කන් කැක්කුම ගැන ඔබ දැන ගත යුතුම කරුණු ටිකක් – උගුර කන සහ නාසය සම්බන්ධ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඒ. බී. කිරිදන

ugura-kana

දත් කැක්කුම මෙන් කන් කැක්කුම ද දරා ගැනීමට ඉතා අසීරු වේදනාවන් ය. කන් කැක්කුම නොයෙකුත් හේතු නිසා ඇතිවේ.
කන නිර්මාණය වී තිබෙන්නේ බාහිර කන, මැද කන හා ඇතුළු කන යන කොටස් තුනෙනි. මේ කතා කරන්නේ කන් කැක්කුම ඇතිවීමට බලපෑ හැකි හේතු කිහිපයක් ගැනය.

මැද කනෙහි ඇතිවන රෝගී තත්ත්ව

ඉයුස්ටේචීය නාලය නමින් හඳුන්වන මැද කන සහ උගුර සම්බන්ධ වන නාලයක් මගින් මැද කනෙහි පීඩනය අවට පරිසරයේ පීඩනයට සමානව පවත්වා ගනියි. නමුත් සෙම්ප්‍රතිශ්‍යාව සහ නොයෙකුත් සෙම රෝග නිසා මෙම නාලයේ නිසි ක්‍රියාකාරිත්වය අඩපණ විය හැකිය. එවිට කන් කැක්කුම හට ගනු ඇත. නිදසුනක් ලෙස ගුවන් යානයකින් ඉහළට හෝ පහළට යන විට නැතහොත්, ලොකු කන්දක් පහළට යන විට ඇතමුන්ට කන් කැක්කුම හටගන්නේ මේ නිසා ය.
එසේම මැද කනෙහි ඇතිවන ආසාදන තත්ත්වයන් නිසාද කන් කැක්කුම ඇති වේ. මෙය සෙම්ප්‍රතිශ්‍යාව ඇති අවස්ථාවලදී විශේෂයෙන් ම දැකගත හැකිය.

කනට පරිබාහිර ආබාධ නිසා ඇතිවන කන් කැක්කුම

හණුක සන්ධිය (Tempeuro mandibular joint ) පිහිටා තිබෙන්නේ කනට ඉතා ආසන්නයෙන් කන ඉදිරියෙනි. දණහිස, උකුල වැනි අනෙක් සියලුම සන්ධි සේම මෙම සන්ධිය ද, විවිධ රෝග තත්ත්ව නිසා වේදනා ගෙන දෙයි. හණුක සන්ධියේ ඇතිවන මෙවැනි රෝග තත්ත්වයකදී එම වේදනාව එම සන්ධියෙන් නොව කනෙන් එන වේදනාවක් ලෙස රෝගියාට දැනේ.
දත්වල ඇතිවන විවිධාකාර රෝගාබාධ නිසා ද මෙවැනි ම වේදනාවක් කනෙන් ඇතිවිය හැකිය. දත් දිරා යාම මෙහිදී බහුලව දැකිය හැකි රෝගී තත්ත්වය වන අතර ඥාන දත ලෙස හඳුන්වන හක්කේ කෙළවරම පිහිටි දත එන විට හෝ එය සිරවී ඇති විට කන් කැක්කුම සේ රෝගියාට දැනෙනු ඇත. දත සිරවී ඇති නිසා සහ පිටතට නොපෙනෙන නිසා එය හඳුනා ගැනීම තරමක් අපහසු වේ.
මුඛයෙහි සහ උගුරේ ඇතිවන තුවාල ද (පිළිකා සහ පිළිකා නොවන) මුඛයෙහි, උගුරේ මෙන්ම කන දක්වා දිවයන කැක්කුමක් ඇති කරයි. සමහර පිළිකා වර්ග පියවි නෙතට හසු නොවන සේ සැඟවී ඇති ආකාරයෙන් පිහිටා තිබෙන නිසා ඉතා සුපරීක්ෂාකාරීව සොයා බැලීම කළ යුතු වේ. සමහරවිට කතා කිරීමේදී සහ ආහාර ගැනීමේදී කන් කැක්කුම වැඩි වීම මෙහිදී දැකිය හැකි ලක්ෂණයකි. බෙල්ලේ කශේරුකාව ද සමහර විට වේදනා තත්ත්වයක් ඇති කරයි. උදාහරණයක් ලෙස Cervical spandylosis නම් රෝග තත්ත්වයේ දී එය කන් කැක්කුම ලෙස රෝගියාට දැනිය හැකිය.

කන ආසන්නයේ ඉතා වැදගත් ස්නායු රාශියක් පවතී. සමහර අවස්ථාවලදී මෙම ස්නායුවල කැපුමක් හෝ ඉරීමක් වැනි තදබල වේදනාකාරී තත්ත්වයක් හට ගන්නා අතර විශේෂයෙන්ම රාත්‍රි කාලයේ දී මෙම වේදනාව ඇති වේ. වේදනාව ඇති කරන ස්නායු අතරින් 9 වන කපාල ස්නායුව නිසා ඇතිවන කන් කැක්කුම ප්‍රධාන වේ. මෙම ස්නායුව මගින් කනට මෙන්ම උගුරට සහ දිවේ පිටුපස පෙදෙසට ද ස්නායු සපයයි. එම නිසා සෙම් ගෙඩි ආශ්‍රිත ප්‍රදේශයෙන් හෝ දිවෙන් ඇතිවන වේදනාව කන ඇතුලෙන් එන සේ රෝගියාට දැනේ. ආහාර ගන්නා විට සහ කතා කරන විට වේදනාව වැඩි විය හැකිය.
පැපොල රෝගී තත්ත්වය නැවත ඇති වීම නිසා ඇතිවන shingles of the ear හෙවත් Herpes zoster otican නම් රෝගී තත්ත්වය 7 වන, 9 වන සහ 10 වන කපාල ස්නායු මගින් ඇතිවන වේදනාවක් සේ දැනිය හැකිය. මෙහිදී ද කන් කැක්කුම හට ගත හැකිය.

5 වන කපාල ස්නායුවේ ඇතිවන වේදනාව

මෙම වේදනාව හිසේ එක් පසෙකට පමණක් සීමා වේ. නළලේ කම්මුලේ සහ හිසෙහි එක් පසෙක ඇතිවන වේදනාවක් සේ හෝ කනෙන් ඇතිවන වේදනාවක් සේ එය රෝගියාට දැනෙයි. Herpes zoster රෝගය ඇතිවීමෙන් පසුව ද මෙවන් වේදනාවක් හට ගත හැකි අතර මේ වර්ගයේ ස්නායු මගින් ඇතිවන වේදනාව ඉතාමත් තීව්‍ර සහ සමහර විට සුව කිරීම ද පහසු නොවේ.
මෙහි සඳහන් කළේ කන් කැක්කුම ඇතිවීමට බහුලව බලපාන හේතු සාධක වන අතර ඔබ වෛද්‍යවරයකු වෙත යොමු වූ පසු කන පමණක් නොව මුඛ කුහරය, දත්, නාසය, හණුක අස්ථි සහ සන්ධි උගුර යන සියලු ස්ථාන වෛද්‍යවරයා විසින් පරීක්ෂා කරනු ඇත. අවශ්‍ය වුවහොත් එක්ස්රේ පරීක්ෂණ, CT, MRI ස්කෑන් පරීක්ෂණ සහ එන්ඩොස්කොපි පරීක්ෂණ සඳහා ද ඔබව යොමු කරනු ඇත. මෙලෙස මුලින්ම රෝග විනිශ්චය ලබා ගෙන ඊට අනුරූපව ප්‍රතිකාර සඳහා යොමු කරනු ඇත. එම නිසා කන් කැක්කුම සුළුකොට නොතැකිය යුතු අතර නියමිත පරීක්ෂණ සහ අදාළ ප්‍රතිකාර නොකර සිටීමෙන් දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට ඇතැම් විට සිදු විය හැකිය.

උගුර කන සහ නාසය සම්බන්ධ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඒ. බී. කිරිදන

ඉන්දු පෙරේරා

 

ent

විනිවිද සායනය