, අක්‍රමිකතා සඳහා මෙතෙක් පැවැති ඉඩ ප්‍රස්ථාවන් අවම කිරීම පිළිබඳ නන් වැදෑරුම් චිත්තාකර්ශනීය යෝජනා ඉදිරිපත් කොට ඇති බවක් පෙනේ.

අප රටේ මැතිවරණ ඉලක්ක මුල්කොට පවතින දේශපාලන වේදිකා වලින් ඇසෙන කතා සියල්ල ඒ අයුරින්ම පිළිගැනීමට රටේ බහුතරය නොපෙළඹෙති. එක් එක් පක්ෂ සහ සන්ධාන වල වල ස්වරූපයන්ට සාපේක්‍ෂව ඒවායේ කිසියම් හෝ අතිශයෝක්තියක් ඇති බව පොදු සමාජමය පිළිගැනීම ය. එහෙත්, හුදු වාචික ප්‍රකාශයන්ට වඩා නිල වශයෙන් පිළිගැනීමක් සහිත ලිඛිත ප්‍රකාශනයක වගකීම වැඩි බව අමුතුවෙන් කිව යුතු නොවේ. නමුත් රටේ මැතිවරණ මුල් කොට විවිධ පක්ෂ සහ සන්ධානවලින් නිකුත් කෙරෙන ප්‍රතිපත්ති ප්‍රකාශනවල එබඳු විශ්වසනීය බවක් තබා ඒවාට කිසියම් නිල පිළිගැනීමක් හෝ වටිනාකමක් නැත.
අප රටේ ජනපතිවරණ සහ මැතිවරණ මුල්කොට මේතාක් විවිධ පක්ෂ සහ සන්ධාන මගින් නිකුත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශන වල එක්තරා තරඟකාරී ස්වරූපයක් දක්නට ලැබේ.

මේ අතර ඇතැම් පක්ෂ සහ සන්ධාන තම ප්‍රතිපත්ති ප්‍රකාශනය නිකුත් කිරීම පිණිස තමන් ගේ ප්‍රධානතම දේශපාලනමය ප්‍රතිවිරුද්ධ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශන නිකුත් වන තුරු බලා හිඳින බව ද ප්‍රසිද්ධ රහසකි. ඉන් අපට හැඟී යන්නේ එම දේශපාලන පක්ෂ සහ සන්ධාන තම දේශපාලන ප්‍රතිපත්ති තම දේශපාලන විරුද්ධවාදීන් ගේ ප්‍රතිපත්තිවලට සාපේක්‍ෂව අමුතුවෙන් යාවත්කාලීන කොට සකස් කර ගන්නා බවයි.
සෙසු භාණ්ඩ සහ සේවාවල නොමැති සුවිශේෂත්වයන් පාරිභෝගිකයන් හමුවේ ඉදිරිපත් කොට ඉන් වැඩි පාරිභෝගික පිරිසක් දිනා ගැනීමේ ක්‍රමෝපායන් වානිජමය උපාය මාර්ග අතර තිබේ. ඒ සම්බන්ධ පරිභෝජක මනෝ විද්‍යාව (Consumer psychology ) නම් නවීන විෂය පථයක් ද තිබේ.

නිදසුනක් ලෙස එකම වෙළඳ පලට රෙදි සෝදන සබන් අලෙවි කරන සබන් නිෂ්පාදකයන් කිහිප දෙනකු පිළිබඳව සිතමු. ඉන් එක් නිෂ්පාදකයකු තම සබන් වර්ගයෙන් රෙදි උපරිම ලෙස පිරිසිදු කරන බව කේන්ද්‍ර කර ගත් දැවැන්ත ප්‍රචාරයක් ගෙන යන විට අනෙක් නිෂ්පාදකයා ඒ එම සබන් වලින් රෙදි වලට නැවුම් සුගන්ධයක් එක් වන බව ප්‍රචලිත කරයි. මේ අතර ඒ කරුණම මුල් තැනට ගෙන තම නිෂ්පාදනයට ප්‍රමුඛත්වය හිමි කර ගත නොහැකි බව වටහා ගන්නා තවත් සබන් නිෂ්පාදකයෙක් තම සබන් වලින් අඩුම වියදමකින් වැඩිම රෙදි ප්‍රමාණයක් සේදිය හැකි බවක් වැනි වෙනස්ම ආරෝපණයක් මුල් කොට ප්‍රචාරක කටයුතු කරයි. එමෙන්ම එම සබන් නිෂ්පාදකයන් තම නිෂ්පාදනය සම්බන්ධයෙන් එලෙස ඉදිරිපත් කරන කරුණු පූර්ණ සත්‍යය, අර්ධ සත්‍යය හෝ මුළුමනින් අතිශයෝක්තීන් වීමට ද පුළුවන. මේ අතර අප රටේ සමහරෙක් තමන් අනුගතව සිටින දේශපාලන පක්ෂය කඳවුර පිළිබඳ පූර්ණ විශ්වාසයක් තබති. ඒ විශ්වාසය පෙරදැරිව ඔවුන් සිතනුයේ තම පක්ෂයේ සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මුළුමනින්ම සත්‍ය හා නිවැරදි බව ය. එහෙත්, එය ද මුළුමනින්ම විහිළුවකි. ඊට හේතුව මේ වන විට අප රට තුළ ක්‍රියාත්මක වන දේශපාලන සංස්කෘතිය තුළ එවන් සත්‍යවාදී පදනමක පිහිටා හුදු, කේවල ප්‍රතිපත්ති ප්‍රකාශනයක් කලඑළි දැක්වීමට කිසිදු පක්ෂයකට හෝ සන්ධානයකට නොහැකි වීම ය.

සති පොළක එළවළු අලෙවි කරන වෙළඳුන් “ලාබයි ලාබයි” යනුවෙන් කෑ ගසමින් පාරිභෝගිකයන් තමන් වෙත කැඳවා ගන්නා අයුරු අපි දැක ඇත්තෙමු. එහෙත්, සෙසු වෙළඳුන් එසේ කෑ ගසන අතරේ යම් වෙළෙන්දකු උසස් ප්‍රමිතියෙන් යුතු නැවුම් එළවළු තමන් සතුව ඇති බැවින් පාරිභෝගිකයන් තමන් වෙත එනු ඇතැයි සිතා නිහඬව සිටිය හොත් ඔහුට දිගින් දිගටම තම වෙළෙඳාම පවත්වාගෙන යාමට නොහැකි වනු නියත ය.
වර්තමාන දේශපාලන සංස්කෘතිය අනුව මුළුමනින් අව්‍යාජ ලෙස තම ප්‍රතිපත්ති ප්‍රකාශන සැකසීමට සැරසෙන දේශපාලන පක්ෂවලටත් සිදුවනුයේ ඒ නිහඬ වෙළෙන්දාට සිදු වන ඇබැද්දියම ය. ඒ අනුව වර්තමාන ක්‍රියාකාරී දේශපාලනයකට පිවිසෙන කවර හෝ පක්ෂයකට ඒ හමුවේ “වවුලාගෙන් ඇට්හෝම් කන්නට ගිය තැනැත්තා” ගේ භූමිකාවට අවතීර්ණ වීම අනිවාර්ය වශයෙන්ම සිදුවිය යුතු ය.
වර්තමානයේ රටේ පවත්නා සමාජ, ආර්ථික, දේශපාලන අර්බුද ඉදිරි නිල කාලය තුළ විසඳීමට තම පක්ෂයට ප්‍රායෝගික නොහැකි වුව ද ඒ නොහැකියාව පිළිබඳ තම මැතිවරණ ප්‍රචාරක කටයුතුවල දී හෝ ප්‍රතිපත්ති ප්‍රකාශන මගින් පැවසීමට වත්මන් දේශපාලන සංස්කෘතියෙන් කිසිදු අවකාශයක් නැත.

යාචකයෙකු එක්තරා නිවසකට ගොස් සිඟමන් යදින අතරේ “අර එහා පැත්තේ ගෙදරක නෝනා කෙනෙක් මට රුපියල් දාහක්ම දුන්නා” යැයි එහි කාන්තාවට කීවේ ලු. එමගින් තම අසල නිවසක වැදගත් තොරතුරක් අපූරුවට එළිදැක්විය හැකි බව දැනගත් ඒ කාන්තාව “ඔය කොයි ගෙදර නෝනාදැ?”යි අසා ඇත්තේ දැඩි නොඉවසිල්ලෙනි. “ඇයි නෝනා අර කළු මහත තාර පීප්පයක් වගේ ඉන්න නෝනා” යාචකයාට ගත් කටටම එසේ කියැවුණි “ඒක නම් හරියටම හරි බං; කොහෙන්ද? උඹට ඔය වගේ යස උපහැරණ කටට එන්නේ” යනුවෙන් සිනාසෙමින් ඇසූ එම නිවසේ කාන්තාව ද ඔහුට යම් විශේෂ මුදලක් පරිත්‍යාග කොට තිබේ. ඊට යම් කලෙකට පසු නැවත එම නිවෙස්වලට සිඟමන් ආ යාචකයාට කලින් රුපියල් දහසක් දුන් කාන්තාව ප්‍රදානය කොට ඇත්තේ එවැනි මුදලක් නොව බඩ කට පිරෙන තරමට ගුටි මුරයකි. ඊට හේතුව අමුතුවෙන් කිව යුතු නැත.අප රටේ පවත්නා දේශපාලන සංස්කෘතියට අනුව තම මැතිවරණ ප්‍රචාර කටයුතුවලදී හා ප්‍රතිපත්ති ප්‍රකාශන මගින් තම හැකියාවන් පිළිබඳ පූර්ණ සත්‍යය අනාවරණය කිරීමට යන දේශපාලන පක්ෂවලට සිදුවන්නේ ද ඉහත යාචකයාට මුහුණ පෑමට සිදුවූ අලකලංචියටම ය.

පසුගිය කාලයේ දියත් වූ ගාලු මුවදොර අරගලය බහු පාර්ශවීය ඒකරාශීත්වයකි. ඒ අතුරින් එක් කොටසක් වර්තමාන පාර්ලිමේන්තු ක්‍රමය මත පදනම් වන දේශපාලන සංස්කෘතිය”ගෙඩිය පිටින්ම”ප්‍රතික්‍ෂේප කළහ. ඔවුන් ගේ එම මතවාදය විවිධ කෝණ අනුව විශ්ලේෂණය කළ යුතු බව ඇත්තකි. එහෙත්, වර්තමාන දේශපාලන සංස්කෘතිය තුළ පිවිතුරු දේශපාලනයකට ඇති ඉඩ ප්‍රස්ථාව පිළිබඳව විමසා බලන විට එම ගෝල්ෆේස් අරගල කරුවන් ගේ එම මතවාදයේ යුක්ති සහගත බව හොඳින් කැපී පෙනේ. අප රටේ විවිධ දේශපාලන පක්ෂ සහ සන්ධාන වල ප්‍රතිපත්ති ප්‍රකාශන සම්බන්ධයෙන් විධිමත් ශාස්ත්‍රීය විමසුම් සිදුව ඇති බවක් මම නොදනිමි. එහෙත්, ඒ සම්බන්ධයෙන් නිසි අධ්‍යයනයක් කරන අයකුට ශ්‍රී ලාංකේය දේශපාලනය සම්බන්ධයෙන් මැතිවරණ මුල්කොට විවිධ පක්ෂ සහ සන්ධාන විසින් නිකුත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශන යනු මොනතරම් නිශේධනීය සාධකයක් ද යන්න සමාජය හමුවේ අනාවරණය කර ගත හැක. ඒ පසුගිය ජනපතිවරණ සහ මැතිවරණ මුල් කොට නිකුත් කළ ජයග්‍රාහී පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශන සහ ඒ අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස ඔවුන් බලයට පත් වීමෙන් පසු ගෙන ඇති ක්‍රියා මාර්ග තුලනාත්මක අධ්‍යයනයකට ලක් කිරීමෙනි.

පසුගිය කාලය පුරා අපට කියැවීමට ලැබුණු විවිධ දේශපාලන පක්ෂ සහ සන්ධාන වල ප්‍රතිපත්ති ප්‍රකාශන ඉතා රසවත් සුමට සේම කාව්‍යාත්මක ලෙසින් ප්‍රබන්ධය කරන ලද ලේඛනයන් බව ඒවා පිරික්සීමේ දී පෙනේ. නමුත් එම ප්‍රකාශනයන් හි සඳහන් ප්‍රතිපත්ති කඩ කිරීම මත කිසිවකුටත් අධිකරණයක් හමුවට යාම හෝ එවැනි අන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට නොපුළුවන. එනිසා එම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන සඳහා නීත්‍යානුකුල බලයක් ආරෝපණය කිරීම අනිවාර්යයෙන් කළ යුතු ය. එසේ කළ නොහැකි නම් අඩුම තරමින් සාහිත්‍ය සම්මාන උළෙල සඳහා ඒවා ඉදිරිපත් කොට ඒවායේ සාහිත්‍යමය සහ රසාස්වාදන අගය මත ඒවාට සාහිත්‍ය සම්මාන ලබා දීමේ ක්‍රමවේදයක් වත් ක්‍රියාත්මක
කළ යුතුව තිබේ.
සමස්තයක් වශයෙන් ගත හොත් මෙම සකල විධ මැතිවරණ ප්‍රකාශන හුදු වචන හරඹ පමණකැයි යමකුට තර්ක කළ හැක.මේ සඳහා වන කදිම නිදසුන් කතාවක් ද තිබේ.

මානව හිමිකම් අගයන බවට පොරොන්දු වෙමින් බලයට පත් එක් පාලකයෙක් තමන්ට එරෙහි වීම රාජ්‍ය ද්‍රෝහී වීමක් බවට සැකසෙන නීති සම්පාදනය කොට තමන්ට එරෙහිව අදහස් පළ කළ කිහිප දෙනෙක් මරණ දඬුවමට යටත් කළේය. ඊළඟ මැතිවරණයේදී ද තමන් මානව හිමිකම් සුරකින බව ප්‍රකාශ කළ ඔහු එය මුල් කොට ඉහත සඳහන් මරණ දඬුවම පිළිබඳව තම ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුල් කළේ මෙලෙසිනි.
“මා හට විරුද්ධ අදහස් ප්‍රකාශ කිරීම රාජ්‍යද්‍රෝහී වීමේ වරද ලෙස සැළකෙන බැවින් එලෙස රාජ්‍යද්‍රෝහී වීමේ චෝදනාවට වරද කරුවන් වන්නවුන් හට මරණීය දණ්ඩනයට යටත් වීමේ පූර්ණ නිදහස ප්‍රදානය කරනු ලැබේ”. පොදුවේ ගත් කළ අප රටේ පක්ෂ හා සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශ වල ප්‍රමිතියේ ද මීට වැඩි වෙනසක් නැත.

විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ

එතෙර - මෙතෙර