කාලයේ තාලයට අපිත් ‘චැරිටි ෂොප්’ පටන් ගනිමුද?

කවුරුන් හෝ කෙනෙක් ඔහු හෝ ඇය අඳින ලද ඇඳුමක් ඔබට දෙන්නදැයි ඇසුවහොත් ඔබේ ප්‍රතිචාරය කුමක් විය හැකිද? “මම මොකටද කවුරුවත් ඇඳපු ඇඳුම් අඳින්නේ?” වැනි දෙයක් ඔබට සිතෙන්නට පුළුවන. පවතින ආර්ථික තත්ත්වය මත එවැනි දෙයක් පිළිබඳ කැමැත්තක් ඇතිවුව ද, තවත් කෙනෙකු පාවිච්චි කළ ඇඳුමක් ඇඳීම ඔබේ ආත්මාභිමානයට කැළලක් වේ යැයි සිතා ඔබට එය ප්‍රතික්ෂේප කරනු නිසැකය. නමුත් ඇමරිකාව, යුරෝපයේ ඇතැම් රටවල්, විශේෂයෙන් එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව වැනි දියුණු රටවල ජනතාව මේ පිළිබඳ දරන්නේ අප සිතනවාට වෙනස් ආකල්පයකි. ඒ රටවල ජනතාව කලින් අඳින ලද ඇඳුම් සොයා මිලට ගන්නට දෙවරක් සිතන්නේ නැත. එවැනි ඇඳුම් අළෙවි කිරීම සඳහා වෙනමම ස්ථාන පවා තිබේ. මේවා හඳුන්වනු ලබන්නේ ‘චැරිටි ෂොප්’ (Charity Shop), ‘ත්‍රිෆ්ට් ෂොප්’ (Thrift Shop) හෝ ‘ඔපොචුනිටි ෂොප්’ (Opportunity Shop) වැනි නමකිනි.

චැරිටි ෂොප් කියන්නේ මොනවාද? යන්න පිළිබඳව අපි දැන් විමසා බලමු

අප වැනි අඩු ආදායම් ලබන රටවල ඇඳුම් ‘පට්ට ගසමින්’ ඇන්දත්, දියුණු රටවල මිනිස්සු එසේ නොවෙති. ඔවුන් බොහෝ විට ඇඳුම් අඳින්නට නොහැකි මට්ටමට එන තෙක් ඒවා පාවිච්චි කරන්නේ නැත. තවත් සෑහෙන කාලයක් ඇඳිය හැකිව තිබිය දී ඔවුහු මේවා බැහැර කොට අලුත් ඇඳුම් මිලට ගනිති. ඒ ඔවුන්ගේ ආදායමේ හැටියට නිතර අලුත් ඇඳුම් මිලට ගැනීමේ ගැටලුවක් නොමැති නිසාය. පාවිච්චියෙන් පසු ඔවුන් මේ ඇඳුම් කිසිවකුට දෙන්නේ නැත. කෙලින්ම දමන්නේ කුණු බක්කියටය. මේවා වැඩි වශයෙන් භාවිතයට ගැනුණේ ඉඩම් පිරවීම සඳහා ය. කාලයක් ගත වෙද්දී මෙසේ ඉවත දමන ඇඳුම් ඉඩම් පිරවීමට ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස බොහෝ පාරිසරික ගැටලු ඇතිවන්නට විය. විවිධ සමාජ සුබසාධන මේ අවස්ථාවේ දී ඉදිරිපත් වී ඉල්ලා සිටියේ මෙසේ ඉවත දමන ඇඳුම් ඇත්නම් තමාට භාර දෙන ලෙස ය. ඔවුන් කළේ මේවා හැකි තාක් අඩු මිලට අළෙවි කරන්නට පටන් ගැනීිම ය. ඔවුහු එයින් ලැබෙන ආදායම සිය ආයතනයේ වියදම් පියවා ගැනීමට යොදා ගත්හ. මේ නිසා සිදුවෙමින් පැවති පාරිසරික හානිය අවම කරගන්නටත්, තවත් කලක් පාවිච්චියට ගත හැකි ඇඳුම් තවත් කෙනෙකුගේ ප්‍රයෝජනය පිණිස ලබා දෙන්නටත් අවස්ථාවක් උදා විය.

චැරිටි ෂොප්වලින්  ඇඳුම් මිලට ගැනීමට ජනතාවගේ ඇති කැමැත්තේ ද අඩුවක් නැත.

මේ රටවල බහුතර ජනතාවට අලුතින් ඇඳුම් මිලට ගැනීමේ ගැටලුවක් නැති තරමට ආර්ථිකය යහපත් මට්ටමක පැවතියත්, කලින් පාවිච්චි කළ ඇඳුම් මිලට ගන්නට ද ඉතා ඉහළ නැඹුරුවක් පවතින බව සඳහන් කළ යුතුය. ඒ රටවල බොහෝ දෙනෙක් මේ වන විට යල් පැන ගිය, නමුත් කලක් ජනප්‍රියව තිබූ ඇඳුම් මෝස්තරවලට දැඩි ඇල්මක් දක්වයි. නමුත් එවැනි පැරණි විලාසිතා නැවත අලුතින් වෙළෙඳ පොළට පැමිණෙන්නේ නැත. එබැවින් එවැනි ඇඳුම් මිලට ගන්නට හැකි එකම ස්ථානය වන්නේ මෙවැනි චැරිටි ෂොප් ය. එමෙන්ම කෙතරම් දියුණු රටවල් වුවත්, අපේ රටට සාපේක්ෂව ඉහළ ආදායම් ලබන, එම රටට සාපේක්ෂව අඩු ආදායම් ලබන්නවුන් ද ඕනෑ තරම් දක්නට ලැබේ. ඇමරිකාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව ආදී රටවල එවැනි අඩු ආදායම්ලාබීහු ඕනෑ තරම් සිටිති. විශේෂයෙන් දියුණු රටවලට වෙනත් රටවලින් රැකියාවට පැමිණ සිටිනවුන්ට එම රටවල මිලට ඇඳුම් මිලට ගැනීම දරා ගැනීමට නොහැකි දෙයකි. එබැවින් එවැනි ප්‍රජාවන් අතර ද මෙවැනි චැරිටි ෂොප් ඉතා ජනප්‍රිය වේ.

චැරිටි ෂොප්වලින් වඩාත් හොඳ ඇඳුම් තෝරා ගැනීම සම්බන්ධයෙන් ක්‍රමවේදයන් ද සකසා ඇති අතර මේ පිළිබඳ උපදෙස් සපයන වෙබ් අඩවි මෙන්ම යූටියුබ් වීඩියෝ ද බොහෝ දක්නට ලැබේ.

සාමාන්‍ය ජනතාව පමණක් නොව ඇඳුම් සාප්පු, ඇඟලුම් කම්හල් පවා තමාගේ පැරණි විලාසිතාවේ ඇඳුම් මේ චැරිටි ෂොප්වලට පරිත්‍යාග කිරීම හෝ ඉතාමත් අඩු මිලකට අළෙවි කිරීම හෝ දක්නට ලැබෙන්නකි. ඊට අමතරව පාවිච්චි කළ ඇඳුම් කුණු බක්කියට දමනවා වෙනුවට චැරිටි ෂොප්වලට පරිත්‍යාග කිරීම දිරිමත් කිරීම සඳහා මේ රටවල විවිධ වැඩසටහන් ද ක්‍රියාත්මක වේ.

අද වන විට ඇඳුම් පමණක් නොව වෙනත් බොහෝ දේවල්, එනම් කලින් පාවිච්චියට ගත් විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ ඇතූළු තවත් බොහෝ දෑ මෙවැනි චැරිටි ෂොප්වල අළෙවියට තබා තිබේ. අද අප රටේ පවතින ආර්ථික අර්බුද හමුවේ අපට ද මේ චැරිටි ෂොප් සංකල්පය අනුගමනය කිරීමෙහි වරදක් නැත. ආරම්භයේ දී මිනිසුන් මේ පිළිබඳ දක්වන උනන්දුවේ මැලිකමක් පෙන්විය හැකි නමුත් වැඩි දිනක් ගතවන්නට මත්තෙන් මේ ක්‍රමය මිනිසුන් අතර ප්‍රචලිත වනු නිසැකය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර