කඳාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානයේ ප්‍රතිමාවක් සොරාගෙන!

අද (01) අලුයම 2.15 සිට 3.00 අතර කාලය තුළ දී කඳාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානයේ තිබූ ඓතිහාසික සහ ආගමික වශයෙන් ඉතා වටිනාකමකින් යුක්ත ප්‍රතිමාවක් කිසියම් පුද්ගලයකු විසින් සොරාගෙන ගොස් තිබේ. දේවස්ථාන සීසීටීවී කැමරා දර්ශන වලින් අනාවරණය වී ඇති පරිදි රතු පැහැති හිස් වැසුමක් පැළඳගත්, මුහුණ සම්පූර්ණයෙන්ම ආවරණය කරගත් සහ කළු ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙකු විසින් මෙම සොරකම සිදුකර ඇත.ඓතිහාසික හා ආගමික වටිනාකමකින් යුක්ත වන එය ජාතික උරුමයක් ලෙස ද සැලකේ.ප්‍රදේශයේ පදිංචිකරුවන්ගෙන් මෙම සිදුවීම පිළිබඳව යම් සැක සහිත තොරතුරු ලබා ගැනීමට අපේක්ෂා කරන බව පොලීසිය ප්‍රකාශ කර සිටී. විශේෂයෙන්ම, එම කාල වකවානුවේ දේවස්ථානය අවට ප්‍රදේශයේ සැක සහිත පුද්ගලයන් හෝ වාහන දුටු අය සිටී නම්, ඔවුන්ගේ සාක්ෂි ඉතා වැදගත් වනු ඇත.මෙම සොරකම සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නා ඕනෑම පුද්ගලයෙකුගෙන් එම තොරතුරු අදාළ පොලිස් බලධාරීන් වෙත ලබා දෙන ලෙස දේවස්ථානය කාරුණිකව ඉල්ලා සිටියි.දේවස්ථානයේ ආරක්ෂක පද්ධති සහ අවට ප්‍රදේශයේ සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂා කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති අතර, අපරාධකරු හඳුනා ගැනීම සඳහා පොලීසිය සියලු උත්සාහයන් ගනිමින් සිටී.මේ අතර එම දේවස්ථානය අද්දර පදිංචි කරුවකු පවසා සිටියේ මෙම සිදුවීම කිසිසේත් විශ්වාස කළ නොහැකි වූ අතර මුල දී මෙය අද “මෝඩයාගේ දිනය” මුල් කොට යමකු ප්‍රබන්ධය කළ බොරුවක් සේ තමනට වැටහුණු බවය.ඒ කෙසේ හෝ මෙම ප්‍රතිමා සොරකම සම්බන්ධයෙන් ප්‍රදේශයේ කිතුණු- බොදු ප්‍රජාව මහත් කැළඹීමකින් පසුවන අතර මෙම සොරකම සම්බන්ධ තොරතුරු අනාවරණය කර ගැනීම පිණිස තම පූර්ණ අවධානය යොමු කරන බව ඔව්හු පවසති.

කාලීන පුවත්