පසුගිය සතියක කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගලෝත්සවය පැවැත්වුණා. ඒකෙ එක අංගයක් තමයි ශාන්ත අන්තෝනි මුනිතුමාගේ ප්‍රතිමාව රැගෙන වීදි සංචාරය කෙරෙන පෙරහැර.
හැම වසරකම මේක ඉතාමත් උත්සවාකාරයෙන් පැවැත්වෙන පෙරහැරක්.
මේක ආගමික උත්සවයක් වුණත් ආගමේ සීමාවෙන් එහා ගිය හරි ලස්සන දැක්මක්, වටිනා පණිවිඩයක් පසුගිය පෙරහැර තුළින් ඉස්මතු වුණා.
ඒ තමයි මේ කතෝලික පෙරහැරට බෞද්ධයන් කීප දෙනෙකුගේ සහභාගිත්වයෙන් අහසේ සිට ඩ්රෝණර් යානයකින් මල් පෙති ඉසීම.
ඩ්රෝණර් යාන ක්‍රියා කරවන ඉසුරු කියන බෞද්ධ තරුණයෙක් සහ ඇඹිලිපිටියේ වෙහෙර ගොඩල්ල පුරාණ විහාරයේ දිව්ලන්ගැටේ චන්දිම හාමුදුරුවෝ තමයි මේ සද් ක්‍රියාවට මූලිකත්වය අරගෙන ක්‍රියා කරලා තියෙන්නේ.
ඒ පන්සලේ උත්සවයකට නෙළුම් මල් ගේන්න කියලා සැදැහැවතුන්ට උන්වහන්සේ ආරාධනා කරලා තියෙනවා. ඒ පැත්තේ නෙළුම් මල් බොහෝ සෙයින් වැවෙන නිසා හිතුවාටත් වඩා විශාල ප්‍රමාණයක් නෙළුම් මල් පන්සලට එදා ලැබිලා තියෙනවා.
පන්සලේ උත්සවය හමාර උනායින් පස්සේ අර ඉසුරු කියන තරුණයයි, චන්දිම හාමුදුරුවොයි සැදැහැවතුන්ට කියල තියෙන්නෙ අපි අපේ ආගමික සහෝදරත්වය සුහදතාවය තහවුරු කිරීමක් විදිහට මේ මල් පෙති කොච්චිකඩේ පල්ලියේ මංගල්ල පෙරහැරට ඩ්‍රෝණ යානයකින් අහසේ ඉඳල ඉහිමු කියල.
ඒ ප්‍රදේශයේ බෞද්ධ දායක පින්වතුන් එක හෙලාම ඒ අදහසට එකඟ වූ නිසා මල් පෙති උර ගණනාවක් කොච්චිකඩේට ප්‍රවාහනය කරල තමයි මල් ඉහින වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරල තියෙන්නෙ. මහානාම විදුහලේ ගුරු මහත්මියකුත් සම්බන්ධීකරණයට ගොඩක් උදව් කරලා තියෙනවා.
ඉසුරු කියන බෞද්ධ තරුණයා කිව්වේ ගිය වසරේ ප්‍රථම වතාවට ඩ්‍රෝණ යානයක යමක් රැගෙන යාමට ආරක්ෂක අමාත්‍යංශයෙන් ඉඩ දුන්නේ මේ පෙරහැරට කියලා.
ඔහු මේ වසරේ සම්පූර්ණයෙන්ම ඔහුගේ වියදමෙන් ඔහුගේ ඩ්‍රෝණ කැමරා ප්‍රයෝජනයට අරගෙන තමයි මේ බෞද්ධ සැදැහැවතුන් එකතු කරලා ගෙනත් දුන්නු නෙළුම් මල් පෙති හරි ලස්සනට , විශාල චමත්කාරයක් එකතු කරමින් ශුද්ධ වූ අන්තෝනි මුනිතුමාගේ පෙරහැරට එදා අහසේ සිට ඉහළ තියෙන්නෙ.
මේ ක්‍රියාදාමය ගැන මීට වැඩිය ඇත්තටම විස්තර කරන්න අවශ්‍යත් නැහැ. ඉතා පැහැදිලිව පේනවා හොඳ හිතකින් හොඳ චේතනාවකින් ක්‍රියා කළොතින් කිතුනුවන්ට බොදුනුවන්ට විතරක් නෙවේ ඕනෑම ආගමක් අදහන කෙනෙකුට සුහද සහෝදරත්වයෙන් අන්‍යෝන්‍ය අවබෝධයෙන් උපකාරයෙන් මේ රටේ ජීවත් වෙන්න පුළුවන් කියලා.
පසුගිය වෙසක් සමයේදී අපි දැක්කා කිතුණු පූජකවරුන් කන්‍යා සොයුරියන් බෞද්ධ ස්වාමීන් වහන්සේලා සමඟ එකතුවෙලා වෙසක් දන්සැල් දෙන හැටි.
මේ සේරම ශුභ ආරංචි! සුභ ලකුණු!
ස්වභාවධර්මයේ මල් පිපෙන්නේ මේක බෞද්ධයන්ට මේක කතෝලිකයන්ට කියලා නෙමෙයි. ඉර පායන්නෙත් වැහි වහින්නෙත් ආගම් භේද බලල නෙමෙයි. ස්වභාව ධර්මය හැමෝටම පොදුයි .
යහපත් චේතනාව, ධර්මය , කියන එකත් හැමෝටම පොදුයි .
අනුන්ට හිරිහැර කරන්න එපා, ජීවිත නසන්න එපා, ඊර්ෂ්‍යා කරන්න එපා, පළිගන්න හදන්න එපා, වෛර කරන්න එපා, මෛත්‍රී කරන්න, සාධාරණය ඉටුකරන්න, සහයෝගයෙන් ජීවත් වෙන්න, යනාදී දේවල් හොඳ දේවල් නෙමේද . ඇත්තෙන්ම ඒවා හොඳ දේවල්! යහපත් චේතනා!
ඒකට තමයි ධර්මය කියන්නේ.
ඒ වගේ සිතුවිලි බෞද්ධයකුගේ හිතේ ජනිත වෙන්නත් පුළුවන්, කිතුණුවෙකුගේ හිතේ ජනිත වෙන්නත් පුළුවන්.
එකම කසාය වෙනම මුට්ටිවල තම්බන්න පුළුවන්. මුට්ටිය වෙනස් උනාට කසාය ගුණය එකයි. ඒ වගේම යහපත් සිතිවිලි යහපත් චේතනා බෞද්ධ බැතිමතෙකුගේ හිතේ ඉපදුනත් කිතුණු බැතිමතෙකුගේ හිතේ ඉපදුනත් වැදගත් වෙන්නේ ආගම නෙවෙයි ඒ චේතනාව සහ ධාර්මිකව ජීවත්වීමට ඇති වුවමනාව සහ උත්සාහය.
ඒ විදිහට ධර්මයට, යහපත් චේතනාවට මුල්තැන දීලා හිතන්න ක්‍රියා කරන්න බුද්ධිමත්කම අවශ්‍යයි.
මෝඩ මිනිස්සු හැමදාම හිතන්නෙ එක්තරා මානසික තත්ත්වයකට කූඩුවෙලා කොටු වෙලා. එහෙම හිතන අය තමයි කුලභේද ආගම් භේද ජාති භේද වගේ දේවල් ලොකු කරගෙන ඔලුවෙ තියාගෙන පිස්සුවෙන් වගේ දඟලන්නේ.
ඒ වගේ තේරුමක් නැති සීමාවන්ට කොටුවෙන්නෙ නැතුව මිනිස්කම ධර්මය යහපත එකම අරමුණ කරගෙන ජීවත් වෙන්න පුළුවන් නම් අපි මොන ආගමක් ඇදහුවත්, රටේ මොන පළාතක මොන තරාතිරමක හිටියත් කිසිම අවුලක් නැතුව සතුටින් සමාජයක් වශයෙන් ජීවත් වෙන්න පුළුවන්.
අද දේශපාලන යුද පිටිය ඇතුළු සමාජයේ බොහෝවිට දකින්න ලැබෙන්නේ බෙදීම්, වෙන් වීම්, සහ තරගකාරීත්වය.
ඒ වගේම යල්පැනගිය කුලභේද, ආගම් භේද, උස් පහත් භේද යනාදිය තවමත් යන්තමින් හෝ නටබුන් ලෙස අපේ රටේ ඉතිරි වෙලා තිබීම කනගාටුවට කරුණක්.
ඒත් මේ වර්තමානයේදී අපිට අත්දකින්නට අහන්නට දකින්නට ලැබෙන ආගම් අතර සුහදතාවය ඇත්තෙන්ම අඳුරු ලොවකට අරුනළු වැටෙනවා වගේ එකමුතු මිනිස් සමාජයක් ගොඩනැගීමට මුල පුරන අවධියක් ලෙස බලාපොරොත්තු තියාගන්න අපිට පුළුවන්.
ඉතින් එදා ඒ මල් ඉසීමට මූලිකත්වය අරගෙන ක්‍රියාත්මක වූ වූස්වාමීන් වහන්සේටත් ඒ බෞද්ධ තරුණයා ඇතුළු ඇඹිලිපිටියේ ඒ බෞද්ධ සැදැහැවතුන් සැමටමත් කතෝලිකයන්ගේ ගෞරවය ප්‍රණාමය අනිවාර්යෙන්ම ලැබෙන බව ඒකාන්තයි.
මේ රටේ තමන් කැමති ඕනම ආගමක් අදහන්න නිදහස තියෙනවා වගේම ඒ නිදහස ගරු කරමින්, අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුක්තව උදව් කරමින් ,සුහදතාවය ප්‍රගුණ කර ගනිමින් ,බෙදා හදාගෙන ජීවත් විය හැකි ප්‍රීතිමත් දූපතක්ත් බවට මේ ශ්‍රී ලංකාව පත්වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු.
මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු