කපිලවස්තු සර්වඥ ධාතූ වෙනුවට මෝදි අප රටේ ප්‍රදර්ශනයට ලබා දෙන ගුජරාටි සර්වඥ ධාතූ

ගුජරාටි ධාතු සමග හමු වූ බුද්ධ ශීර්ෂයක්

තමා උපන් ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ සිදු කරන ලද කැණීම්වලින් හමුවූ සර්වඥ ධාතූන් ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීම සඳහා ලබා දීමට කැමැත්තෙන් සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවසුවේය. ඒ ශ්‍රී ලංකා ජනපති අනුර කුමාර දිසානායක සමග අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගත් අවස්ථාවේදීය. ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ කපිලවස්තු සර්වඥ ධාතූන් වුව ද, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ගුජරාටි සර්වඥ ධාතූ ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය පිණිස ලබා දෙන්නේ ඒවා තමා උපන් ප්‍රදේශයෙන් හමු වූ නිසා බව පැහැදිලිය.

කපිලවස්තු සහ ගුජරාටි ධාතු යන ද්විත්වයම බුදු දහම සමග ගැඹුරු සබඳතාවක් පවතින අතර ඒවා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරත්, ආසියාවේ අනෙකුත් රටවල් අතරත් සංස්කෘතික උරුමයක බෙදා හදා ගැනීමක් සංකේතවත් කරයි. කෙසේ නමුත් මේවා බෞද්ධ සම්ප්‍රදායේ එකිනෙකට වෙනස් පැති නිරූපණය කරයි.

කපිලවස්තු ධාතූන් හමු වී ඇත්තේ වර්තමාන නේපාලයෙනි. සිද්ධාර්ථ කුමාරයාගේ උපන් ප්‍රදේශය ලෙස බහුතරයක විශ්වාසය වන්නේ මේ ප්‍රදේශයයි. එබැවින් බෞද්ධ ලෝකය තුළ වඩාත් උසස්තම ධාතූන් ලෙස කපිලවස්තු ධාතූන් සලකනු ලබයි. ඒවා බුදුන් වහන්සේගේ ජීවිතයට ඍජු සබඳතාවක් පවතින බව පොදු පිළිගැනීමය. එහි ඇත්තේ බුදුන් වහන්සේගේ යැයි විශ්වාස කෙරෙන අස්ථි කොටස් කිහිපයක් වන අතර ස්ථූපයක හැඩැති කරඬුවක තැන්පත් කොට තිබේ. එය වටා තවත් පරිවාර කරඬු කිහිපයක් දක්නට ලැබේ. 1898 වසරේ දී පිප්රාවා කැණීමේ දී මේවා හමු විය.

ගුජරාටි ධාතු හමු වූ ශෛලමය කරඬුව

අපි මුලින්ම මේ ධාතූන් පිළිබඳ විස්තර සැකෙවින් විමසා බලමු.

කපිලවස්තු ධාතු වර්තමානයේ තැන්පත් කොට ඇති කරඬුව

කපිලවස්තු ධාතූන් හමු වී ඇත්තේ වර්තමාන නේපාලයෙනි. සිද්ධාර්ථ කුමාරයාගේ උපන් ප්‍රදේශය ලෙස බහුතරයක විශ්වාසය වන්නේ මේ ප්‍රදේශයයි. එබැවින් බෞද්ධ ලෝකය තුළ වඩාත් උසස්තම ධාතූන් ලෙස කපිලවස්තු ධාතූන් සලකනු ලබයි. ඒවා බුදුන් වහන්සේගේ ජීවිතයට ඍජු සබඳතාවක් පවතින බව පොදු පිළිගැනීමය. එහි ඇත්තේ බුදුන් වහන්සේගේ යැයි විශ්වාස කෙරෙන අස්ථි කොටස් කිහිපයක් වන අතර ස්ථූපයක හැඩැති කරඬුවක තැන්පත් කොට තිබේ. එය වටා තවත් පරිවාර කරඬු කිහිපයක් දක්නට ලැබේ. 1898 වසරේ දී පිප්රාවා කැණීමේ දී මේවා හමු විය. මෙහි ඇති අති පූජනීයත්වය නිසා එය තුළ මහත් ආධ්‍යාත්මික වටිනාකමක් ගැබ්ව පවතින අතර ඒවා ප්‍රදර්ශනය කිරීම පවා උතුම් පූජනීය අවස්ථාවක් ලෙස සලකනු ලබයි. ඉන්දියාව පැත්තෙන් සලකා බැලුවහොත් මේවා ඔවුන්ගේ ජාතික වස්තූන් අතර පවතින්නක් වන අතර ආගමික සහ සංස්කෘතික අවස්ථා සඳහා ඒවා ඉන්දියාව තුළම තබා ගන්නට සෑම විටම කටයුතු යොදා තිබේ.

කපිලවස්තු ධාතූන් සමග සැසඳීමේ දී ගුජරාටි ධාතූන් පිළිබඳ කිව හැක්කේ ඒවා කපිලවස්තු ධාතූන් සේ බුදුන් වහන්සේගේ පුද්ගලික ජීවිතයට ඍජු සම්බන්ධයක් තිබෙන බව පෙනෙන්නට නොලැබීමය. කෙසේ නමුත් මේවා නොවැදගත් යැයි එයින් කියවෙන්නේ නැත. ඒවා ඉන්දියාවේ, විශේෂයෙන් බටහිර කලාපයේ මුල්කාලීන බෞද්ධ ප්‍රජාවන්ට සම්බන්ධතාවක් තිබේ. ඉන්දීය උප මහාද්වීපයෙන් ඔබ්බට බුදු දහම ව්‍යාප්ත වීම මේ ධාතූන් මගින් පිළිබිඹු වේ. ගුජරාටි ධාතූන් අතර බුදුන් වහන්සේගේ ශරීර කොටස් අඩංගු වන්නේ යැයි පැවසෙන අක්ෂර කෙටූ කරඬුවක් තිබෙන අතර එහි ශරීර කොටස් කිහිපයක් දක්නට ලැබේ. ඊට අමතරව කුඩා බුද්ධ ප්‍රතිමා, ලෝකඩ පිළිම, ස්තූපවල අනුරූ, බෞද්ධ විහාර සැලසුම්, පැරණි කාසි ආදී දෑ දක්නට ලැබේ. 1960 වසරේ දී මේවා සොයා ගනු ලැබිණි.

කපිලවස්තු සර්වඥ ධාතු හමුවූයේ මේ කරඬුවෙනි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර, විශේෂයෙන් බුදු දහම නිසා දීර්ඝ කාලීන සංස්කෘතික සහ ආගමික සබඳතාවක් පවතී. ශ්‍රී ලංකාව ඓතිහාසික වශයෙන් බුදු දහම ඉගෙනීම සහ පුහුණු වීම සඳහා ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස පැවති අතර ශ්‍රී ලාංකිකයෝ ඉන්දීය බුදු දහම සමග නිරන්තරයෙන්ම දැඩි සබඳතාවක් පවත්වා ගත්හ.

කපිලවස්තු සර්වඥ ධාතු වර්තමානයේ තැන්පත් කර ඇත්තේ මේ ආකාරයටය

සියවස් ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව තුළ බුදු දහම ප්‍රමුඛසථානයේ වැජඹුණු අතර ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රජාව ධාතූන් කෙරෙහි, විශේෂයෙන් කපිලවස්තු නුවරින් හමු වූයේ යැයි විශ්වාස කෙරෙන ධාතූන් කෙරෙහි දැඩි ගෞරව භක්තියකින් යුක්ත වූහ.

ශ්‍රී ලංකාවට ගුජරාටි ධාතූන් ලබා දීමෙන් ඉන්දියාව අපේක්ෂා කරන්නේ මේ දෙරට අතර හුවමාරු වන බෞද්ධ උරුමයන් පවතින බව පෙන්වීමට සහ ශ්‍රී ලංකාව සමග වූ සබඳතාවන් තව තවත් ශක්තිමත් කර ගැනීමය. මේ තීරණය තුළින් මේ ජාතීන් දෙක අතර වූ ආගමික සහ සංස්කෘතික බැඳියාව යළි තහවුරු වෙයි.

කපිලවස්තු ධාතූ සම්බන්ධයෙන් ඉන්දීය රජයේ ප්‍රතිපත්තිය වූයේ ඒවායේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඉන්දීය ජාතික කෞතුකාගාරයෙන් බැහැරට කිසිම හේතුවක් මත රැගෙන නොයෑම වුව ද මේ ප්‍රතිපත්තිය අවස්ථා දෙකක දී වෙනස් කරන්නට ඔවුන්ට සිදු විය. ඒ කපිලවස්තු ධාතූ ශ්‍රී ලංකාව තුළ ප්‍රදර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම ඉවත දැමිය නොහැකි වූ බැවිනි. මේ අනුව 1978 දී සහ සම්බුද්ධ ජයන්ති සැමරුම පැවති 2012 වසරේ දී ශ්‍රී ලංකාව තුළ කපිලවස්තු ධාතූ ප්‍රදර්ශනයන් පැවැත්විණි.

ගුජරාටි ධාතු සමග හමු වූ පැරණි කාසි

සංස්කෘතික රාජ්‍ය තාන්ත්‍රිකත්වය ඔස්සේ සිය දකුණු ආසියාතික අසල්වැසියන් සමග වඩ වඩාත් සම්බන්ධ වීමේ ඉන්දීය උපාය මාර්ගයක් ද මේ තුළින් පිළිබිඹු වෙයි. ශ්‍රී ලංකාව තුළ ප්‍රදර්ශනය කිරීම සඳහා ගුජරාටි ධාතූන් ලබා දීම තුළින් ඉන්දියාව සිය අසල්වැසියා සමග ධනාත්මක සබඳතාවක් ගොඩ නගා ගැනීමක් පෙන්නුම් කරන අතර ශක්තිමත් සංස්කෘතික බැඳීමක් ගොඩ නගා ගැනීමට ද අපේක්ෂා කරන බවක් පෙනේ. මේ කලාපය තුළ උපාය මාර්ගික ලෙස ශ්‍රී ලංකාව වැදගත් වන අතර මෙවැනි සංස්කෘතික හුවමාරු තුලින් මේ රටවල් දෙක අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට උපකාරී වෙයි. ඉන්දියාව හින්දු ආගමිකයන් බහුල රටක් වුව ද බෞද්ධ උරුමය සහ සංස්කෘතිය ද සුරකින්නට කැපවී සිටින්නේ යැයි පෙන්වීම ද මෙහි අරමුණක් බව පෙනේ.

කපිලවස්තු සර්වඥ ධාතු සහිත කරඬුව මතු කර ගත් අවස්ථාවේ මෙම ඡායාරූපය ගෙන තිබේ

කපිලවස්තු ධාතූ සම්බන්ධයෙන් ඉන්දීය රජයේ ප්‍රතිපත්තිය වූයේ ඒවායේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඉන්දීය ජාතික කෞතුකාගාරයෙන් බැහැරට කිසිම හේතුවක් මත රැගෙන නොයෑම වුව ද මේ ප්‍රතිපත්තිය අවස්ථා දෙකක දී වෙනස් කරන්නට ඔවුන්ට සිදු විය. ඒ කපිලවස්තු ධාතූ ශ්‍රී ලංකාව තුළ ප්‍රදර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම ඉවත දැමිය නොහැකි වූ බැවිනි. මේ අනුව 1978 දී සහ සම්බුද්ධ ජයන්ති සැමරුම පැවති 2012 වසරේ දී ශ්‍රී ලංකාව තුළ කපිලවස්තු ධාතූ ප්‍රදර්ශනයන් පැවැත්විණි.

කපිලවස්තු කැණීමේදී හමු වූ කරඬු

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර