ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලය ඩැහැ ගැනීම සඳහා වන බල පොරයක නිරත පුද්ගලයන් හා තරග පාවාදීමේ සූදුවේ නිරත තැරැව්කරුවන් ද, හුදු ආත්මාර්ථකාමය මත ජාතික කණ්ඩායම තුළ තම ස්ථානය රැක ගැනීමට උත්සාහ කරන පුද්ගලයන් ද දීර්ඝ කාලයක් තිස්සේ විවිධ මට්ටම් වලින් ක්‍රියාත්මක කළ කුමන්ත්රණකාරී වැඩපිළිවෙළක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඛේදවාචකයකට මුහුණ දී සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මොවුන් තම තමන්ගේ කුමන්ත්‍රණ සාර්ථකර ගැනීම සඳහා සමාජ මාධ්‍ය තුළ සිදුකෙරෙන විවිධ අන්දමේ විශ්ලේෂණයන් හා මත පළකිරීම සඳහා අත දිගහැර වියදම් කර ඇත. ක්‍රිකට් ක්‍රීඩකයන් සංචිතයට ඇතුළත් කර ගැනීම සඳහා බාහිර පුද්ගලයන් විසින් සමාජ මාධ්‍ය තුළ දැවැන්ත ප්‍රචාරනයන් සඳහා මුදල් ආයෝජනය කර ඇතැයි ද පවසන වික්‍රමසිංහ මහතා යම් හෙයකින් මෙම කරුණු ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔවුන් කළ යුත්තේ සමාජ මාධ්‍ය තුළ මෙතෙක් එකී මත පළකළ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියල්ලන්ට ස්වෙච්ඡාවෙන් තම තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකථන ක්‍රීඩා අපරාධ විමර්ශන ඒකකයට භාරදී තමන් මෙතෙක් පවත්වන ලද දුරකථන සබඳතා පිළිබඳ වෝහාරික විශ්ලේෂණයකට ඉඩ දීම යැයි අවධාරණය කර සිටී.
පසුගිය වසර දෙකහමාර තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත එල්ල වූ විවේචනවල අරමුණ වී තිබුණේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම නොව එම ක්‍රීඩාව අසරණ කොට තම තමන්ගේ මඩිය තරකර ගැනීමේ පටු අරමුණ බව පැහැදිලි වන්නේ යැයි පවසන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා දැන් උදාවී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවේ පැවැත්ම හෝ නොපැවැත්ම තීරණය කරනු ලබන හෝරාව බවත් එම හෝරාවේදී වත් ක්‍රිකට් ක්‍රීඩාවේ පැවැත්ම උදෙසා සාමූහිකව කටයුතු කළ යුතු බවත් සිය නිවේදනයෙන් අවධාරණය කර සිටී.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්වේ.
වර්ෂ 1996 දී මෙරටට ක්‍රිකට් ලෝක කුසලානය උරුම කොට දුන් ජාතික කණ්ඩායමේ සාමාජිකයකු ලෙසට මේ වනවිට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දෙමින් සිටින ඛේදජනක තත්ත්වය පිළිබඳ ඉමහත් කම්පාවට පත්ව සිටින බව සියල්ලට ප්‍රථමයෙන් පැවසිය යුතුව තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට එම කවුන්සිලය තුළ පැවති සාමාජිකත්වය තහනම් කිරීම මෙරට ක්‍රිකට් අනාගතය සම්බන්ධයෙන් බලවත් තර්ජනයකි. එම සාමාජිකත්වය පිළිබඳ ගැටලුව යථා තත්ත්වයට පත්කර ගැනීම මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සියල්ලන්ගේම සාමූහික වගකීමක් විය යුතු අතර ඒ සඳහා සියලු වාද භේද දුරලා එක්වන ලෙස සියලු පාර්ශ්වයන්ට ආයාචනය කර සිටින්නෙමි.
මේ සියලු කුමන්ත්‍රණයන්හි අවසාන ඉලක්කය වී ඇත්තේ ක්‍රිකට් පිළිබඳ විවේචනයක් සමාජය තුළ ඉස්මතු කිරීමයි. එය සිදුකරන එක් මාර්ගයක් වන්නේ පරිපාලනයට එරෙහිව දේශපාලන මතයක් සමාජය තුළ ගොඩනැගීමයි. තේරීම් කමිටු සාමාජිකයකු ලෙස ඒ පිළිබඳ කතා කිරීම මාගේ විෂය නොවන්නේය. නමුත් මාගේ විෂය වන්නේ කුමන්ත්රණකරුවන් අනුගමනය කරමින් සිටින ඔවුන්ගේ දෙවන මූලෝපායයි. එනම් ක්‍රිකට් කණ්ඩායමේ දුර්වලතාවන් ඉස්මතුකර දක්වමින් සිදු කෙරෙන විවේචන හරහා තේරීම් කමිටුව, පුහුණුකරුවන් හා ක්‍රීඩකයන් අසරණ කිරීමත්, ඒ මගින් පවතින පරිපාලනය සුදුසු නොවන බවට සමාජ මතයක් ගොඩනැගීමට දරන උත්සාහයයි. එවැනි විවේචනයක් සමාජය තුළ ගොඩනැංවීමට නම් අනිවාර්ය පූර්ව අවශ්‍යතාව වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දුර්වල තත්ත්වයකට ඇද වැට්ටවීමයි. එම පටු පරමාර්ථය වෙනුවෙන් කණ්ඩායම තුළ පවා අසහනකාරී තත්ත්වයන් ඇති කරවීමට කුමන්ත්රණකරුවන් පසුබට වී නැති බව දැන් පෙනේ. අවසානයේදී ඒ සඳහා කදිම අවස්ථාව සැලසුනේ ඉන්දියාව සමග වූ තරගයෙන් අප ලද අවාසනාවන්ත පරාජයෙනි. ජාතික කණ්ඩායමේ මානසික ඒකාග්‍රතාවය බිඳලීමට සහ කණ්ඩායම තුළ පවතින සමගිය බිඳ දැමීමට දරන අවස්ථා එමටය.
ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව තෝරාගැනීම සඳහා වන ප්රමුඛ නිර්ණායකයක් බවට පත්කරන්නට යෙදුනේය. ඊට ප්රතිපක්ෂව සමාජ මාධ්‍ය හරහා දැවැන්ත විවේචනයක් එල්ලවිය. අවසානයේදී එම තේරීමේ නිර්ණායකය හමස් පෙට්ටියට වැටුනේ එය ක්‍රීඩකයන්ගේ ගිවිසුමේ නාම මාත්‍රික කොන්දේසියක් පමණක් බවට පත් කරමිනි. තේරීම් කමිටුවේ මෙම සාධනීය උත්සාහයට එරෙහිව ක්‍රිකට් පාලක මණ්ඩලය ඉදිරිපිට උද්ඝෝෂණයක්ද සංවිධානය කොට තිබුණි. මෙම සමස්ත ක්‍රියාදාමය පිටුපස සිටියේද ඉහත සඳහන් කුමන්ත්‍රණකරුවන්මය.
ක්‍රීඩාවේ පැවැත්ම ක්‍රීඩකයන්ගේ විනයයි. තම පටු අරමුණු ජයගැනීම සඳහා මොවුන් ක්‍රීඩා කණ්ඩායමේ පැවැත්ම අස්ථාවර කිරීමට උත්සාහ දරන්නේ නම් එය බරපතළ තත්ත්වයක් බව මෙහිලා අවධාරණයෙන් කිව යුතුව තිබේ.
මාගේ නිරීක්ෂණයට අනුව ඒ සඳහා වන පසුබිම සැකසීමට කදිම අවස්ථාවක් කර ගනු ලැබුයේ නව අමාත්‍යවරයාගේ පත්වීමයි. මීට පෙර වූ අමාත්‍යවරුන් යටතේ මෙවන් කුමන්ත්‍රණ පූර්ණ වශයෙන් දියත් කිරීමට තරම් වූ පරිසරයක් නොවූයේය. එසේම පෙර සිටි අමාත්‍යවරුන් තේරීම් කමිටුවේ ක්‍රියාකාරීත්වයට පූර්ණ සහාය ලබාදුන් බව මෙහිලා සිහිපත් කරනු වටියි. එසේ ලැබුණු පූර්ණ අනුග්‍රහය හේතුවෙන් බාධාවකින් තොරව කටයුතු කරන්නටත් ක්‍රිකට් ක්‍රීඩාව ජයග්රාහි මාවතකට යොමු කරන්නටත් අපට හැකිවූ බව කිව යුතුව තිබේ.
මෙයට වසර දෙකහමාරකට පෙර මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පත්ව තිබූ තත්ත්වය තේරීම් කමිටු සාමාජිකයන් විසින් ඉකුත් දිනක අමාත්‍යවරයාට යොමු කළ ලිපිය මගින් සිහිපත් කොට තිබුණි. තේරීම් කමිටුව ලෙස අප උත්සාහ දැරුවේ ඉදිරි වසර පහකදී රටට ජයග්‍රහණය ගෙන ඒමට සමත් තරුණ ක්‍රීඩක කණ්ඩායමක් රටට හිමි කර දෙන්නටය. මා නිරීක්ෂණය කරනු ලැබූ ආකාරයට ඒ සඳහා තේරීම් කමිටුව උපරිම වැර යොදා ක්‍රියාකළ ද අමාත්‍යවරයාද, ක්‍රීඩා අමාත්‍යාංශයද විසින් පවතින තේරීම් කමිටුවේ පැවැත්මද, ක්රියාකාරීත්වයද පූර්ණව ප්‍රතික්ෂේප කරනු ලැබුයේය. අමාත්‍යාංශය ද පළමුව සඳහන් කළේ ජාතික තේරීම් කමිටුව, වර්තමාන ක්‍රිකට් තේරීම් කමිටුව පිළිනොගන්නා බවය. ඉන් පසුව පුවත්පත් දැන්වීමක් පළකළ ඔවුන් ක්‍රිකට් තේරීම් කමිටුවට නව සාමාජිකයන් පත් කිරීම සඳහා ආරාධනා කළේය. නමුත් ඉන් අනතුරුව ඉහත ක්‍රියාමාර්ග තුළින් නව තේරීම් කමිටුවක් පත් කරන්නට අමාත්‍යාංශය මේ දක්වා කටයුතු කර තිබුණේ නැත. කෙසේ නමුත් තමන්ගේ පෙර ක්‍රියාකලාපයන් පිළිබඳ වගක් නොමැතිව, වර්තමාන තේරීම් කමිටුව විසින් අමාත්‍යවරයා වෙත මේතාක් යොමු කරනු ලැබූ සෑම ක්‍රීඩක සංචිතයක්ම අනුමත කර තිබුණේය. මෙය බරපතළ වගකීම් විරහිත තත්ත්වයක් වුවත් අමාත්‍යාංශයට එය වගකීම් විරහිතභාවයක් වූයේ නැත. මෙවන් පසුබිමක අවසන් ප්‍රතිඵලය වූයේ වර්තමාන තේරීම් කමිටුව සම්බන්ධයෙන් පැවති සමාජ පිළිගැනීම හා විශ්වාසය බිඳී යාමයි. අනෙක් අතට, මුහුණ දුන් අස්ථාවරභාවය හේතුවෙන් කමිටුවට වෘත්තියභාවයකින් යුතුව කටයුතු කිරීම අහිමි කර තිබුණි.
ඒ බව හොඳින් පෙන්නුම් කරන ලද කරුණ වන්නේ තෝරා එවන ජාතික කණ්ඩායමට අමාත්‍යවරයා අනුමැතිය ලබා දුන් ආකාරයයි. දින 21ට පෙර අවසාන සංචිතය නම් කළ යුතු යැයි අමාත්‍යවරයා නියෝග කොට ඇති නමුත් බොහෝ විට ඒ සඳහා අනුමැතිය ලබාදීමට කටයුතු කර තිබුණේ කිසිදු විශ්ලේෂණයකින් තොරවය. සෑම විටම එම අනුමැතිය ලබාදුන්නේ ද තරගාවලිය ඇරඹීමට හෝ සංචාරය ඇරඹීමට මොහොතකට ප්රථමයෙනි. එදිනට අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබුණි ද අමාත්‍යාංශයට සම්බන්ධ නිලධාරීන් මාධ්‍ය හරහා සැමවිටම පෙන්වනු ලැබුයේ අදාළ තේරීම් පිළිබඳ තීරණයන් සතුටුදායක නොවන බවකි. අමාත්‍යාංශය දෙසින් මෙලෙසට එල්ල කෙරුණු වක්‍ර විවේචනයන් හේතුවෙන් තෝරාගන්නා ක්‍රීඩකයන්ගේ මානසිකත්වයට දැඩි බලපෑමක් එල්ල වී තිබුණු බව කිව යුතුව තිබේ.
අමාත්‍යවරයා පත් කරනු ලබන අප නියෝජනය කරනු ලබන ක්‍රිකට් තේරීම් කමිටුව, අමාත්‍යාංශය තුළ ක්‍රියාත්මකවනු ලබන ජාතික ක්‍රීඩා උපදේශක සභාව සහ ජාතික තේරීම් කමිටුවේ තීන්දු තීරණවලින් බැඳී සිටියි. ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කරන ක්‍රිකට් සංචිත සෑම විටම අමාත්‍යවරයා අනුමත කොට තිබේ. නමුත් බොහෝ අවස්ථාවලදී අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලැබූ තේරීම් කමිටුවේ තීන්දු තීරණ අමාත්‍යාංශය යටතේම ක්‍රියාත්මක කමිටු ප්‍රධානීන් විසින්ම අනුමත නොකරන බවක් ඔවුන් සමාජ මාධ්‍ය තුළ සිදු කරනු ලැබූ විවිධ මතයන් හා ප්‍රකාශවලින් පෙනී ගියේය. බොහෝ විට එකී විවේචන පදනම් විරහිත විවේචන වූ අතර ඒවා මගින් අරමුණු කොට තිබුණේ ක්‍රිකට් තේරීම් කමිටුව පිළිබඳ සමාජය තුළ පැවති විශ්වසනීයත්වය ක්‍රමානුකූලව බිඳ දැමීම බව පැහැදිලි වන්නේය. මෙලෙසට අමාත්‍යාංශ මට්ටමින් වගකීම් දරන පුද්ගලයන් සමාජ මාධ්‍ය තුළ කරනු ලබන ක්‍රිකට් විශ්ලේෂණයන්ට අනුව පැහැදිලි ලෙසම ළබැඳියාවන්ගේ ගැටුමක් ඇති කරන බව ඔවුන් අමතක කොට තිබුණා පමණක් නොව ඒවා සද්භාවයෙන් සිදු කරනු ලබන විශ්ලේෂණයන්ද නොවූයේය. සැබැවින්ම එකී විශ්ලේෂණ, අවසාන විග්රහයන් තුළ ඔවුන් සේවය කරන්නට යෙදෙන්නේ ක්‍රීඩාවේ උන්නතියට නොව තම තමන්ගේ නියෝජනය කරනු ලබන බල ව්‍යාපෘතිය වෙනුවෙන් බව මාගේ නිරීක්ෂණය වන්නේය.
අමාත්‍යාංශයට ක්‍රිකට් තේරීම් පිළිබඳව පැවතියේ ස්ථිරසාර ප්‍රතිපත්තියක් නොවේ. ඒ සඳහා කදිම උදාහරණයක් සපයන්නේ ලෝක කුසලාන සංචිතයට එවකට ආබාධිතව සිටි වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර ඇතුළත් කිරීමට සිදුකළ යෝජනාවට අමාත්‍යවරයා දැක්වූ විරෝධයයි.
ක්‍රිකට් තේරීම් කමිටුව අකර්මණ්‍ය කිරීම සඳහා කුමන්ත්රණකරුවන් නිල හා නිල නොවන විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරනු ලැබූ බව ප්රකටය.
ඔස්ට්‍රේලියානු සංචාරයට අදාළව නිකුත් කෙරුණු කුසලා සරෝජිනී වාර්තාව මගින් ක්‍රිකට් තේරීම් කමිටුව දැඩි අපහසුතාවකට පත් කළ බව කිව යුතුව තිබේ. එම කමිටු වාර්තාව හේතුවෙන් තේරීම් කමිටු ඉතිහාසයේ පළමු වරට, තෝරා ගන්නා ක්‍රීඩකයන්ගේ කුසලතාවට අමතරව ඔවුන්ගේ ආගමික පසුබිම සොයා යෑමට සිදුවන තත්ත්වයක් උද්ගත විය. ක්‍රිකට් ක්‍රීඩාව තුළ බෝන් අගෙන් කුමන්ත්‍රණයක් පවතින්නේ යැයි කීම නිසාම ඇතැම් ක්‍රීඩකයන්ගේ කුසලතාවට ඔබ්බෙන් වූ කරුණුවලට සිත යොමු කිරීමට සිදුවීමෙන් ක්‍රීඩාවේ ජීවගුණය බිඳ දැමීමට තේරීම් කමිටුවට බල කොට තිබුණේය.
අදාළ වාර්තාව හරහා වන දෙවැනි බලපෑම සිදුවන්නේ පාර්ලිමේන්තුවෙනි. ඒ එම වාර්තාවට පදනම් වූ තරග සංචාරය අතරතුරදී රාත්‍රී කැසිනෝ ශාලාවකට ගිය බවට ඉහත වාර්තාව මගින්ම නම් කොට තිබූ, පසුව එම සිය වරද පිළිගත් ක්‍රීඩකයකු නැවත සංචිතයට නොගන්නේ මන්දැයි ප්‍රශ්න කරමිනි.
මා විසින් මෙතෙක් විස්තර කරනු ලැබූයේ විවිධ පුද්ගලයන්ගේ පටු අරමුණු ඉටුකර ගැනීම සඳහා ක්‍රිකට් තේරීම් කමිටුව දඩමීමා කර ගත් ආකාරය පමණකි. මෙම කුමන්ත්රණකරුවන්ගේ සමස්ත ක්‍රියාදාමය මෙහි සඳහන් කරනු ලැබූ කරුණුවලට වඩා අතිශය සංකීර්ණ ක්‍රියාදාමයක් වූයේය. කෙසේ නමුත් එම උත්සාහයන්ගේ අවසන් ප්‍රතිඵලය රටට අගතියක් සිදුකර ඇත.