ඔබ විවාහක ද?
ඔබ දෙන්නා අතරේ ගෝරි බෝරි, සණ්ඩු දබර එහෙම ඇතිවෙලා නැද්ද ? කවමදාවත්? අඩුම ගානේ බහින්බස්වීමක් ,අමනාප වීමක් වගේ දෙයක් වත්?
එහෙමනම් බලාගෙන! ඔබ දෙවිගොල්ලො කියලා පෘථග්ජනයා හිතන්න පුළුවන්.
බහින්බස්වීමක්වත් සිදු නොවුණු අඹු- සැමි යුවළක් හොයාගන්න එක නම් කුරහන් මැද්දේ අබ ඇටයක් හොයනව වගේ තමයි ඉතින්. ලේසියෙන් හොයාගන්න හම්බ වෙන්නේ නෑ.
විවාහයකින් දෙන්නෙක් එක් වුණාට, පුද්ගලයන් වශයෙන් ඒ දෙන්න දෙන්නෙක්. පෞද්ගලිකව ගත්තොත් ඒ දෙන්නා හිතන විදිහ,හැසිරෙන විදිහ, චරියාවන්, බලාපොරොත්තු, ආශාවන්, නැමියාවන් සියයට සීයක්ම සමාන වෙන්නෙ නැහැ.
ඉතින් ඉඳලා හිටලා පොඩි පොඩි බහින්බස්වීම් හිත් අමනාපකම්, මත ගැටීම් , අදහස් නොගැලපීම්, තරහ යාම වගේ දේ ඇතිවීම පුදුමයක් නෙමෙයි.
කොච්චර ආදරෙන් ඉන්න දෙන්නෙක් අතර උනත් දෙන්නටම එකඟ වෙන්න බැරි අදහස් තියෙන්න පුළුවන්. එක්කෙනෙක් අකමැති දෙයක් අනිත් කෙනා අතින් වෙන්න පුළුවන්. හිත රිදවන්න හිතාගෙන කරපු දෙයක් නොවුනත් තමන් කරන යම් දෙයක් නිසා අනිත් කෙනාගේ හිතේ දුකක් තරහක් වැනි හැඟීමක් ඇතිවෙන්න පුළුවන්.
හැබැයි ඒක දෙන්නෙකුට ආදරෙන් ඉන්න, සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න බාධාවක් කරගන්න අවශ්‍යත් නෑ.
ලුණු නැතුව හොද්දක් රස නෑ වගේ පොඩි පොඩි රණ්ඩුවක් දබරයක් නැත්නම් විවාහ ජීවිතයත් රහක් නැහැ කියල කතාවකුත් තියෙනවනෙ. ඒක ඇත්තද නැද්ද කියලා ඔබ අත්දැකීමෙන් දන්නව ඇතිනෙ.
බැඳපු අලුත කිරි පැණි වගේ බොහෝම ආදරෙන් හිටියත්, කාලයාගේ ඇවෑමෙන් ටික ටික ඒ සුන්දරත්වය පිරිහිලා සමහර විට දෙන්නට දෙන්නා අඩදබර කරගන්න පෙළඹෙන්න පුළුවන්. පහු පහු වෙද්දි කොහු කොහු කියලත් කතාවක් තියෙනවනේ.
සමහරු නීතියෙන් එක් උනාට උනාට ,එක වහල යට හිටියට, මානසිකව ඉන්නෙ ලෝක දෙකක.
නොයෙකුත් එකිනෙකට වෙනස් හේතු නිසා දෙදෙනෙක් අතර අමනාපකම් ඇතිවෙන්න පුළුවන්. ඒවා දුරදිග ගිහින් සණ්ඩු සරුවල් ඇතිවෙලා දික්කසාද වීම දක්වා යන්නත් ඉඩ නැත් තෙ නෑ.
කෙසේවෙතත්, අඹුසැමියන් අතර ඇතිවෙන අමනාපකම්, සණ්ඩු සරුවල් හැමටම පොදු හේතුවක් හොයාගන්න වත් පොදු පිළිතුරක් ලබා ගන්නවත් පුළුවන් කමක් නැහැ. ඒවා එකිනෙක වෙන් වෙන්ව අරගෙන හේතුව සහ පිළිතුර හොයාගත යුතු වෙනවා.
අපි පොදුවේ කතා කරමු.
සමාජයීය වශයෙන් බැලුවොත් සණ්ඩු සරුවල් වෙන එක හොඳ දෙයක් නෙමෙයි. කිසිවෙකුට ශාරීරිකව හානි කිරීම ,හිරිහැර කිරීම අනුමත කළ හැකි දෙයක් නෙමෙයි . විශේෂයෙන් තමන් ආදරය කරන තමන් සමඟ ජීවිතය බෙදා ගන්න බිරිඳ/ සැමියා සමග අමනාප වෙලා ශාරිරික හිංසනය දක්වා යනවා නම් ඒක කොහෙත්ම අනුමත කරන්න පුළුවන් කමක් නැහැ.
සමහර සැමියන් බිරිඳට කම්මුලට කනට විතරක් නෙමේ ඊට වඩා දරුණු විදිහට අඩන්තේට්ටම් කරන බව අපිට අහන්න ලැබෙනවා. සමහර විට ගැහැණු උදවියත් තම සැමියන්ට ශාරීරිකව පහරදෙන අවස්ථාවන් අපිට අහන්න ලැබෙනවා.
ඇත්ත තිත්ත උනත් යමක් කෙළින් කිව යුතුයි. මොනම හේතුවක් නිසාවත් හොඳ පෞරුෂයක් තියෙන සැමියෙක් බිරිඳට අතක් උස්සන්නේ නෑ. කිසිම විදියක ශාරරික හිරිහැරයක් කරන්නෙ නෑ. එහෙම කරනවා නම් ඔහු මානසිකව පිරිහුණු දීන පුද්ගලයෙක්.
ඔබ දෙදෙනා අතර එවැනි ශාරිරික හිංසා පීඩා කරන තරමේ ගැටුමක් ඇතිවුණොත් වහාම ඒ පිළිබඳව සුදුසු පුද්ගලයෙකුගෙන් අවවාද ගතයුතුමයි. නැත්නම් තත්ත්වය ඊට වඩා දරුණු වෙන්න පුළුවන්. ඔබේ පවුල් ජීවිතයටත් දරුවන්ටත් ඒගොල්ලන්ගේ ජීවිතවලටත් විශාල ලෙස සෘණාත්මකව බලපාන්න පුළුවන්.
බුද්ධිමත් සමබර මනසකින් විවාහ ජීවිතය දිහා බලන්න පුළුවන් නම් කොච්චර ප්‍රශ්න ගැටළු ආවත්, අදහස් ගැටීම් ආවත්, එකිනෙකාට ශාරීරිකවවත් මානසිකවවත් රිදවන්නෙ නැතුව ප්‍රශ්න විසඳගන්න පුළුවන් . ආදරය වෙනස් කරගන්නේ නැතුව තෘප්තිමත් අර්ථවත් විතරක් නෙමෙයි සමහර විට ආදර්ශමත් ලෙසත් විවාහ ජීවිතය ගත කරන්න බැරිවෙන්නෙ නැහැ.
ඉතින් මොනවද මේ පිළිබඳ අපට කරන්න පුළුවන්?
ඔබ දෙදෙනා වාද විවාද කරන එක නෙවෙයි ප්‍රශ්නේ. විවාද කරන්නේ කොහොමද කියන එකයි වැදගත් වෙන්නේ .
මුලින්ම , දෙන්නා අතරේ ඉතාම පැහැදිලි සන්නිවේදනයක් අත්‍යවශ්‍යයි. සම්පූර්ණයෙන්ම එකිනෙකාට විවෘතවෙන්න. කිසිම දෙයක් හංගගෙන ඉන්න එපා. මතගැටුමක් ආවොත් සැම දේම අවංකව විස්තර ඇතුව කියන්න. ඒවගේම අනිත් කෙනාගේ අදහස් හැඟීම් විවෘතව කියපුවම ඒකට ගරහන්නවත්, එකපාර කඩා පනින්නවත්, විවේචනය කරන්නවත් එපා.
ඉවසිලිවන්තව සවන් දෙන්න. ඊට පසුව දෙන්නම එකතුවෙලා ඒකෙ හොඳ නරක ඉතා සුහදව සාකච්ඡා කරන්න. ඒවගේම ඔබේ දුර්වල කමක් පෙන්නා දුන්නොත් නිහතමානීව පිළිගන්න. කතා කරනවාට වඩා ඇහුම්කන් දීමට පුරුදුවෙන්න.
සමහර අඹු සැමියන් ආත්මාර්ථකාමිකම තුළ හිරවෙලා ඉන්නෙ. බිරිඳගේ සැමියගෙ පැත් තෙන් හිතන්නෙ නැහැ . අනිත් කෙනාගේ අවශ්‍යතාවන් ,බලාපොරොත්තු, ඕනෑ එපාකම් ගැන උනන්දුවකින් හොයලා බලන්නේ නෑ. මේක ලොකු වරදක්. ගැටුම් ඇතිවෙන්න ප්‍රධාන සාධකයක්.
ආත්මාර්ථකාමී වෙන්න එපා.
ගෙදර වැඩ කටයුතු බෙදා හදාගෙන කරන්න.එක් කෙනෙකුට විතරක් බර පටවන්න එපා. බොහෝ වෙලාවට ගෙදර උයන්නෙ පිහන්නෙ , පවිත්‍ර කරන්නේ, රෙදි සෝදන්නෙ , දරුවන් ගැන හොයන්නෙ බලන්නෙ බිරිඳ. සැමියා නිදහසේ එයාට ආස දේවල් කර කර ඉන්නවා. ක්‍රිකට් මැච් බලනවා. ඉතින් තරහ යන්නැද්ද? අසාධාරණ නැද්ද? හිත රිදෙන්නෙ නැද්ද? ගැටුම ඇතිවෙන නැද්ද?
අන්න ඒ වගේ ගෙදර දොරේ පුංචි පුංචි දේවල් ගැන හරි කමක් නැහැ දෙයක් කියන්න හිතුනොත් කියන්න . ඒකෙන් හිතේ තියෙන සෘණාත්මක හැඟීම් පිට වෙන නිසා සුවයක් ලැබෙනවා.
ප්‍රශ්නයක් ඇතිවුනොත් ඒ ප්‍රශ්නෙ ගැන විතරක් වාද විවාද කරනවා මිසක් එකිනෙකාගේ වැරදි දිගින් දිගටම කියන්න යන්න එපා.
අනිත් කෙනාගේ හිත රිදෙයි කියලා සමහර අවස්ථාවල අඹු සැමියන් කියන්න තියෙන දේවල් කියන් නැතුව හිතේ තදකරගෙන ඉන්නවා. ඒක කොහොමටත් නොකළ යුතු වැඩක්. හිතේ අදහස් තද කරගෙන ඉන්න එකෙන් ආදරයක් ලියලා වැඩෙන්නේ නැහැ පුපුරනවා මිසක්.
හැබැයි මනෝවිද්‍යාත්මක පැත්තෙන් බැලුවොත් ”හස්බන්ඩ් – වයිෆ්” “ප්‍රේම සංග්‍රාමවල එක්තරා හොඳකුත් තියෙනවා. දන්නෙම නැතුව හිතේ තියෙන දුක වේදනාව වචනත් එක්ක පිටවෙලා යන නිසා හිත සැහැල්ලු වෙනවා. හිත ඇතුළේ වේදනාකාරී හැඟීම් තද කරගෙන ඉන්නකොට ඒක ශාරීරිකවත් බලපාන්න පුළුවන්. ඒ නිසා නහර පුපුරන තරමට ඉවසගෙන ඉන්නවට වඩා ඒ හැඟීම් පිට කරන එක හොඳයි. හැබැයි වචනවලින් පමණයි හොඳේ.
වතුර ගලාගෙන යන්නේ පල්ලැහැම තැනින් වගේ බොහෝවිට අපි වාද විවාද කරගන්නෙ අපි වැඩියෙන්ම ආදරේ කරන අයත් එක්ක. ඒ, ඕනම දෙයක් විවෘතව හිතේ හැටියට ඒගොල්ලන්ට කියලා දාන්න පුළුවන් හින්දා.
මෙහෙම කන පුරෝලා ලැබෙන වාග් ප්‍රහාර වලින් පස්සේ සමහර විට දෙන්නා හිටියටත් වඩා ආදරෙන් ළං වෙන්නත් පුළුවන්. ගිගිරුම් සහිත මහා වැස්වසකට පස්සේ ගහ කොල සාරවත්ව වැඩෙනවා වගේ, පොඩි පොඩි ආරවුල්වලට පස්සේ දෙන්න අතර ආදරේ වැඩි වෙන්නත් , දෙන්නා අතරේ අවබෝධය සහ ආදරය ශක්තිමත් වෙන්නත් පුළුවන්.
අනිත් එක, වාද විවාද කරන්නත් වෙලාවක් තියෙනවා. නිදාගන්න යන වෙලාවට, උදේ පාන්දර වැඩට යන්න ලෑස්ති වෙනකොට වගේ අවෙලාවල් වල හැඟීම් අවුස්සගන යකා නැගල සටන් ආරම්භ නොකිරීමට වග බලා ගන්න. එහෙම උනොත් දෙන්නගෙම නින්දත් ඉවරයි දවසත් ඉවරයි.
ඉතින් සමස්තයක් වශයෙන් කියන්න තියෙන්නෙ ඉඳලා හිටලා පොඩි පොඩි වාද විවාද ඇතිවුණාට, තරහ ගිහින් ටිකක් බැන්නට, මූණ බුම්මගන හිටියට ඒක ආදරයට බාධාවක් වෙන්නේ නැහැ. සමහර විට ඉඳලා හිටලා එහෙම වෙන එක අතකට හොඳයි.
හැබැයි මෝඩයෝ වගේ කුලල්කාගන්නේ නැතුව, බුද්ධිමත් විදියට වාද විවාද සිදුවිය යුතුයි .
තරහ වෙවී යාලුවෙන එකෙත් එක්තරා සුන්දරත්වයක් නැතුවම නෙවෙයි.
ඉතිං ඉඳලා හිටලා ‘හස්බන්ලා- වයිෆ්ලා’ පොඩ්ඩක් ‘ෆයිට්’ උනාට කමක් නැහැ.හැබැයි ඒක මොනම හේතුවක් උඩවත් ශාරිරීක හිංසනයක් නම් නොවිය යුතුමයි.
කණ පිරෙන්න කිව්වට කමක් නෑ, හැබැයි කන පැලෙන්න ගහන්න නං හිතන්නවත් එපා . අතක්වත් තියන්න එපා. ඒක මන්දබුද්ධික වැඩක්.
ඔය ටික ගැනවත් ටිකක් ගැඹුරින් හිතුවොත් ඔබ දෙදෙනා අතරේ මොන ගැටලු මතු වුණත් ආදරය අඩුකරගන්නෙ නැතුව ප්‍රීතිමත් යුග දිවියක් ගතකරන්න බැරිවෙන්නේ නැහැ.
මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු