බොලිවුඩයේ දස්කම් පාන ශ්‍රී ලාංකික නිළියක වන ජැක්ලීන් ෆර්නැන්ඩස් මේ වනවිට විශාල පැටලැවිල්ලකට හසුව සිටින බව රහසක් නොවෙයි. ඒ ඉන්දියානු රුපියල් කෝටි ගණනක කප්පම් සහ මුදල් විශුද්ධිකරණ සිද්ධියක චුදිතයකු බවට පත්වීම නිසා යි. මේ සම්බන්ධයෙන් පළ වූ අලුත්ම පුවතකින් පැවසුණේ මෙම සිද්ධිය පිලිබඳ විමර්ශණ දැන් ශ්‍රී ලංකාව පැත්තට ද හැරී ඇති බවකි. ශ්‍රී ලංකාවේ වැලිගම ප්‍රදේශයේ නිවසක් ගැන විමර්ශකයන්ගේ අවධානය යොමුව ඇති බව පැවසේ. මේ සම්බන්ධයෙන් විස්තර පැවසීමට පෙර මෙම කප්පම් සිද්ධියේ ඉතිහාසය ගැන යමක් සඳහන් කිරීම වැදගත්.
සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම චෝදනා එල්ල වුණේ ඉන්දියාවේ කප්පම්කරුවකු වන සුකේෂ් චන්ද්‍රශේකර් නැමැති පුද්ගලයකුටයි. ඔහු ඉන්දියාවේ ප්‍රකට ඖෂධ සමාගමක ප්‍රවර්ධකයන් දෙදෙනකුගෙන් ඉන්දියානු රුපියල් කෝටි 215 කට ආසන්න මුදලක් කප්පම් ලෙස ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වුණා. එය ලංකා රුපියල්වලින් කෝටි 970 කට ආසන්න මුදලක්. කෙසේ හෝ වේවා, ජැක්ලින් මෙම සිද්ධියට පැටලුණේ ඇය සහ සුකේෂ් චන්ද්‍රශේකර් අතර පැවැති සමීප සම්බන්ධයක් නිසයි. ඔවුන් ආදරයෙන් බැඳී සිටි බවටත් කතන්දර පැතිරුණු අතර චන්ද්‍රශේකර් ජැක්ලින් සිප ගන්නා ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් පවා මාධ්‍ය තුළ සංසරණය වීමට පටන් ගත්තා. මෙම පසුබිම තුළ ඉහත කී කප්පම් සිද්ධියට අදාළව ජැක්ලින්ගෙන් ද ප්‍රශ්ණ කිරීමට ඉන්දියාවේ මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකය පියවර ගත්තා.
මෙම විමර්ශණවලදී අනාවරණය වූයේ චන්ද්‍රශේකර් ජැක්ලින් ට ඉතා වටිනා තෑගි බෝග සහ මුදල් ආදිය ලබා දී ඇති බවයි. ඉන්දියානු රුපියල් ලක්ෂ 52 ක් (ලංකා රුපියල් ලක්ෂ 235 ක්) පමණ වටිනා අශ්වයෙක්, එකෙකු ඉන්දියානු රුපියල් ලක්ෂ 9 ක් ( ලංකා රුපියල් 40 ක්) පමණ වටිනා පර්සියානු බළලුන් තිදෙනෙක්, ස්වර්ණාභරණ අයිතම 20 ක්, අත් ඔරලෝසු 5 ක්, පාවහන් ජෝඩු 65 ක්, ඇඳුම් 47 ක්, අත්බෑග 32 ක්, චිත්‍ර 9 ක් ආදිය මෙසේ ලැබුණු තෑගි අතර වූ බව පැවසුණා. මේ අතර ජැක්ලින්ගේ මව්පියන්ට ද චන්ද්‍රශේකර් මෝටර් රථ දෙකක් තෑගි දී ඇති බවක් සඳහන් වුණා.
ජැක්ලින්ට එරෙහිව මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකය ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රයේ නිවාස දෙකක් ගැන ද සඳහන් වන බවයි පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබුණේ. තමා ජැක්ලින් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නිවසක් මිල දී ගැනීමට සාකච්ඡා කරන බවත්, මුම්බායි හි තවත් නිවසක් සඳහා අත්තිකාරම් ගෙවා ඇති බවත් චන්ද්‍රශේකර් ඔහුගේ හිතවතකු සමග පවසා තිබූ බව එහි සඳහන් වෙනවාලු. මේ පිලිබඳව ජැක්ලින්ගෙන් ද විමර්ශකයන් ප්‍රශ්ණ කර තිබුණා. එහි දී ඇයත් ශ්‍රී ලංකාවේ නිවස ගැන තහවුරු කර තිබූ බව සඳහන්. මෙම නිවස පිහිටා ඇත්තේ වැලිගම බවයි සඳහන් වන්නේ. නමුත් ජැක්ලින් තවමත් මෙම නිවස බැලීමට පැමිණ නැති බවත් පැවසෙනවා. චන්ද්‍රශේකර් සැබැවින්ම මෙවැනි නිවසක් මිල දී ගෙන තිබෙනවා ද, නැතිනම් එය ඔහුගේ බොරුවක් පමණක් ද යන්න ගැන විමර්ශකයන් තවමත් ස්ථිරව තහවුරු කරගෙන නැති බවත් මාධ්‍ය වාර්තා කර තිබුණා.
චන්ද්‍රශේකර් ජැක්ලින්ට මෙම තෑගි ලබා දී ඇත්තේ අපරාධයෙන් උපායගත් මුදල්වලින් බවට විමර්ශකයන් චෝදනා කරන අතර මේ නිසා ඇය ද මුදල් විශුද්ධිකරණයේ චුදිතයකු ලෙස නම් කර තිබෙනවා. එක් අවස්ථාවක ජැක්ලින් පවසා තිබුණේ මෙම තෑගි ලබා ගනිද්දී තමා චන්ද්‍රශේකර් ගේ අපරාධ පිලිබඳ ඉතිහාසය ගැන නොදැන සිටි බවයි. නමුත් ඇයගේ මෙම ප්‍රකාශය අසත්‍යයක් බව ද විමර්ශකයන් සිය චෝදනා පත්‍රයේ සඳහන් කර තිබෙනවා. ඔවුන් පවසන ආකාරයට ඇය මෙම තෑගි ලබා ගනිමින්, ඒවා භුක්ති විඳ ඇත්තේ ඔහුගේ අපරාධ ඉතිහාසය පිළිබඳව හොඳින් දැන සිටියදී යි. විමර්ශකයන් පවසන්නේ චන්ද්‍රශේකර් ගේ අනන්‍යතාව ගැනත්, ඔහුගේ අපරාධ ඉතිහාසය ගැනත් ජැක්ලින් ගේ කොණ්ඩා මෝස්තර ශිල්පියා 2021 වසරේ පෙබරවාරි මාසයේ ඇයට දැනුම් දී තිබූ බවයි. එසේ තිබියදීත් ඇය දිගටම චන්ද්‍රශේකර් සමග ආශ්‍රය පවත්වාගෙන ගොස් ඇති බව ද, ඔහු දුන් තෑගි බෝග ඇතුළු වාසි ලබා ගෙන ඇති බව ද මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකය පවසා තිබෙනවා.
නිහාල් පීරිස්