සඳ ජය ගැනීම සඳහා මේ වනවිට ලෝකයේ රටවල් රැසක් අතර විශාල තරගයක් තිබේ. මෙම තරගයේ තවත් අලුත් ජයග්‍රාහකයකු පසුගිය සතියේ බිහි විය. ඒ ජපානය යි.
ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය විසින් අභ්‍යවකාශගත කරන ලද යානයක් පසුගිය 20 වැනි දින සාර්ථකව සඳ මත ගොඩ බසින්නට සමත් වූයේය. මේ අනුව සඳ මත යානයක් ගොඩ බැස්ස වූ ලොව පස්වැනි රට බවට ජපානය පත් විය. මෙයට කලින් මෙම දස්කම කර තිබුණේ රුසියාව, ඇමරිකාව, චීනය සහ ඉන්දියාව යන රටවල් පමණි.
ජපානය මෙම ව්‍යාපෘතිය හරහා මෙයට පෙර කිසිදු රටක් නොකළ වැඩක් කරන්නට ද උත්සාහ ගැනීම විශේෂත්වයකි. ඔවුන් යැවූ යානය මිනිසුන් රහිත යානයක් වූ අතර එය නිල වශයෙන් හැඳින්වුණේ ස්ලිම් (SLIM) යන නමිනි. එය Smart Lander for Investigating Moon යන නම කෙටි කර සාදා ගත්තකි. නමුත් එයට තවත් ‘සුරතල් නාමයක්’ ද තිබිණි. එනම් මූන් ස්නයිපර් (Moon Sniper)යන්න යි. ‘ස්නයිපර්’ යනු වෙඩික්කාරයන් විශේෂයක් සඳහා භාවිත කරන නමකි. සතුරාගේ ඇසට හසු නොවන දුරක සිට දූර දර්ශක සවි කළ තුවක්කුවලින් ඉලක්කයටම වෙඩි තබන වෙඩික්කරුවන් මේ නමින් හැඳින්වේ. ජපානයේ මූන් ස්නයිපර් ද මෙයට සමාන කටයුත්තක් සඳහා යවන ලද්දකි. එහි අරමුණ වූයේ සඳ මත නිශ්චිත ඉලක්කයකට හරියටම යානයක් ගොඩ බැස්සවීමට ඇති හැකියාව ගැන සොයා බැලීමයි.
මෙයට පෙර සඳ මත බොහෝ යානා ගොඩ බස්සවා තිබුණත් විද්‍යාඥයන් මුහුණ දුන් ප්‍රධාන ගැටලුවක් තිබිණි. එනම් එම යානා බොහෝ විට අපේක්‍ෂිත ස්ථානයේම ගොඩ බැස්සවීමට නොහැකි වීමයි. එම ඉලක්කයන් කිලෝ මීටර් ගණනකින් එහා මෙහා වීම සැම විටකම වාගේ සිදු වූවක් විය. මෙම ගැටලුව ජය ගනිමින් නිශ්චිත ස්ථානයේම යානයක් ගොඩ බැස්සවිය හැකි තාක්‍ෂණය අත්හදා බැලීම ජපාන විද්‍යාඥයන්ගේ අරමුණ විය. මූන් ස්නයිපර් යානයට නිශ්චිත ස්ථානයේ සිට මීටර් 100 ක් ඇතුළත ගොඩ බසින්නට හැකි වනු ඇතැයි අපේක්‍ෂා කෙරිණි.
කෙසේ නමුත් මෙම අරමුණ ඉටු කරගන්නට හැකි වූවා ද යන්න තවමත් ප්‍රකාශයට පත්ව නැත. මේ වනවිට එය නිශ්චය කර ගැනීම සඳහා ජපාන විද්‍යාඥයන් කටයුතු කරමින් සිටින බව සඳහන් වේ.
කෙසේ නමුත් මූන් ස්නයිපර් යානය සඳ මත සාර්ථකව ගොඩ බැසීමෙන් පසු අවාසනාවන්ත ලෙස තාක්‍ෂණික ගැටලුවකට මුහුණ දුන්නේය. එනම් එහි සූර්ය පැනල ක්‍රියාත්මක නොවීම යි. මේ කාලයේ සඳ මත ගොඩ බසින යානා ක්‍රියාත්මක වන්නේ හිරු එළියෙන් නිපදවනු ලබන විදුලියෙනි. මූන් ස්නයිපර් හි සූර්ය පැනල ක්‍රියාත්මක නොවීම නිසා එය මේ වෙද්දී විශාල ගැටලුවකට මුහුණ දී සිටියි. මෙම ප්‍රශ්නය ඇති වීමෙන් පසු එය ක්‍රියාත්මක වෙමින් තිබුණේ සාමාන්‍ය බැටරියකින් නිපදවන බල ශක්තියෙනි. නමුත් එම බැටරියේ ආරෝපණය අවසන් වූ විට යානයම අක්‍රිය වනු ඇත.
කෙසේ නමුත් මෙම තාක්‍ෂණික ගැටලුව විසඳාගෙන යානය “මිය යාම” වැලැක්වීමට විද්‍යාඥයෝ යුහුසුළුව කටයුතු කරමින් සිටිති. මෙවැනි ගැටලුවක් ඇති වීමට හේතුව යානයේ සූර්ය පැනල නිසි දිශාවට යොමු වී නොතිබීම විය හැකි බවට ද අදහස් පළ වී තිබිණි.
ජපානය සඳ වෙත යැවුවේ මූන් ස්නයිපර් යානය පමණක් නොවේ. ඒ තුළ බහා තවත් රොබෝ වාහන (Rovers) දෙකක් ද යවනු ලැබිණි. ඒවා නම් කර තිබුණේ LEV- 1 සහ 2 යනුවෙනි. සඳ මත ගමන් කරමින් ඒ පිලිබඳ තොරතුරු රැස් කිරීම මෙම රොබෝලාට පැවරී ඇති කටයුත්තයි. මේවායින් එකක් මේ වනවිටත් සිය කටයුතු අරඹා ඇති බව සඳහන් වේ.
යානය ගොඩ බැස්සේ ෂයෝලි නැමැති ආවාටයක් ආසන්නයේ ස්ථානයකට ය. මෙම ස්ථානයේ තවත් විශේෂත්වයක් තිබේ. සඳ මත ගොඩ බට මුල්ම අජටාකාශගාමීන් දෙදෙනා වන ඇමරිකානු ජාතික නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩි්‍රන් පා තැබූ නිසල මුහුද නැමැති ප්‍රදේශය ද මේ ආසන්නයේ පිහිටා තිබීම යි. ආම්ස්ට්‍රෝන් සහ ඕල්ඩි්‍රන් සඳ වෙත ගියේ 1969 වසරේ ය.
සඳ වෙත ගමන් කරනු පිණිස මූන් ස්නයිපර් පෘථිවියෙන් පිටත් වූයේ 2023 වසරේ සැප්තැම්බර් 6 වැනි දින යි. මෙම ගමන සඳහා යානයට මාස හතරහමාරකට ආසන්න කාලයක් ගත විය.
නිහාල් පීරිස්