කැටපෝලයක් වෙනුවට තුවක්කුවක් යෙදවීම බඳු වත්මන් හදිසි නීතිය

බොහෝ දෙනකුගේ විමතියටත්,කුතුහලයටත්,අප්‍රසාදයටත් ලක් වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නැවත හදිසි නීතිය පනවා තිබේ.හදිසි නීතිය පැනවීම යනු රටේ යම් හදිසි තත්ත්වයක් උද්ගත වූ අවස්ථාවක පමණක් ක්‍රියාත්මක කළ යුතු තත්වයකි.එහෙත් වත්මන් රජයේ අතිශය අදූරදර්ශී ක්‍රියා මාර්ග හේතුවෙන් දරුණු පීඩනයකට ලක් ව හිඳින ජනතාවගේ හදවත් තුළින් මතුවන් දුක් අඳෝනා නිරායුධ උද්ඝෝෂණ ලෙසින් රටේ සෑම තැනකින්ම ඉස්මතු වීම මෙම අස්ථාන ගත හදිසි නීතිය පැනවීමට හේතු වී තිබේ.

ඒ අනුව මෙම හදිසි නීතියට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය මුල් කොට ගත් විද්වත් ප්‍රජාව,මානව හිමිකම් කොමිසම ඇතුළු සංවිධාන දේශපාලන පක්ෂ ඇතුළු දේශීය ආයතන හා සංවිධාන සේම යුරෝපා සංගමය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන සහ විදෙස් තානාපති වරු ද තම තදබල නොසතුට පළ කොට තිබේ.ඔවුන් සෘජුවම හා අනියමින් කියා සිටිනුයේ රටේ පවත්නා සාමාන්‍ය නීතිය අතික්‍රමණය කරමින් නියෝග නිකුත් කිරීමට ඇති හැකියාව ජනාධිපතිවරයා මෙම අවස්ථාවේ අවභාවිතා කොට ඇති බවකි.

එමෙන්ම හදිසි නීතිය යනු මහජන ආරක්ෂක පනත යටතේ රටේ පොදු මහ ජනතාවගේ ආරක්ෂාව සඳහා යොදා ගත හැකි සාධනීය නෛතික ප්‍රතිපාදනයකි. හදිසි නීතිය පැනවීම රටේ විධායකය ලෙස ජනාධිපතිවරයා භුක්ති විඳින තනි බලයකි. රටක යම් හදිසි තත්ත්වයක් ඇතිවූ විට, මහජන සාමය කඩ වන කැරළි කෝලාහල තත්ත්වයක්, හෝ යුදමය තත්ත්වයක් ඇති වූ විට රටේ පාලනය බිඳ නොවැටී පවත්වාගැනීම සඳහා ක්ෂණිකවම මෙවැනි පියවරක් ගැනීමට විධායකය සතු වගකීමකි. එනිසා ජනාධිපතිවරයා මෙවැනි විධායක බලයක් දැරීමේ කිසිදු වරදක් නැත.

මහජන ආරක්ෂක පනතේ පස්වැනි වගන්තිය යටතේ විශේෂ රෙගුලාසි පැනවීමේ හැකියාවක් තිබේ. ඒ යටතේ මහජන සාමය පවත්වාගෙන යෑම වෙනුවෙන් ඕනෑම තැනකට අවසරයකින් තොරව ඇතුළු වීමේ හැකියාව, ඕනෑම අයකු අත් අඩංගුවට ගැනීමේ හැකියාව හදිසි නීතිය යටතේ ආරක්ෂක අංශ සතු වනු ඇත.

හදිසි නීතියක් පැනවීමේ ප්‍රධානතම අරමුණ වන්නේ මහජන සාමය පවත්වා ගැනීම සඳහා පොලීසිය ප්‍රමාණවත් නොවන බවක් වැටහෙන අවස්ථාවක ඒ සඳහා ආරක්ෂක හමුදා යෙදවීම ය.රටේ පවත්නා සාමාන්‍ය නීතිය අනුව අධිකරණ නියෝගයකට අනුව හෝ සාපරාධී ක්‍රියා සම්බන්ධ සිදුවීම් වල දී එසේ නොමැතිව ඕනෑම තැනකට ඇතුළු වී පරීක්ෂා කිරීමේ අවස්ථාව සහ ඊට අදාල පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ බලය ඇත්තේ පොලීසියටය .නමුත් හදිසි නීති තත්ත්වයක් යටතේ එම බලය හමුදා අංශ වෙත ද පැවරෙයි. ඇතැම් විටෙක කැරලි අර්බුද මැඩ පැවැත්වීම පිණිස වෙඩි තැබීමේ බලයක් ද මෙම හදිසි නීති රෙගුලාසි තුළින් මතු කර ගත හැක.

නමුත් ඔහුම පිළිගෙන ඇති අන්දමට වැරදි තීරණ ගන්නා දේශපාලන නවකකයකු වන ජනාධිපති වරයාගේ මෙම හදිසි නීති පැනවීම කැටපෝලයක් උවමනා තැනට තුවක්කුවක් භාවිතා කිරීමක් වැනි ත්වත් බරපතල වැරදි තීරණයකි සිවිල් සමාජය දැනටමත් ඒ බව පෙන්වා දී තිබේ.මේ හදිසි නීතිය සම්බන්ධයෙන් විරෝධය පළ කරන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනුයේ ආණ්ඩුව මෙලෙස හදිසි නීතිය පැනවීම ඔස්සේ ම ජනතාව ප්‍රචණ්ඩත්වය වෙත නැඹුරු වීමේ ස්වභාවික අවකාශයක් පැන නඟින බවය.එය ඉතා නිවැරදි විද්‍යානුකූල පදනමක් සහිත කතාවකි.ඒ අනුව අපට ද කිව හැක්කේ මෙය “අඬන්න ඉන්න මිනිහාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇනීමක්” බව ය.

නමුත් ජනාධිපතිවරයකුටට වුව කවර කරුණක් පදනම් ව හෝ හදිසි නීතිය දිගටම කියාත්මක කිරීමේ බලයක් නැත.කාටත් වැටහෙන ලෙස කිවහොත් හදිසි නීතිය යනු යම් රෝගයකට දෙන ප්‍රථමාධාරයක් මිස නිශ්චිත ප්‍රතිකාරයක් නොවේ.ජනාධිපති වරයාගේ අභිමතයට යටත්ව හදිසි නීතිය ප්‍රකාශ කළ හැකි උපරිම කාල සීමාව මාසයක් පමණි.ඉන් ඔබ්බට එය දීර්ඝ කිරීම කරන්නේ නම් අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු ය.

ඉහත සඳහන් කරුණු සළකා බලන විට ජනධිපති වරයා පනවා ඇති වර්තමාන හදිසි නීතියට පදනම් වනුයේ මහජන ආරක්ෂාව නොව ජනතාවගෙන් තමන් ඇතුළු පාලක පක්ෂය ආරක්ෂා වීම බව ඉතා පැහැදිලි ය. නමුත් මේ දක්වාම ජනතාව අතර ඇති වන කැරලි කෝලාහල සම්බන්ධ තොරතුරු වාර්තා නැත.වාර්තා වන සෑම තොරතුරකින්ම පැවසෙනුයේ ජාති,ආගම්,පක්ෂ,පාට භේද සියල්ල අමතක කොට ජනතාව රට පුරා ආණ්ඩුවට එරෙහි නිරායුධ සාමකාමී අරගල ආරම්භ කිරීම පමණි.ඒ අනුව මෙය ජනාධිපති වරයා තම දුර්වලතා වසා ගැනීම සඳහා හදිසි නීතිය අවභාවිතා කිරීමක් බව අතිශයින් පැහැදිලි ය.

නමුදු මෙම හදිසි නීතිය යටතේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මඟින් තහවුරු කොට ඇති නිදහස් අදහස් ප්‍රකාශ කිරීම්,සාමකාමීඋද්ඝෝෂණ වල යෙදීම් ආදියට කිසිදු බාධාවක් නැත.එනිසාම ඕනෑම අයකුට ජනාධිපතිවරයා විසින් සිදුකරන හදිසි නීතිය ප්‍රකාශ කිරීමක් අභියෝගයට ලක් කළ හැක.

එය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ යුත්තේ රිට් ආඥාවක් ඔස්සේ ය. ඒ සඳහා අදාළ කරගත හැකි නඩු තීන්දු පවා තිබේ. මන්ද, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇත්තේ ජනාධිපතිවරයෙක් උසාවිය හමුවට කැඳවිය නොහැකි බව මිස ජනාධිපතිවරයකුගේ ක්‍රියාවක් සම්බන්ධයෙන් උසාවියක දී ප්‍රශ්න කළ නොහැක යනුවෙන් නොවේ. එනිසා ජනාධිපතිවරයාගේ ක්‍රියාවන් අභියෝගයට ලක් කිරීමට එදත් අදත් හැකියාව තිබේ.ඒ අනුව ඉදිරියේ දී එවැනි ක්‍රියා මාර්ගයකට එළඹීමේ කඩිනම් අවශ්‍යතාවක් ජාතිය හමුව පැන නැඟී තිබේ.

දමයන්ති ගමගේ

එතෙර - මෙතෙර