යටි බඩේ වේදනාව සාමාන්‍යයෙන් පිරිමින්ට වඩා කාන්තාවන් තුළ බහුල ය. එදිනෙදා කටයුතුවලට පවා බාධා ඇති කරවන මෙම යටි බඩේ අමාරුව හට ගැනීමට විවිධ හේතු බලපානු ඇත. අප මෙහි දක්වන්නේ යටි බඩේ අමාරුව හටගැනීමට බලපාන කාන්තාවන්ට ආවේණික වූ හේතූන් පිළිබඳවයි.
ඔසප් වීමේදී ඇතිවන යටි බඩ වේදනාව
ඔසප් ආරම්භයේ දී හටගන්නා මේ වේදනාව යුවතියන් අතර බහුලව ඇතිවන තත්වයකි. මෙසේ වන්නේ ඔසප් රුධිරය පිටවීමේදී ගර්භාෂයේ සුළු හැකිලීමක් සිදුවීම නිසා ය. මෙය සාමාන්‍ය තත්ත්වයකි. විවාහ වී දරුවන් ලැබුණු පසු මේ තත්වය බොහෝවිට සමනය වේ.
මානසික හේතූන් මත බලපාන යටි බඩේ වේදනාව
විශේෂයෙන් ඔසප් වීමේ දී එක්වරක් හෝ කිහිප වරක් යටි බඩේ වේදනාව ඇති වුවහොත් එය මානසිකව බලපෑම හේතුවෙන් ඉන්පසු ඔසප් වීම් සිදුවන විට යටිබඩේ වේදනාව ද ඒ සමගම දැනෙන බව මනස තුළ ස්ථාවර විය හැකිය. ඒ හේතුවෙන් ඔසප් වන අවස්ථාවලදී එම මානසික බලපෑම නිසා යටිබඩේ වේදනාව හට ගන්නට පුළුවන.
විෂබීජ නිසා ඇතිවන යටි බඩේ වේදනාව
ගර්භාෂයට හෝ ගර්භාෂයට සම්බන්ධ නාලවලට විෂබීජ ඇතුළු වීම නිසා ද යටි බඩේ වේදනාව ඇති විය හැකිය. බැක්ටීරියා, දිලීර ආදිය ප්‍රජනන මාර්ගය හරහා ගර්භාෂය වෙත ගමන් කරයි. මෙවැනි තත්ත්වයක් නිසා හට ගන්නා යටි බඩේ කැක්කුම දිගින් දිගටම පැවතිය හැකි අතර ඔසප් දිනවල දී එය අධිකව දැනේ.
ෆයිබ්‍රොයිඩ් ගෙඩි නිසා ඇතිවන යටි බඩේ වේදනාව
ෆයිබ්‍රොයිඩ් යනු පිළිකා නොවන අහිංසක ගෙඩි විශේෂයකි. ඊස්ට්‍රජන් හෝමෝනවල සහ ජානවල බලපෑම මතත්, තවත් විවිධ හේතූන් නිසාත් ෆයිබ්‍රොයිඩ් ගෙඩි හට ගත හැකිය. වැඩිපුර දරුවන් ලැබූ කාන්තාවන්ට වඩා දරුවන් නොලැබූ සහ අඩුවෙන් දරුවන් ලැබූ කාන්තාවන් තුළ ෆයිබ්‍රොයිඩ් ගෙඩි හට ගැනීමේ වැඩි අවකාශයක් පවතී. වයස අවුරුදු 15 පමණ සිට ආර්තවහරණය දක්වාම ඕනෑම කාන්තාවකට ෆයිබ්‍රොයිඩ් ගෙඩි හට ගත හැකි අතර මෙය බිය විය යුතු තත්ත්වයක් නොවේ. ෆයිබ්‍රොයිඩ් ඇති විට ගර්භාෂය වැඩියෙන් සංකෝචනය වීම සිදුවේ. ඒ හේතුව මත අධික ලෙස යටි බඩේ වේදනාව දැනේ. නමුත් ඔසප් වීමේදී සාමාන්‍ය රුධිර වහනයක් මිස අධික ලේ වහනයක් සිදුවන්නේ නැත.
එන්ඩොමෙට්‍රියෝසිස් රෝගය නිසා ඇතිවන යටි බඩේ වේදනාව
ගර්භාෂයේ ඇතුළත සිවිය බඳු සෛල ගර්භාෂයෙන් පිටතත් පිහිටීම එන්ඩොමෙට්‍රියෝසිස් රෝගය යි. මේ රෝගය පවතින අයට ඔසප් වීමට දින දෙක තුනකට පෙර සිට ඔසප් අවසන් වී දින දෙක තුනක් පමණ යන තුරු අධික යටි බඩේ වේදනාවක් හට ගන්නට පුළුවන. ඇතැම් විට ශල්‍යකර්ම ද කරන්නට සිදුවේ. මෙය බිය විය යුතු රෝග තත්ත්වයක් නොවේ.
ඩිම්බානුහරණය
ඔසප් සිදුවී දින 14 ක් පමණ වන විට කාන්තාවකගේ ඩිම්බානුහරණය සිදුවේ. ඒ අවස්ථාවේ සමහර කාන්තාවන්ට ඉතා ම සුළු රුධිර පිටවීමක් සමග හෝ නැතිව යටිබඩේ පැත්තක වේදනාව ඇතිවිය හැකිය.
ඩිම්බ කෝෂයේ ගෙඩි
සිස්ට් (cyst ) නමින් හඳුන්වන මේ කුඩා ගෙඩි තිබෙන විට ඩිම්බානුහරණය සිදු නොවේ. නමුත් ඔසප් සිදුවන කාලය තුළදීත්, ඊට පෙර සහ පසුවත් වරින් වර හෝ දිගින් දිගටම වුවද යටි බඩේ වේදනාව හට ගැනීමට පුළුවන.
බඩවැල්වල ඇලීම් හෝ බැඳීම් නිසා ඇති වන යටි බඩේ වේදනාව
ගර්භාෂයේ හෝ ඊට සම්බන්ධ නාලවල ශල්‍යකර්ම කළ පසු කලක් යන විට යටි බඩේ වේදනාව හට ගැනීමට පුළුවන. ඊට හේතුව බඩවැල් සහ ඒ ප්‍රදේශවල පිහිටි ඇලීම් සහ බැඳීම් වැනි තත්ත්වයන් ය. නමුත් මෙය මෙවැනි ශල්‍යකර්ම කළ සෑම දෙනෙකුටම ඇති වන තත්වයක් ද නොවේ. මෙම හේතුව නිසා හටගන්නා යටිබඩේ වේදනාව දිගටම පවතින අතර ඔසප් දින වලදී අධික වේදනාවක් දැනේ.
ආසාදන
පැලෝපීය නාල, ගැබ්ගෙල, ගර්භාෂය වැනි ස්ථානවල විවිධ හේතූන් මත විෂබීජ තැන්පත් විය හැකිය. මෙසේ තැන්පත් වීමට බලපාන හේතු අතර ලිංගාශ්‍රිත රෝග, ගබ්සාවන් සිදු කර ගැනීම වැනි දෑ දැක්වීමට පුළුවන. මේ හේතු නිසා ආසාදන ඇති වූ කල එම යටි බඩේ වේදනාව ඔසප්
දිනවලට මෙන්ම ඊට පසුවත් නිතර නිතර ම පැවතිය හැකිය.
මුත්‍රාශයේ ආසාදන
යටි බඩේ වේදනාව නිතර පවතින්නේ නම් එය මුත්‍රාශයේ ආසාදනයක් වීමටත් පුළුවන. එහිදී යටි බඩේ වේදනාව සමග මුත්‍රා කරන විට දැවිල්ලක් ඇතිවිය හැකිය.
අස්ථි පංජරයේවේදනා
කොඳු ඇට පෙළ පහළ කෙළවරේ වේදනාවක් හට ගත් විට එය තුනටියේ සිට යටිබඩ දක්වාම පැතිරෙනු ඇත. මේ අවස්ථාවේදී වැඩිපුරම තුනටියේ සහ යටි බඩේ කැක්කුම ඇති වන්නේ ඇවිදින විට ය. මෙයද ඔසප් වීම හා සම්බන්ධ වරින්වර ඇතිවන වේදනාවකි.
පිළිකා
ගැබ්ගෙල, ඩිම්බ කෝෂ, ගර්භාෂය වැනි ස්ථානවල පිළිකා හට ගැනීම නිසාද යටි බඩේ වේදනාව ඇති වේ. මෙහිදී යටි බඩේ වේදනාව එන්නට පෙර මාස් ශුද්ධිය අක්‍රමවත් වීම, ලිංගික සබඳතා පැවැත්වීමේදී රුධිරය පිටවීම වැනි ලක්ෂණ ඇතිවිය හැකිය. ඉන්පසු දිගින් දිගටම යටි යටිබඩේ සහ කොන්දේ කැක්කුම හට ගැනීමට පුළුවන.
මේ සඳහන් කළේ කාන්තාවන් අතර යටි බඩේ කැක්කුම හට ගැනීමට බලපාන සුලබ හේතූන් කිහිපයකි.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජී. රාජපක්ෂ
ඉන්දු පෙරේරා