කාන්තා සම ලිංගිකතා,පුරුෂ සමලිංගිකතා,ද්වි ලිංගිකතා,ලිංග පරිවර්තිත ප්‍රජාව වෙත ඉන්දියාවෙන් මානුෂික බැල්මක්

ඉන්දියාවේ නිෂ්පාදනය වන “සම්භාව්‍ය” මට්ටමේ චිත්‍රපට සඳහා ඉන්දියානු චිත්‍රපට සහතික කිරීමේ මධ්‍යම මණ්ඩලය විසින් ලබා දෙන්නේ A ශ්‍රේණියේ සහතිකයකි. 2021 වසර තුළ මෙලෙස A ශ්‍රේණියේ සහතික ලබා ගත් ඉන්දියානු චිත්‍රපට ගණන අතලොස්සකි.

ඒ අතරින් කතාබහට ලක් වූ චිත්‍රපටයක් ලෙස Khatra:Dangerous නම් වූ චිත්‍රපටය හඳුන්වා දිය හැකිය. රාම් ගෝපාල් වර්මා විසින් නිර්මාණය කරන ලද මෙම චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ එය ඉන්දියානු ඉතිහාසයේ කාන්තා සමලිංගිකත්වය පිළිබඳ නිර්මාණය වූ පළමු චිත්‍රපටය වීම ය.

ඉන්දියානු චිත්‍රපට සහතික කිරීමේ මධ්‍යම මණ්ඩලය විසින් මේ සඳහා සම්භාව්‍ය සිනමා නිර්මාණ සහතිකය නිකුත් කරනු ලැබුව ද චිත්‍රපට ප්‍රදර්ශන අනු කමිටුව විසින් Khatra:Dangerous චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම තහනම් කරමින් වාරණ නියෝගයක් පනවනු ලැබිණි.

ඒ පසුගිය දෙසැම්බර් මාසයේ දී ය. නමුත් එහි නිර්මාණකරුවන්ගේ අප්‍රතිහත කැපවීම මත වාරණ නියෝගයට අභියෝග කරමින් ලබාගත් තීන්දුවක් මත එය ප්‍රදර්ශනය සඳහා පසුව අවසර ලබා ගන්නා ලදී.

වසංගත රෝගයක් පැතිර යන අවස්ථාවක වුව ද මාස දෙකකටත් අඩු කාලයක් තුළ මෙකී චිත්‍රපටය ආදායම් වාර්තා බිඳ හෙළමින් ඉලක්ක ආදායම අභිබවා යන්නට පවා සමත් වී තිබිණි.

සාම්ප්‍රදායික මතභේද, කුල භේද සහ සංස්කෘතිකාංග ආදිය ඉතා උසස් කොට සළකන ඉන්දියානු සමාජය මෙවැනි මාතෘකා පිළිබඳව එළිපිට කතා කරන්නට පටන් ගැනීම පුදුමය දනවන කාරණයකි.

එපමණක් ද නොව මේ වනවිට ඉන්දියානු සමාජය තුළ කාන්තා සම ලිංගිකතා,පුරුෂ සමලිංගිකතා,ද්වි ලිංගිකතා,ලිංග පරිවර්තිත LGBT (Lesbian,Gay,Bisexual,Transgender) සමාජ ප්‍රජාව වෙත ඇති ආකල්ප ද ක්‍රමයෙන් වෙනස් වෙන්නට පටන් ගෙන තිබේ.

මීට දශකයකට පෙර සමාජයෙන් කොන් වූ, ගැරහීමට ලක් වූ සහ ප්‍රසිද්ධියේ තමන් LGBT සමාජයට අයත් පුද්ගලයෙකු ලෙස ප්‍රකාශ කිරීමට මැලිකමක් දැක් වූ ඔවුන් වර්තමානය වනවිට කිසිදු අපහසුතාවකින් හෝ ගැටළුවකින් තොරව සාමාන්‍ය පුද්ගලයින් මෙන් සමාජය තුළ තම කාර්යයන්වල නියැලීමට පටන් ගෙන තිබේ. එයට හේතු වූ ප්‍රධාන කාරණයක් ද තිබේ.

2018 වසරේ සැප්තැම්බර් 6 වන දිනය ඉන්දියානු LGBT ප්‍රජාවට සාමාන්‍ය දිනයක් නොවුණි. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සමලිංගිකත්වය තවදුරටත් සාපරාධී වරදක් නොවන බවට ප්‍රකාශ කරමින් වගන්ති අංක 377 යටතේ පනතක් සම්මත කරන ලද්දේ එදා ය.

ඉන් අනතුරුව LGBT ප්‍රජාවට අයත් පුද්ගලයෙකුට උසුළු විසුළු කිරීම, නින්දා කිරීම, අපහාසයට ලක් කිරීම හෝ ඔවුන් නොසලකා හැරීම ආදී කාරණා දඬුවම් ලැබිය හැකි වැරදි ලෙස ද නම් කරනු ලැබිණි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඉන්දු මල්හෝත්‍රා විසින් පිටු 50 කින් යුතු සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ “ඉතිහාසය මෙම ප්‍රජාවේ සාමාජිකයින්ගෙන් සහ ඔවුන්ගේ පවුල්වලින්, සහන සැලසීම ප්‍රමාද වීම ගැන සමාව අයැද සිටිය යුතුයි”යනුවෙනි.

විනිසුරුවරිය මෙලෙස ප්‍රකාශ කරනු ලැබීමෙන් මෙම සමස්ත තීන්දුවේ වැදගත්කම කොතෙක් ද යන්න අනුමාන කළ හැකිය.

සමලිංගිකත්වය සාපරාධී වරදක් බවට පත් කරනු ලැබ තිබූ වසර 200 ක් පැරණි බ්‍රිතාන්‍ය නීතියට එරෙහිව මෙම පනත සම්මත වීමත් සමග අධික සතුටට පත් වූ LGBT ප්‍රජාව එදින ඉන්දියාව පුරා මංමාවත්වලට පැමිණ තම ජයග්‍රහණය සහ අයිතීන් භුක්ති විඳිමින් ප්‍රීතිඝෝෂා පවා පවත්වන ලදී.

තවදුරටත් ඔවුන් දෙස පිටසක්වල ජීවීන් දෙස බලන්නාක් මෙන් නොබලන ලෙසත්, තම අයිතීන් සුරක්ෂිත කිරීමට සහාය දෙන ලෙසත් ඔවුන් සාමාන්‍ය ප්‍රජාවගෙන් ඉල්ලා සිටියහ.

මෙකී 377 වන වගන්තිය සියළු වර්ගවල ප්‍රජනක නොවන ලිංගික සබඳතා අපරාධයක් ලෙස සළකනු ලැබුවේ බ්‍රිතාන්‍ය යටත් විජිත රජය විසින් ඉන්දියාවට නිදහස ලබාදීමට පෙර යුගයේ දී ය.

මෙම ඒකාධිපති නීතිය සමලිංගිකයන්ට එරෙහිව පමණක් නොව විෂම ලිංගික එකමුතුවේ දී පවා සාම්ප්‍රදායික නොවන ලිංගික සබඳතා සියල්ල දෙදෙනාගේ කැමැත්ත මත සිදු වුව ද ඒවා සාපරාධී වැරදි බවට පත් කරනු ලැබ තිබිණි.

මෙය ඉන්දියාව වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටක කිසිසේත්ම ඉඩක් නොතිබූ ඔතඩොක්ස් වික්ටෝරියානු සදාචාරයේ ශේෂයක් මිස අන් කිසිවක් නොවන අතර මේ වන විට ඉන්දියාව නූතනවාදී ප්‍රවේශයකින් මෙම සමාජ තලය දෙස බැලීම සමස්ත මානව හිමිකම් යාන්ත්‍රණය තව දුරටත් ව්‍යාප්ත කරවන්නකි..

දුලංජලී මුතුවාඩිගේ

එතෙර - මෙතෙර