ක්‍රිකට් වාර්තා පොත අලුත් කළ දකුණු අප්‍රිකාවේ සුපිරි ඉනිම

දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මේ දිනවල කාගේත් අවධානය දිනාගත් තරගාවලියක් බවට පත්ව තිබේ. ඒ එම තරගාවලියේ දෙවැනි තරගයේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම දැක් වූ විස්මයජනක දස්කමක් නිසා ය. විස්සයි විස්ස තරග ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹා යමින් තරගයක් ජයගත් කණ්ඩායම ලෙස දැන් දකුණු අප්‍රිකාව වාර්තා පොතට එක්ව සිටියි.

පසුගිය 26 වැනි දින මෙම තරගය පැවැත්වුණේ දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන් හි සුපර්ස්පෝට් පාක් (SuperSport Park) -නැමැති ක්‍රිඩාංගනයේ යි. තරගයේ මුලින්ම පන්දුවට පහර දුන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම යි. පන්දු වාර 20 තුළ 258 ක විශාල ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට ඔවුහු සමත් වූහ. මෙය එක් ඕවරයකට ලකුණු 13 කට ආසන්න ලකුණු වේගයකි. මෙම ලකුණු ප්‍රමාණය රැස් කිරීමේ දී ප්‍රධානම කාර්යභාරය ඉටු කළේ එම පිලේ ජොන්සන් චාල්ස් ය. විශිෂ්ට පිති හරඹයක නියැලෙමින් පන්දු 46 ක් තුළ ලකුණු 118 ක් රැස් කිරීමට ඔහු සමත් වූයේය. ජොන්සන්ට අමතරව කයිල් මේයර්ස් ද ලකුණු 51 ක් රැස් කළ අතර අවසානයේ කඩුළු 5 ක් පමණක් දැවී ලකුණු 258 ක් රැස් කිරීමට බටහිර ඉන්දීය කොදෙව් පිලට හැකි විය.

විස්සයි විස්ස තරගයක දී කණ්ඩායමක් මෙතරම් ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීම ප්‍රතිවාදී කණ්ඩායමට අති විශාල අභියෝගයකි. මෙය සාමාන්‍යයෙන් ඕවර 50 ක තරගයක දැකිය හැකි ලකුණු සංඛ්‍යාවකි. මේ නිසා කව්රුත් සිතන්නට ඇත්තේ මෙම තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් පිල ඉතාම පහසු ජයක් ලබනු ඇතැයි කියා ය. තරගයේ අවසානය ඉතා පැහැදිලි බවක් පෙනුණු නිසා සමහර විට ඇතැම් ක්‍රිඩාලෝලීන් ක්‍රීඩාංගනයෙන් පිටව යන්නට පවා ඇත. නමුත් සිදු වූයේ කිසිවෙකුත් නොසිතූ ඇදහිය නොහැකි සිද්ධියකි. දකුණු අප්‍රිකානු පිල මෙම සුවිසල් ඉලක්කය හඹා යාමට සමත් විය. තවත් විශේෂත්වයක් වන්නේ ඔවුන් මෙම සීමාවට ළඟා වූයේ පන්දු ඕවරයක් සහ එක් පන්දුවක් ඉතිරිවත් තිබියදී වීම ය.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මෙම විස්මයජනක ජයග්‍රහණයට උර දුන් ප්‍රධානම පිතිකරුවා වූයේ ක්වින්ටන් ඩි කොක් ය. ඔහු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකි. දැවැන්ත ඉලක්කයක් හඹා යාමේ දැඩි පීඩනයක් කණ්ඩායම වෙත එල්ල වී තිබිය දී පිටියට ආ ඔහු ක්‍රීඩා ලෝලීන් විස්මයට සහ අමන්දානන්දයට පත් කරමින් හතර අතේ පහර එල්ල කරන්නට පටන් ගත්තේය. එම ප්‍රහාරාත්මක පිතිකරණය හරහා ඔහු පන්දු 44 ක් තුළ ලකුණු 100 ක් රැස් කිරීමට සමත් විය. ඊට හතරේ පහර 9 ක්ද, හයේ පහර 8 ක්ද ඇතුළත් වූයේය. ක්වින්ටන් ලකුණු 84 ක්ම රැස් කර තිබුණේ හයේ සහ හතරේ පහරවලිනි. මෙය ඔහුගේ පළමු විස්සයි විස්ස ශතකය වීම ද විශේෂත්වයකි.

ක්වින්ටන් අධිවේගී දුම්රියක් මෙන් වේගයෙන් ඉදිරියට යද්දී අනෙක් පිතිකරු වූ රීසා හෙන්රික්ස්ගෙන් ද ඔහුට මනා සහයක් ලැබිණි. ඔහු පන්දු 28 ක් තුළ ලකුණු 68 ක් රැස් කළේය. දෙදෙනා එකතුව පළමු ඕවර 6 තුළ ලකුණු 102 ක සබඳතාවක් ගොඩ නැගුවෝය. පළමු Powerplay සීමාව තුළ කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ද මෙය වාර්තා පොතට ඇතුළත් විය. කෙසේ හෝ වේවා දකුණු අප්‍රිකානු ඉනිමේ 10 වැනි ඕවරයේ 5 වැනි පන්දුවේ දී ක්වින්ටන් දැවී යනවිට පළමු කඩුල්ල සඳහා සබඳතාව ලකුණු 152 ක් විය. ඊළඟ කඩුළු දෙක තුන තරමක් ඉක්මනින් බිඳ වැටෙද්දී බටහිර ඉන්දීය පිලේ බලාපොරොත්තු නැවතත් ඉහළ යන්නට ඇතුවාට සැකයක් නැත. නමුත් එම තත්ත්වය වැඩි වේලාවක් නොතිබිණි. දකුණු අප්‍රිකානු නායක අයිඩ්න් මාර්ක්‍රම් ද සුපිරි පිති හරඹයක නිරත වෙමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යන්නට සමත් විය. ඔහු පන්දු 21 ක් තුළ ලකුණු 38 ක් රැස් කළේය.

තරගයේ වීරයා ලෙස සම්මාන දිනුවේ ක්වින්ටන් ඩි කොක් ය. 30 වැනි වියෙහි පසුවන ඔහු දකුණු අප්‍රිකානු කණ්ඩායමට එක් වූයේ 2012 වසරේ යි. ඔහු සහභාගි වූ පළමු තරගය ද විස්සයි විස්ස තරගයකි. ඒ නවසීලන්තයට එරෙහිව යි.

විස්සයි විස්ස තරගයක දී වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹා ගිය කණ්ඩායම මෙන්ම එක් දින තරගයක දී වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹා ගිය කණ්ඩායම වන්නේ ද දකුණු අප්‍රිකානු කණ්ඩායමයි. ඔවුන් එම අනෙක් දස්කම කළේ 2006 වසරේ ඕස්ටේ්‍රලියාව සමග පැවැති තරගයකදී යි. එහිදී ඕස්ටේ්‍රලියාව ලකුණු 434 ක් රැස් කළ අතර දකුණු අප්‍රිකාව ලකුණු 438 ක් ලබා ගනිමින් තරගයෙන් ජය ලැබුවේය. මෙම තරගයේ දී රිකි පොන්ටින් ඕස්ටේ්‍රලියාව වෙනුවෙන් පන්දු 105 කින් ලකුණු 164 ක් ලබා ගැනීමට සමත් වූ අතර දකුණු අප්‍රිකානු පිල වෙනුවෙන් හර්ෂල් ගිබ්ස් පන්දු 111 කින් ලකුණු 175 ක් රැස් කළේය. ඔවුන් ජය වාර්තා කළේ 49 වැනි ඕවරයේ 5 වැනි පන්දුවේ ය.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර