කන්ගනා රනවුත්ගේ අලුත්ම චිත්‍රපටය පාඩු ලැබුවේ ඇයි?

කන්ගනා කියලා කියන්නේ බොලිවුඩ් ඉතිහාසයේ කිසිම දවසක කිසිම ආකාරයක අස්ථාවරත්වයක් නොලැබූ රංගන ශිල්පිණියක්. ඇය අවස්ථා කීපයක දී ම එය තමාගේ වාසනාව කියලත් මාධ්‍යයට ප්‍රකාශ කරලා තිබුණා. එහෙම තිබියදීත් පහුගිය මැයි මාසයේ ඇය රංගනයෙන් දායක වුණු නවතම චිත්‍රපටය ඛේදනීය ආකාරයට පාඩු පිට පාඩු ලබමින් අසාර්ථකත්වයට පත් වුණා.

ඒ තමයි Dhaakad චිත්‍රපටය. මේ චිත්‍රපටයේ ඇය නිරූපණය කරන්නේ අග්නි කියන ජාත්‍යන්තර විශේෂ බලකායේ විශේෂ නියෝජිතවරියගේ චරිතය. මේ චරිතයට අනුව කුඩා කාලයේ දී ඇගේ දෙමාපියන් එක්තරා ඝාතකයෙකු විසින් ඝාතනය කරනු ලබනවා. ඉන් පස්සේ ඇය ඇති දැඩ කර ගන්නේ ජාත්‍යන්තර විශේෂ බලකා නිලධාරියෙකු විසින්. ඒ අනුව තමයි ඇයත් ඒ ක්ෂේත්‍රයේම රැකියාවට යොමු වෙන්නේ. Dhaakad චිත්‍රපටයේ ඇය සමග අර්ජුන් රාම්පාල් සහ දිව්‍යා දත්තා ප්‍රධාන චරිත නිරූපණය කරනවා.

ඉතාම රසවත් සහ නොයිවසිලිමත් කතා තේමාවකට අනුව නිෂ්පාදනය වුණු චිත්‍රපටයක් වුණත් මෙය සාර්ථක ආදායම් වාර්තා තබන්න තරම් වාසනාවන්ත වුණේ නැහැ. ආදායම් වාර්තා තබනවා තබා, චිත්‍රපටය සදහා වියදම් වුණු මූලික වියදම වූ ඉන්දියානු රුපියල් කෝටි 85 ක මුදලවත් චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් පියවා ගන්න පුලුවන් වුණේ නැහැ. හරියටම කියනවා නම් මාස එක හමාරකට ආසන්න කාලයක් ධාවනයෙන් ලබන්නට පුලුවන් වුණු සම්පූර්ණ මුදල වුණේ ඉන්දියානු රුපියල් කෝටි 3.7 ක් විතරයි.

ඒ කියන්නේ මේ චිත්‍රපටය නිසා නිෂ්පාදකයන් ලැබූ පාඩුව ඉන්දියානු රුපියල් කෝටි 80 ඉක්මවනවා. මේ තරම් හොද තිර පිටපතකට අනුව බොලිවුඩයේ සුපිරි රංගන ශිල්පිණියක යොදා නිර්මාණය කළ චිත්‍රපටයක් මේ තරම් පාඩු ලබන්න හේතුව ගැන විවිධ අය විවිධ මත ඉදිරිපත් කරලා තිබෙනවා. නමුත් මේ ගැන මේ දක්වා Dhaakad චිත්‍රපටයේ නිර්මාණකරුවන් නම් කිසිදු අදහසක් ඉදිරිපත් කරලා නැහැ.

මේ කාරණය ගැන ‘නිව්ස් 18’ වෙබ් අඩෙවිය කියන්නේ මේ විදියේ කතාවක්. “පසුගිය වසර කිහිපය තුළ ජයග්‍රහණ කිහිපයක් ලබා දුන්නද, කන්ගනා රනවුත්ගේ අවසන් චිත්‍රපට නිකුතුවෙන් එකක් වූ Dhaakad බොක්ස් ඔෆිස් හි දරුණු ලෙස කඩා වැටීමට ලක් විය. බොක්ස් ඔෆිස් හි දිවීම අවසන් කිරීමෙන් පසුව වුව ද, Razneesh Ghai ගේ අධ්‍යක්ෂණයේ නිකුත් වූ මෙම චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 3 ක් උපයා ගැනීමට පවා අසමත් විය. ‘බොලිවුඩ් හුංගමා’ හි මෑත වාර්තාවන්ට අනුව, කන්ගනාගේ ක්‍රියාදාම රැසක් ඇතුළත් මෙම චිත්‍රපටයේ ඇස්තමේන්තුගත අයවැය රුපියල් කෝටි 85 ක් වූ බැවින්, නිෂ්පාදකයින්ට රුපියල් කෝටි 78 ක පාඩුවක් සිදු වේ.

මෙම චිත්‍රපටය බොක්ස් ඔෆිස් හි ධාවනය වූ මුලු කාලය පුරාම රුපියල් කෝටි 2.58 කට වඩා වැඩි ආදායමක් උපයා ගැනීමට පවා සමත් නොවූ බව ඔවුන් පවසති. විවිධ වාර්තාවල සදහන් වන පරිදි, නිෂ්පාදකයින් චිත්‍රපටයේ ඩිජිටල් සහ චන්ද්‍රිකා අයිතිය මේ දක්වා විකුණා නැත. Dhaakad චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් හි දුර්වල ධාවනයෙන් පසු, චිත්‍රපටයේ ඩිජිටල් සහ චන්ද්‍රිකා අයිතිය පරණ වටිනාකමකට විකිණීමෙන් චිත්‍රපට නිෂ්පාදකයින්ට දැඩි පීඩනයකට මුහුණ දීමට සිදුවේ. Daakad හි චන්ද්‍රිකා සහ ඩිජිටල් ආදායම් සියල්ල එකතු කිරීමෙන් පසුවත් මුළු මුදල ඉන්දියානු රුපියල් කෝටි 5 කට වඩා අඩු වනු ඇතැයි ගණන් බලා ඇත.”

මේ විදියට ස‍දහන් කරන නිව්ස් 18 වෙඩ් අඩෙවිය මේ චිත්‍රපටය මේ තරම් අසාර්ථක වෙන්න හේතුව ගැනත් පුංචි ඉගියක් දීලා තියනවා. ඒ තමයි මේ චිත්‍රපටය නිකුත් වෙන්න කලින්, ඒ කියන්නේ රූගත කරමින් පවතින කාලයේ චිත්‍රපටයේ සම්පූර්ණ කතාව ඇතුළත් වුණු පිටපත හොර පාරෙන් මාධ්‍යයට නිකුත් වෙලා හෝ නිකුත් කරලා තියනවා කියලා තමයි ඔවුන් හිතන්නේ.

මේ ගැන චිත්‍රපටයේ නිර්මාණකරුවන්ගෙන්, විශේෂයෙන්ම පිටපත් රචනය කරපු රාස්නීෂ් ගායි, චින්තන් ගාන්ධි සහ රිනිෂ් රවින්ද්‍ර කියන තුන් දෙනාගෙනුත් තිර පටපතට අනුව දෙබස් නිර්මාණය කළ රිටේෂ් ශාන්ගෙනුත් අදහස් ලබා ගන්න කොච්චර උත්සාහා කළත් ඔවුන් මේ ගැන එක වචනයක්වත් මාධ්‍යයට ප්‍රකාශ කරන්න කැමැත්තක් දක්වලා නැහැ කියලා වැඩිදුරටත් නිව්ස් 18 සදහන් කරලා තියනවා.

දුලංජලී මුතුවාඩිගේ

රසගඟුල