කන් අඩි පලන රතිඤ්ඤා වෙනුවට නිහඬ ගිනි කෙළි වලට හුරු වෙමු

vinivida

ළඟ ළඟ එන නත්තල සහ අලුත් අවුරුද්ද වෙනුවෙන්  රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි කෙරෙහි විශේෂ සමාජ අවධානයක් යොමු වී තිබේ. Fireworks යන ව්‍යවහාරික නමින් හඳුන්වන පයිරොටෙක්නික් ( Pyrotechnics  )නම් ගිනි කෙළි කලාව සෞන්දර්යාත්මක සහ විනෝදාස්වාදය සඳහා භාවිතා කරන අඩු බලැති පුපුරන ද්‍රව්‍ය භාවිතයකි.ගෘහස්ථ වශයෙන් භාවිතා වන එවැනි ගිනිකෙළි  සංදර්ශන බොහෝ සංස්කෘතික හා ආගමික උත්සවවල දී ද කැපී පෙනෙයි.ගිනිකෙළි මුලින්ම සොයාගනු ලැබුවේ ලොව මුලින්ම පුපුරන ද්‍රව්‍ය( Explosives  ) සොයා ගත් චීන ජාතිකයන්ම ය. ක්‍රි.ව අටවන සියවසේ කළ ඒ සොයා ගැනීම මුල් කොට තවමත් ලොව පුරා ජීවිත සහ දේපල විනාශය සහ සන්නිවේදන කටයුතු උදෙසා වෙඩි බෙගෙත් යොදා ගැනේ. ගිනි කෙළි කලාව යනු එහි සෞන්දර්යාත්මක සහ විනෝදාස්වාද භාවිතයකි.

අදටත් ලොව විශාලතම ගිනිකෙළි නිෂ්පාදකයා සහ අපනයන කරුවනුයේ චීනයයි. ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ ද රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළිවලට යම් විශේෂත්වයක් හිමිව තිබේ. ආගමික උත්සවවලට අමතරව සිංහල අලුත් අවුරුදු සමයේදී මෙන්ම ජනවාරි නව වසර උදාවේදීද ජනතාව විශාල වශයෙන් ගිනිකෙළි වල ප්‍රාථමික අංගය වන රතිඤ්ඤා භාවිත කරති. ඊට අමතරව වෙනත් උත්සව අවස්ථාවලට ද රතිඤ්ඤා නැතිවම බැරිය. ඒ සියල්ලටම වඩා මෙරට රතිඤ්ඤා තොග වශයෙන් අලෙවි වන්නේ මැතිවරණ සමයේ දී බව අනාවරණය වී තිබේ.මීට වසර කිහිපයකට ඉහත එක් මැතිවරණ සමයකදී පමණක් රුපියල් කෝටි 05ක පමණ රතිඤ්ඤා තොග විකිණෙන බව අනාවරණය වී තිබේ.එම මුදල අදට සාපේක්ෂව රුපියල් කෝටි 10 ක් වත් විය යුතුය.

රතිඤ්ඤා කී පමණින් මෙරට බොහෝ දෙනකුට සිහිපත් වන්නේ මීගමුවේ කිඹුලාපිටිය ප්‍රදේශයයි.කිඹුලාපිටියේ රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි කර්මාන්තය ආරම්භ වීමේ ඉතිහාසය ද චීනය හා බැඳී පවතී.එහෙත්, මෙරට ගිනි කෙළි ඉතිහාසය වසර සියයක් වත් පැරණි නොවූවකි.මීට වසර අනූවකට පමණ පෙර චීනයෙන් පැමිණි ගිනිකෙළි කර්මාන්තයේ යෙදුණු චීන ජාතිකයන් කිහිප දෙනකු මීගමුවේ කිඹුලාපිටියට පැමිණ එහි ගම්වැසියන්ට ගිනිකෙළි කර්මාන්තය උගන්වා ඇති බවට තොරතුරු ලැබී තිබේ.ඒ අනුව මෙරට මෙරට රතිඤ්ඤා නිෂ්පාදනයේ ආරම්භය එක්දහස් නවසිය විසි ගණන්වල අගභාගය දක්වා දිවෙන බව සනාථ වෙයි.එහි ආරම්භකයා හෙවත් මෙරට ගිනි කෙළි කලාවේ පියා ලෙස කේ. ඒමිස් පෙරේරා නාමය සඳහන් ය.

vinivida

අද වන විට කිඹුලාපිටිය  පවුල්  දස දහසකට අධික පිරිසක් මෙම කර්මාන්තයේ නියැළී සිටින බව පැවසෙයි.ගිනිකෙළි බලා සිටින්නන්ට විනෝදජනක වුවද ගිනිකෙළි නිෂ්පාදනය ඉතා අනතුරුදායක වෘත්තියකි.එම වෘත්තියේ යෙදෙන අතරේ අකල් මරණ වලට සහ නිත්‍ය ආබාධිත තත්වයනට පත් වූවෝ බොහෝ සිටිති.  ගත වූ කාලය තුළ පිටරටින් පුපුරන ද්‍රව්‍ය ගෙන්වීමේ සීමා පැනවීම සහ බදු ඉහළ දැමීම නිසා රතිඤ්ඤා කර්මාන්තකරුවන්ට ගැටලු රැසකට මුහුණ දීමට සිදුවිය.එවැනි එසේම ඉකුත් කාලයේ ගිනි කෙලි මෙරටට හඳුන්වා දුන් චීනයෙන්ම ආ කොවිඩ් වසංගතය මෙම කර්මාන්තයේ නියැළී සිටින්නවුන් ගේ පපු තුළ ගිනි කෙලි දල්වීමට සමත් විය. 2020 වසරේ පැවැති කොරෝනා වසංගත තත්වය හමුවේ අලුත් අවුරුද්ද ඉලක්ක කරගෙන නිපද වූ රුපියල් කෝටි සියයක පමණ ගිනිකෙළි නිෂ්පාදන ගබඩාවල හිරවූ බව  සමස්ත ලංකා ගිනිකෙළි නිෂ්පාදකයන්ගේ සංගමය පවසා තිබිණ. එම නිසා එම කර්මාන්තයට ඍජුව සහ වක්‍රව සම්බන්ධ පනස් දහසකට ආසන්න පිරිසක් අසරණ වූ බවද වාර්තා විය.එය ද මෙම කර්මාන්තයේ යෙදෙන්නවුන් සම්බන්ධ අනතුරුදායක තත්වයකි.

ලොව පවත්නා ස්වාභාවික යුක්ති ධර්මය අනුව පීඩාවෙන් තොරව මේ මහ පෙ‍ාළොව මත ජීවත් වීමේ අයිතිය මිනිසුන්ට සේම ස්තුන්ට ද ඇත. නමුදු මිනිසා විසින් විවිධාකාරයෙන් සතුන්ගේ ඒ අයිතිය උදුරාගෙන තිබේ. ඉන්ද්‍රිය සංවේදිතාවයෙන් බොහෝ වෙනස්කම් තිබෙන සුනඛයන්ට මිනිසාට වඩා පෙනීම අඩු වුවද මිනිස‍ාට වඩා හොඳින් කන් ඇසීම සිදුවේ. නිවසේ සිටින සුනඛයා සම්බන්ධයෙන් ඔබත් මේ අත්දැකීම් විඳ ඇතිවාට සැක නැත. ඇතැම් විටක අපට කිසිදු හඬක් නොඇසුණ ද බිම වැතිර සිටින සුනඛයා හිස ඔසවා බලයි. ඒ ඌට සියුම් ශබ්ද පවා ඇසෙන බැවිනි. එබැවින් සියුම් ශබ්ද පවා ඇසෙන මේ සුනඛයා ඇතැම්විට රතිඤ්ඤා හඬ දරා ගැනීමට නොහැකිව ශ්‍රව්‍යාබාධිත වනු ඇත.ඇතැම්විටෙක මරණයට පවා පත්වීමට පුළුවන.

කවර ආකාරයකින් ඉදිරිපත් වුව ද මිනිසා ඇතුළු පරිසර පද්ධතීන් කෙරෙහි එල්ල වන අධික ශබ්දය ශබ්ද දූෂණය ලෙස හැඳිවේ.මෙය ගෘහස්ථ සුනඛයනට බළළුන්ට පමණක් නොව අප ජීවත් වන පරිසරයේ ක්ෂුද්‍ර ප්‍රාණීන්ට සේම මව් කුස කළලයන්ට ද  අහිතකට බලපෑම් එල්ල කරයි.එනිසා උත්සව වලට රතිඤ්ඤා අවශ්‍යමද ? අප සමාජයේ තුළ කතා බහක් ඇති කළ යුතුව තිබේ. නත්තල අළුත් අවුරුද්ද එළඹෙන විට රතිඤ්ඤා දල්වන්නේ අනෙකාට ඒ පිළිබඳ සන්නිවේදනය කිරීමට ය. නමුත් දැන් සිදුවන්නේ එකි`නෙකා පරයා යන ලෙස රතිඤ්ඤා දැල්වීම ය.නමුත් ලෝකයේ දියුණු රටවල මෙය බොහෝ දුරට අඩුය.

විශේෂයෙන් රතිඤ්ඤා දැල්වීමේදී ඇතිවන අධික ශබ්දය අප අවට වෙසෙන ගෘහස්ථ සතුන්ට පීඩාකාරී වේදනාවක් බව පෙන්වා දෙන ලොව දියුණු රට වල සත්ව හිමිකම් සංවිධාන  අනාවරණය කරනුයේ එම පීඩාකාරී වේදනාව දරා ගත නොහැකිව සිහිවිකල්ව දුවන සුනඛ ආදී අකල් මරණ වලට ලක්වූ අවස්ථා නිරතුරුව වාර්තා වන බවය.එමෙන්ම එය බරපතල සත්ව හිමිකම් උල්ලංඝනයක් බවය ය.ඒ හැරුණු කොට රතිඤ්ඤා වලින් ඇතිවන අධික ශබ්දය නිසා බොහේ සතුන්ගේ ශ්‍රවණේද්‍රියන්ට හානි සිදුවී කන් නෑසෙන තත්වයක් හට ගත හැකි අතර එම කම්පනය නිසා ඇතැම් සතුන් තම ආරක්ෂාව සලසා ගත නොහැකිව අකල් මරණ වලට පවා ලක්විය හැකි බව ද ඔවුන් විද්‍යාත්මක පදනමින් පෙන්වා දී තිබේ.

රතිඤ්ඤා දැල්වීමේදී ඇතිවන අධික ශබ්දය සුරතල් සතුන්, වන සතුන් සහ සමහර මිනිසුන් අනේක විධ විපත් කරදර වලට ලක් වන්නේ ය යන්න ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ වීම හේතුවෙන් මේ වන විට ලොව පුරා ‘නිහඬ’ ගිනිකෙළි භාවිතය ජනප්‍රිය වෙමින් පවතී. කෙසේ වෙතත්, මේවා නව ගිනිකෙළි වර්ගයක් නොවන අතර ඒවා සම්පූර්ණයෙන්ම නිහඬ නොවේ. “නිහඬ ගිනිකෙළි සංදර්ශන” යන්නෙන් අදහස් කරන්නේ විශාල, දර්ශනීය, ඝෝෂාකාරී ගිනිකෙළි සරලව බැහැර කරන සහ කුඩා, නිශ්ශබ්ද උපාංග වැඩි වශයෙන් භාවිතා කරන සංදර්ශකයි.

කොලෙචියෝ යනු උතුරු ඉතාලියේ එමිලියා-රොමැග්නා හි පර්මා පළාතේ පිහිටි නගරයකි. එය පාර්මා මධ්‍යයේ සිට නිරිත දෙසින් කිලෝමීටර් 12.9 ක් දුරින් පිහිටා ඇත.එම නගරය ද නිහඬ ගිනිකෙළි වලට මාරු වී ඇත්තේ අධික ශබ්දය හේතුවෙන් මිනිසා ඇතුළු පරිසර පද්ධතියට සිදුවන හානි ඉතා නිවැරදි ලෙස අධ්‍යයනය කළ පසුව ය.ඒ අනුව අප රටේ ගිනි කෙළි භාවිතය සීමා කළ නොහැකි නම් එම මංපෙතට  වුව හරවා ගැනීම සැමගේ පොදු වගකීමකි.ඒ අනුව කළ යුත්තේ අධික ශබ්දයක් නිකුත් කරන රතිඤ්ඤා වෙනුවට නිලා,බඹර චක්‍ර,අහස් කූරු සහ අහස් ගුණ්ඩු ආදියේ භාවිතය ඉහළ නංවා ගැනීම ය.අප එසේ පවසනුයේ සවනට දරා ගැනීමට නොහැකි අධික ශබ්දයට වඩා නෙතට ප්‍රිය දසුන් කෙරෙහි කුඩා දරුවන් ද ඇලුම් කරන බැවිනි.එමෙන්ම එය මිනිසුන් ඇතුළු සියළු ප්‍රාණීන්ගේ යහ පැවැත්මට හේතු වනු නියතය.

රේණුකා දමයන්ති

එතෙර - මෙතෙර