කාලයේ තාලයට බුදු බණටත් තාලයක්

නවීන සමාජය විවිධාංගීකරණ ලක්ෂණ වලින් යුතු ය.ඒ විවිධාංගීකරණයන් බොහෝ විට සතුට,සංතෘප්තිය, විනෝදය ආස්වාදය අරමුණු කර ගත් ඒවා බව ද පෙනෙයි. බොහෝ විට මෙම විවිධාංගීකරණයයන් ඇති කිරීම,මෙහෙයවීම හා නියාමනය කිරීම ජන මාධ්‍ය මඟින් සිදු වෙයි.ඒ තත්වය තුළ අප රටේ බෞද්ධ ධර්ම දේශනා රටාවේ ද මෙම ජනකාන්ත ලක්ෂණ දක්නා ලැබේ.

අද බොහෝ රූපවාහිනී නාලිකා මඟින් මෙන්ම සීඩී ආදී විද්‍යුත් ක්‍රම ඔස්සේ ද භික්ෂූන් වහන්සේලා ගී,සින්දු හා කවි තාල අනුව කරන ධර්ම දේශනා ජනතාව අතරට පත් කෙරෙමින් තිබේ.” ඒ හාමුදුරුවරුන්ට ලස්සනට කවි කියන්න පුළුවන් නම් පුංචි චාන්ස් එකක් දුන්නම මොකද?”යනුවෙන් එක් තරුණ රූපවාහිනී නාලිකා ප්‍රධානියකු ඒ පිළිබඳව විමසා සිටි අප නායක ස්වාමීන් වහන්සේ නමකට පවසා තිබිණ.ඒ අනුව ඔහු දැනුවත් කිරීමට වඩා මෙරට පොදු සමාජය දැනුවත් කිරීම යෝග්‍ය යැයි අපට සිතෙයි.

බෞද්ධ විනය පිටකයට අනුව ධර්මය තාලානුරූපව ගායනා කිරීමේ ආදීනව කීපයක් පෙන්වා දුන් බුදුන් වහන්සේ එය දුක්කටාපත්ති නම් විනයානුකූල වරදක් බව ද අවධාරණය කොට තිබේ. (භික්ඛවේ ආයතනෙන ගීතස්සරෙන ධම්මො ගායිතබ්බො යො ගාය්‍යයෙ ආපත්ති දුක්කටස්ස) ඒ තමා එහි ඇලීම, අනුන් ද එහි ඇලවීම,ගිහියෝ භික්ෂූන් ගී ගයතැයි පහත් කොට සිනාසීම. ස්වර නිර්මාණය විෂයෙහි සිත යොමු වන භික්ෂුවගේ සමාධිය බිඳ වැටීම. පශ්චිම ජනතාව අගතියට පත්වීම යන කරුණු නිසා බව බෞද්ධ විනය ග්‍රන්ථ වල සඳහන් ය.

එම කරුණු අනුව බුදු දහම සෞන්දර්ය විරෝධී ශාස්තෘ දේශනාවකැ‍යි සමහරෙක් කියති.එහෙත්,එහි ද සත්‍යයක් නැත.දීඝ නිකායේ සක්‌කපඤ්‌හ සූත්‍රයට අනුව නම් දිව්‍යමය වාදන ශිල්පියාගේ වීණා වාදනයක් මුල් කොට බුදුන් වහන්සේ විචාරයක් පවා ඉදිරිපත් කොට තිබේ.‘සංසන්දති ඛෝ තේ පඤ්චසිඛ තන්තිස්සරෝ ගීතස්සරේන ගීතස්සරෝ ච තන්තිස්සරේන. න ච පන තේ පඤ්චසිඛ තන්තිස්සරෝ ගීතස්සරං අතිවත්තති. ගීතස්සරෝ ච තන්තිස්සරං. [“පඤ්චසිඛයෙනි, ඔබගේ වීණාවෙහි තත්සර ගී හඬ හා ගැළපෙන සේම ගී හඬ ද තත්සර හා ගැළපෙයි. පඤ්චසිඛයෙනි, ඔබගේ වීණාවේ තත්සර ගී හඬ ඉක්ම නොයයි. ගී හඬ ද තත්සර ඉක්ම නොයයි]ඉන් පැහැදිලි වන්නේ උන් වහන්සේ තුළ කලාව සෞන්දර්ය පිළිබඳ පවා මනා අවබෝධයක් තිබූ බවකි.එහෙත්,ගිහි සමාජයට භාවිතා කිරීමට ඉඩ ලබා දුන් ලෞකිකත්වය පදනම් වූ ගායන වාදන කටයුතු වලින් භික්ෂුන් වෙන් කොට තැබීමට උන් වහන්සේ කටයුතු කරන ලද බවක් බෞද්ධ විනය පිටකයෙන් තහවුරු වෙයි.

බණ යන වදන සිංහල භාෂාවේ බහුලවම යෙදෙන්නකි. කතා කිරීම යන අදහස පළ කෙරෙන “බිණීම’ යන්නෙහි ධාතුව වශයෙන් ද සිංහල වියරණයෙහි දැක්වෙනුයේ ‘බණ’ යන්න ය.එනිසාම සිංහල භාෂාවේ අවවහරක් ලෙස ද මෙය යොදා ගැනෙයි. ඒ බව අරුත් සුන් දේ පැවසීම ‘බණ කතා කිරීම’ ලෙසින් ව්‍යවාහාරයට පැමිණීමෙන් පෙනේ. නමුත් බෞද්ධ සූත්‍ර පිටකයෙහි ධර්ම දේශනා කිරීම හැඟවීම පිණිස එහි පාලි වදන වන ‘භාණ’යන්නට විශේෂ තැනක් ලබා දී ඇති බවක් නොපෙනේ. නමුදු දේශීය බෞද්ධ සංස්කෘතියේ බණ සහ පිරිත් දේශනා කරන හිමිවරුන් හැඳින්වීම පිණිස ධර්ම භාණක, පරිත්ත භාණක ආදී වදන් යොදා තිබේ.

බෞද්ධ ධර්ම දේශනා ක්‍රමයෙහි නිර්මාතෘ වරයා බුදුන් වහන්සේ වුව ද ධර්ම දේශනා කිරීම සඳහා විශේෂ සම්මත ආකෘතියක් හඳුන්වා දීමට උන්වහන්සේ කටයුතු කළ බවක් නොපෙනෙයි. එය දේශනා කරනු ලබන අරමුණ, පුද්ගලයන්, කාලය, දේශය ආදී සාධක මත විවිධාංගීකරණයට ලක්ව තිබෙන අයුරක් පෙනී යයි. බෞද්ධ සූත්‍ර පිටකයේ එන ඇතැම් සූත්‍ර ඉතා දීර්ඝ වන අතර සමහරක් මධ්‍යම ප්‍රමාණයෙන් යුතු අතර ඉතා කෙටි සූත්‍ර දේශනා ද සූත්‍ර පිටකයේ තිබේ. ඒවා තමන් වහන්සේ ගේ අභිමතය පරිදි, අන්‍යයන් ගේ අදහස් පරිදි, තැනට සුදුසු ලෙස සහ පැනයකට පිළිතුරක් වශයෙන් සිව් වැදෑරුම් වූ බව ද බෞද්ධ සාහිත්‍යයේ සඳහන් ය. ඒ අනුව ඒවා දේශනා කිරීම සඳහා ගත වූ කාලය ද එකි’නෙකට වෙනස් වූ බව නොරහසකි.

නමුදු දේශීය බෞද්ධ සංස්කෘතිය තුළ එදා මෙදා තුර පැවති බව පැවසෙන විශේෂ ධර්ම දේශනා ක්‍රම රාශියක් හඳුනාගත හැක. ඒ අතුරින් අරියවංශ සූත්‍ර දේශනාව මුළු රැයක් පහන් වන තුරු පැවැති බවට ඓතිහාසික සාක්ෂි තිබේ. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයට අයත් අරියවංශ සූත්‍රය ඇසුරින් දේශනා කරනු ලබන මෙම ධර්ම දේශනාව ඇසීම කෙරෙහි දුටුගැමුණු රජුගේ සොයුරු සද්ධාතිස්ස රජු (ක්‍රි.පූ. 137 – 119) කෙතරම් උනන්දු වී ද යත් එම දම් සභා මණ්ඩපයට පමා වී පැමිණි රජ තුමා ජන අවධානය තමන් වෙත යොමු වීමෙන් ධර්ම දේශනාවට බාධා විය හැකි බැවින් රැය පහන් වන තුරු දම් සභා මණ්ඩපයේ පිටුපසට වී සිටගෙන දහම් ඇසූ පුවත අප බෞද්ධ ජන සමාජයේ අතිශය ජනප්‍රිය වූවකි.

ඒ කෙසේ හෝ කෘෂිකර්මය මුල්කොට ගත් අතීත සරල ගැමි සමාජයේ ජනතාව ධර්ම දේශනා කෙරෙහි නැඹුරු කරගැනීම පිණිස විවිධ උපාය මාර්ග යෙදීමට එවක භික්ෂුන් හට සිදු වූ බව පෙනේ. ඒ බව බෞද්ධ සාහිත්‍යයේ එන ඇතැම් කොටසක් රසවත් කතාන්දර ලෙසින් එළි දැක්වීමට අතීත බෞද්ධ ගත් කරුවන් විසින් ගන්නා ලද උත්සාහයන් ගෙන් අතිශයින් පැහැදිලි වෙයි. එමෙන්ම දහවල පුරා වෙහෙස මහන්සි වන ජනතාව රාත්‍රිය පහන් වන තුරු විහාරයේ රැඳී සිටිය යුතු වූයේ ධර්ම ශ්‍රවණය කිරීම පිණිස පැමිණෙන ඔවුනට අද මෙන් මාර්ග සහ ප්‍රවාහන පහසුව නොතිබීම හා රාත්‍රී කාලයේ ගමන් බිමන් යාමේ පුරුදු ද එකල නොවූ නිසා ය.

ඒ අනුව වර්තමානයට සාපේක්‍ෂව අතීත ජන සමාජයේ පැතිර තිබූ සොර සතුරු, වන සත්ව සහ අමනුෂ්‍ය ආදී බිය ජනක තත්වයන් නිසා රාත්‍රී කාලයන් මුළුල්ලේ විහාරස්ථානවල බණ මඩු තුළටම කොටු වී සිටි ගැමියන් ආකර්ශනය කරගැනීමේ වගකීම එවක භික්ෂු සමාජය සතුවිය. දඹදෙණි යුගයේ සද්ධර්මරතනාවලිය, පූජාවලිය ආදී කෘතීන් සේම කුරුණෑගල යුගයේ පන්සිය පනස් ජාතකය සිංහලට නැංවෙන ලද්දේ මෙම ජනතා අවශ්‍යතා සපුරා ලනු පිණිස බව පැහැදිලි ය. ඒවා එකල ධර්ම දේශනා වලදී බහුලව යොදා ගැනිණ.

එමෙන්ම කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ (ක්‍රි.ව. 1751 – 1782) වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන් එවක පිරිහී තිබූ බුද්ධ ශාසනය ප්‍රතිස්ථාපනය කිරීමට පෙර භික්ෂුන් ගේ කාර්ය භාරය ඉටු කළ ගණින්නාන්සේ නම් බෞද්ධ ගිහි පූජක වරුන් වෙතින් සේම එවක සිටි සාමණේර භික්ෂුන් වෙතින් ද මෙම බෞද්ධ ධර්ම දේශනා සම්ප්‍රදාය විවිධ සංකීර්ණතාවයන්ට ලක් වූ බව පෙනේ. පසුව 1753 වසරේ වෙසක් පුන් පොහෝ දා වැලිවිට සරණංකර නාහිමියන් වෙතින් බුදු සසුන යළි ප්‍රතිස්ථාපිත වූ පසු ද ඉන් සමහර සම්ප්‍රදායන් නොනැසී පැවතිණ. ඒ ඒවා තුළ තිබූ ජනකාන්ත ලක්‍ෂණ නිසා ද විය හැක.

එක් භික්ෂු නමක් වෙනුවට භික්ෂුන් දෙදෙනකු එක් ව පවත්වන යුගාසන ධර්ම දේශනා ක්‍රමය ව්‍යාප්ත වන ලද්දේ ද මේ අවදියේ දීය. මෙහි දී භික්ෂුන්ට ධර්ම දේශනා අතරේ නාට්‍යමය සංවාද සහ විවිධ නිරූපණයන් කිරීමට සිදු වූ බව පෙනේ. මෙහිදී ධර්ම දේශනා හැඳින්වීම පිණිස ‘චූර්ණිකා’ ආදී නම් වලින් යුතු පද්‍ය ගායනයන් ද ඇතුලත් විය. එහෙත්, විශේෂත්වය වූයේ ඒවා ගායනා කිරීම පිණිස භික්ෂුන් වෙනුවට ඒ සඳහා පුරුදු පුහුණු කරන ලද තරුණයකු ඉදිරිපත් කිරීම ය. සති පිරිත් පින්කම් අවසානයට එක් කොට ඇති දොරකඩ අස්න නම් විචිත්‍රාංගය සඳහා ද මහා පෙනුමකුත් යුතු තරුණයකු දේව දූතයකු ලෙස හැඩගන්වා ඉදිරියට ගෙන ඒම ද මීට සමාන්තර නාට්‍යමය අංගයකි.
මේ අතර මහනුවර යුගයේ පැවැති ධර්ම දේශනා අතුරින් අතිශය නාට්‍යමය අවස්ථාවක් විදහා දක්වන ලද්දේ ආලවක දමනය ලෙසින් ඉදිරිපත් කරනු ලැබූ ධර්ම දේශනා වල දී ය.

මෙහි දී මධ්‍යම රාත්‍රියේ දී බෙර, දවුල් හඬ මධ්‍යයේ ආලවක යක්ෂයා සංකේතනය කරන නළුවකු හිටිහැටියේ දම් සභා මණ්ඩපයට කඩා පනිනුයේ දහම් අසන්නවුන් ගේ නිදිමත සුන්නද්දූලි වී ඔවුන් තුළ භීතිය හා සංත්‍රාසය ජනිත කරවමිනි. එතැන් සිට එම නළුවා ආලවකගේ චරිතය නිරූපණය කරන අතරේ බුදුන් වහන්සේ ගේ චරිතය නිරූපණය කොට ඇත්තේ ධර්ම දේශක හිමි නම විසිනි.මේ සියල්ල ද ත්ත් කාලීන සමාජ සාධක මත ඇති වූ නව ප්‍රවණතාවන් බව පෙනෙයි.

මෙකී නොකී සියළු ධර්ම දේශනා සම්ප්‍රදායන් අතුරින් සූත්‍ර පිටකයේ එන සූත්‍රයක් හෝ කොටසක් පදනම් කර ගත් පැයේ සංයුක්ත ධර්ම දේශනා ක්‍රමය සමාජ කරලියට ගෙන එන ලද්දේ බම්බලපිටිය, වජිරාරාම විහාරස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය පැලෑනේ සිරි වජිරඥාන නාහිමියන් විසිනි. අප රටේ ගුවන් විදුලිය මගින් ප්‍රචාරය කළ මුල්ම ධර්ම දේශනය පැවැත්වීමේ ගෞරවය ද උන් වහන්සේ වෙත හිමි වන අතර 1928 පෙබරවාරි 21 දින එය සජීවී ලෙස ප්‍රචාරය කරන ලදී.

උන් වහන්සේ ගේ එවන් සංයුක්ත ගණයේ ධර්ම දේශනාවක් ඇසූ ධර්ම විනය සම්බන්ධ ප්‍රාමාණික පඬිරුවනක වූ කොළඹ විද්‍යෝදය පිරිවන්පති පූජ්‍ය මහගොඩ ඥානිස්සර හිමිපාණන් ‘පැලෑනේ බණ කියන්නෙත් අමුතුම පැලෑනෙකට නොවැ’ කියමින් සතුටින් සිනාසුණු අන්දම පසුව සමාජ කතිකාවකට ලක් විය. දේශීය ධර්ම දේශනා සම්ප්‍රදාය එවන් සංවිධිත පසුබිමකට පිවිස දශක කිහිපයක් ඇවෑමෙන් මෙලෙස කවිය, ගීතය මුසු වල් බිහි වූ අමුතුම බණ සම්ප්‍රදායන් බිහිව තිබීම තිශය ශෝචනීය තත්වයකි.

එමෙන්ම ආර්ය ශාසනයෙහි ගීතය යනු භාවයන් ප්‍රවර්ධනය කරන විලාපයක් වශයෙන් බුදුන් විසින් පැහැදිලිවම දේශනා කොට ඇති පසුබිමක ධනය, කීර්තිය වැනි විවිධ බාහිර අරමුණු උදෙසා භික්ෂුන් ධර්ම දේශනා නමින් හඳුන්වා ගන්නා අනේක විධ ඉදිරිපත් කිරීම් සඳහා කවි, ගීත හෝ සංගීත ඛන්ඩයන් එක් කරගැනීම සහ හුදු බාල ජනප්‍රියත්වය තකා ජන මාධ්‍ය කරුවන් ඒවා අවිචාරවත් ලෙස අවභාවිතා කිරීම පිළිබඳව පොදු සමාජ අවධානයක් අවශ්‍ය වී තිබේ.

කදුරුපොකුණේ සුමංගල හිමි

එතෙර - මෙතෙර