හර්නියා අපට ඉතා හුරු පුරුදු රෝගයකි. සිරුරේ ඕනෑම ස්ථානයක හර්නියා හටගත හැකි මුත්, ජනවහරට අනුව වැඩිපුරම හර්නියා ලෙස හඳුන්වන්නේ උදරයේ හැදෙන හර්නියා වර්ගයන්ය. එනිසා අප මේ කතා කරන්නේ එම හර්නියා වර්ගයන් පිළිබඳවයි.
උදර බිත්තියේ තිබෙන අවයවයක් උදර බිත්තියේ දුර්වල තැනකින් ඉදිරියට නෙරා ඒම හර්නියාවකි. උපන් අලුත දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා ම, ස්ත්‍රී පුරුෂ භේදයක් නැතිවම විවිධ අන්දමේ හර්නියා හට ගනී.
මැද වයසේ පසුවන තරබාරු කාන්තාවන් තුළ, විශේෂයෙන් දරුවන් බිහිකළ කාන්තාවන්ගේ නාභිය අවට ප්‍රදේශයේ හර්නියා හට ගත හැකිය. මේ බහුලවම දැකගත හැකි හර්නියා විශේෂයකි. මෙය හඳුන්වන්නේ paraumbilical යනුවෙනි.
මෙම හර්නියා වර්ගය තරබාරු කාන්තාවන්ට බහුලව වැළඳිය හැකි මුත්, තරබාරු නොවන කාන්තාවන්ට ද හට ගත හැකිය. නාභියට ඉහළින් හෝ පහළින් මෙය හටගනී. බොහෝවිටම දැකිය හැක්කේ නාභියට පහළිනි . දෙහි ගෙඩියක තරමේ ගැටිත්තක් වන මෙය සිටගෙන සිටින විට සහ කහින විට මතු වී හාන්සි වී සිටින විට ගෙඩිය යට යයි. මුල් අවස්ථාවේදී රෝගියාට වුවත් ඇඟිල්ලෙන් ඇතුළට තල්ලු කළ හැකිය. නමුත් වර්ධනය වූ පසු එසේ තල්ලු කළ විට ඇතුළට යන්නේ නැත.මෙහි ඇතුළත පිරී ඇත්තේ වපාව ( omentum) නම් බඩවැලට සම්බන්ධ වූ තෙල් වලින් සෑදුනු ආවරණයකි.
මෙය ඇතුලට තල්ලු කිරීමට නොහැකි අවස්ථාව මෙහි දෙවන අවස්ථාව වේ. එම අවස්ථාවේ දී ශල්‍යකර්මයක් නොකළොත් තෙවැනි අවස්ථාව කරා යනු ඇත.
එහිදී ඊට රුධිර සැපයුම අඩාල වීම මත වමනය සහ අධික වේදනාව හට ගනී. එවිට ඉක්මනින්ම ශල්‍යකර්මයක් කළ යුතුය. සාමාන්‍යයෙන් මෙවැනි හර්නියාවක් ඇඟිල්ලෙන් ඇතුළට තල්ලු කළ හැකි මුල් කාලයේදීම රෝගියා ශල්‍යකර්මයකට සූදානම් කිරීම වැදගත් ය. සිරුරේ බර අඩුකර ගැනීම, උදර බිත්තියේ මාංශපේෂි ශක්තිමත් කරන ව්‍යායාම කිරීම ආදිය මේ කාලයේදී කළ යුතු වෙයි. එවැනි ශල්‍යකර්මයක් කළ කාන්තාවකට ඉන්පසු නැවත ගැබ් ගැනීමක් සිදු වුණොත් උදර බිත්තියේ ඇදීම සහ උදර අභ්‍යන්තරයේ පීඩනය වැඩිවීම නිසා නැවත හර්නියාවක් හට ගැනීමේ අවදානමක් තිබේ.
එනිසා හර්නියාවට සැත්කමක් කළ කාන්තාවක් යළි ගැබ් නොගැනීම වඩාත් සුදුසු වේ.
මෙබඳු හර්නියා පිරිමින්ටත්, තරුණ වයසේ අය තුළත් හටගත හැකිය. නමුත් බහුලව හටගන්නේ ඉහත කී කාන්තාවන් අතරේ ය.
ශල්‍යකර්මයකින් පසු උදරයේ මාංශ පේශීන් දුර්වල වූ විට ද හර්නියා මතුවීමට පුළුවන. Incisional hernia නමින් හඳුන්වන මෙම හර්නියා විශේෂය ගර්භාෂය ඉවත් කිරීම, සිසේරියන් සැත්කම, එල්. ආර්. ටී. සැත්කම වැනි සැත්කමක් සිදු කර ගත් පසු, බොහෝවිට වයස අවුරුදු හතලිහ ඉක්මවීමෙන් අනතුරුව කාන්තාවන්ට හට ගැනීමේ අවදානමක් පවතී.
තරුණ වයසේ පිරිමින්ට වුවද සැත්කමකින් පසු මේ වර්ගයේ හර්නියා හට හටගැනීමට අවකාශ තිබේ. උදර මාංශ පේශි දුර්වල තැනින් ඉදිරියට නෙරා එන මේ හර්නියාව තුළ මහා අන්ත්‍රය, කුඩා අන්ත්‍රය, මුත්‍රාශය, කාන්තාවන්ගේ නම් මීට අමතරව ඩිම්බ කෝෂය ආදී වූ ඕනෑම අවයවයක් පැවතිය හැකිය. මේ හර්නියාව මුලදී අතින් ඇතුළට තල්ලු කිරීමට පුළුවන. හාන්සි වී සිටින විට මුල් කාලයේදී මේ හර්නියාව ද ඉබේම ඇතුළට යයි. මේ කාලය තුළ සැත්කමක් කිරීම වැදගත් ය. නැතිනම් බඩවැල් අවහිර වීම සිදු විය හැකි අතර එවිට උදර වේදනාව, බඩ පුරවා දැමීම, වමනය ආදිය හටගෙන හදිසි සැත්කමක් කිරීමට සිදු වෙයි. නැතිනම් බඩවැල් අවහිර වීම හේතුවෙන් ජීවිතය අවදානම් තත්ත්වයට පත්විය හැකිය.
වයස්ගත කාන්තාවන්ට ඉකිළිය ප්‍රදේශයේ හට ගන්නා ඉතා කුඩා හර්නියා විශේෂයක් ද තිබේ. Semoral නමින් හඳුන්වන මෙම හර්නියාව කොපමණ කුඩා දැයි කිවහොත් බොහෝ දෙනෙකු තමන්ට හර්නියාවක් ඇති බවවත් දැන ගන්නේ නැත. පසුව හර්නියාව නිසා බඩවැල් අවහිර වීම සිදු වන විට උදර වේදනාව, බඩ පුරවා දැමීම, වමනය ආදී ඉහත කී රෝග ලක්ෂණ හට ගැනීම තුළින් රෝගියා රෝහල්ගත කළ පසු වෛද්‍යවරයාට මෙම හර්නියාව හඳුනා ගැනීමට ලැබේ. මෙහිදී ද හදිසි සැත්කමක් කළ යුතුය. සිහින් කාන්තාවකගේ නම් මෙලෙස කුඩා ගැටිත්තක් හට ගත් පසු විය එය පිටතට දිස් වේ. කහින විට, සිටගෙන සිටින විට ගැටිත්ත ලොකු වෙයි. හාන්සි වූ විට නොපෙනී යයි.
මේ කතා කළේ කාන්තාවන් තුළ බහුලව දැකිය හැකි පිටතට දිස් වන වන හර්නියා පිළිබඳව ය. පිරිමින්ගෙන් සහ කුඩා දරුවන්ගේ ද හර්නියා හට ගනී. විශේෂත්වය නම් මේ කුමන හර්නියාවකට වුවත් ඖෂධ ප්‍රතිකාර නොමැති වීම ය. මේවා සැත්කමක් මගින් ඉවත් කළ යුතුය .
විශේෂඥ ශල්‍ය වෛද්‍ය සුධීර හේරත්
ඉන්දු පෙරේරා