කිඹුලාවල වීදි ආහාර උප සංස්කෘතියේ ගෙල සිඳිය යුතුද? – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

බත්තරමුල්ලේ කිඹුලාවල පවත්වාගෙන යන වීදි ආහාර (Street food ) අලෙවි කරන තාවකාලික වෙළඳ කුටි හතලිහක් පමණ දින දාහතරක් ගත වීමට පෙර ඉවත් කර ගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය ඒවා පවත්වා ගෙන යන්නවුන්ට දන්වා ඇති බව පසුගිය දිනවල දැන ගත හැකි විය. එම ආයතනය ඊට හේතු වශයෙන් දක්වා තිබුණේ එම තාවකාලික වෙළඳ කුටි පවත්වාගෙන යන සවස් සහ සන්ධ්‍යා කාලවල දී එම මාර්ගය ජනාකීර්ණ වීම මත රථවාහන තදබදවීම් සේම රිය අනතුරු ද සිදුවන බව ය. එමෙන්ම එම වීදි ආහාර අලෙවිහල් නිසා තමන්ගේ දිවි පැවැත්මට යම් යම් බාධා සිදුවන බව ප්‍රදේශවාසීන් ගෙන් පැමිණිලි ලැබී ඇති බව ද නාගරික සංවර්ධන අධිකාරි ආරංචි මාර්ග සඳහන් කරයි.
බැලූ බැල්මටම ඉහත සඳහන් කරුණු වල ඉවත හෙළිය නොහැකි සත්‍යතාවක් තිබිය හැක. එහෙත්,මෙම තාවකාලික වෙළ ද කුටි හතලිහ සම්බන්ධයෙන් එම මතු පිට තත්වයට වඩා තරමක විශ්ලේෂණයකට තුඩු දෙන සාධක පෙන්නුම් කෙරෙන නිසා ඒ සම්බන්ධයෙන් යම් සඳහනක් කළ යුතු යැයි අපට සිතිණ.

වීදි ආහාර යනු ලොව බොහෝ රටවල නාගරික සමාජයන් තුළ දක්නට ලැබෙන ජනප්‍රිය උප සංස්කෘතියකි. මෙය නවීනත්වය හා සම්බන්ධ වූවක් සේ සැළකුව ද මෙම වීදි ආහාර උප සංස්කෘතිය අති පැරණි පුර රාජ්‍යයන් (City-state ) තුළ පවා පැවැති බවට පවා ඓතිහාසික සාක්ෂි තිබේ. එසේම එම වීදි ආහාර උප සංස්කෘතීන් තුළ පවත්නා ප්‍රමිතිගත බව අනුව ඒවා දේශීය විදේශීය සංචාරකයන් අතර අතිශය ජනප්‍රිය සේම සැළකිය යුතු පිරිසකගේ ආදායම් මාර්ග සරු කෙරෙන ව්‍යාපාරයක් බව ද කිව යුතු ය.
අප රටේ ද මෙම වීදි ආහාර උප සංස්කෘතිය නාගරික ජනාවාස අතුරින් යම් යම් ආකාරවලින් ඉස්මතු වුව ද අද වන විට එය වඩාත් ස්ථාපිතව ඇත්තේ මෙම කිඹුලාවල ප්‍රදේශයෙන් බව පෙනී යයි. ඒ සම්බන්ධ කෙටි ඉතිහාසය ඉකුත් කොවිඩ් වසංගත සමය තෙක් දිව යන බව අනාවරණය වී තිබේ. ඒ වන විට පැවැති සමාජ ආර්ථික බිඳ වැටීමට ලක් වූ ව්‍යාපාරික ප්‍රජාවේ කිහිප දෙනකු තාවකාලික ජීවනෝපායක් වන ස්වයං රැකියාවන් වශයෙන් වීදි ආහාර අලෙවි කිරීම පිණිස එම කිඹුලාවල ප්‍රදේශය තෝරාගෙන තිබේ. එමෙන්ම ඔවුන් ගේ ඒ නව වෙළෙඳ සංකල්පය අගනුවර හා තදාසන්න නාගරික මධ්‍යම පාන්තිකයන් ගේ අවශ්‍යතා සමඟ කෙතරම් ගැළපුණේ ද යත් තාවකාලික වෙළඳ සල් කිහිපයකින් ඇරඹි කිඹුලාවල වීදි ආහාර අලෙවිය මේ වන විට අලෙවි කුටි හතලිහක් තෙක් වර්ධනය වී තිබේ. එමෙන්ම අපට දැන ගත හැකි වූ අන්දමට මේ වන විට වීදි ආහාර සම්බන්ධයෙන් කිඹුලාවල ප්‍රදේශය ජනප්‍රියව පැවතීම මත තරමක් දුරබැහැර සිට පවා නවීනත්වය හා මුසු වූ ආහාර රස බැලීම පිණිස එහි පැමිණෙන බව දැන ගන්නට තිබේ.

අප රටේ තරු පැලැන්තියේ සුඛෝපභෝගි සංචාරක හෝටල් වලින් ආහාර පාන ලබා ගැනීමට අවස්ථාව හිමි වනුයේ රටේ සමස්ත ජනගහනයෙන් ඉතා සුළු පිරිසකට පමණි.
එහෙත්, මෙවන් වීදි ආහාර වලින් තම ආහාර අවශ්‍යතා සංතෘප්ත කර ගන්නා අතරේ ඉන් කිසියම් ආශ්වාදනීය බවක් භුක්ති විඳීමට නාගරික සමාජයේ වැඩි පිරිසකට අවකාශ ලැබේ. එමෙන්ම ඒ සම්බන්ධ තවත් විශේෂත්වයක් ඇත. එනම් තරු පැලැන්තියේ සුඛෝපභෝගී ආහාර පාන භුක්ති විඳින්නවුන් ගෙන් බහුතරය ද මෙම කිඹුලාවල වීදි ආහාර උප සංස්කෘතියේ පාරිභෝගිකයන් වීම ය.ඒ බව ඔවුන් එහි පැමිණෙන අධි සුඛෝපභෝගී වාහන ආදියෙන් අනුමාන කළ හැක.
සමාජයක් තුළ ඕනෑම නවාංගයක් රෝපණය වන විට එහි සාධනීය සේම නිශේධනීයලක්ෂණ ද අඩු වැඩි වශයෙන් දක්නට පුළුවන. එහි දී සාධනීය ලක්ෂණ බහුල නවාංග විධිමත් ප්‍රමිතියකට ලක් කිරීමෙන් ඒවා නව සංස්කෘතිකාංග හෝ උප සංස්කෘතිකාංග ලෙස ප්‍රවර්ධනය වේ.එසේ නොමැතිව ඒ නවාංග අවිචාරවත් හා අසමතුලිත ලෙස වර්ධනය වුවහොත් ඒවායේ චිර පැවැත්ම අහෝසි වෙයි.

අප රටේ මාර්ග පද්ධතිය දියුණු වීමත් සමඟ ප්‍රධාන මාර්ග අද්දර මෙවන් උප වෙළඳ සංස්කෘතීන් දක්නට ලැබීම සියවසකටත් වැඩි කාලයක් දක්වා දිව යන්නකි. කජු වෙළෙඳාම සම්බන්ධයෙන් රට පුරා ප්‍රකට නමක් දිනූ කොළඹ-නුවර, කොළඹ ප්‍රධාන මාර්ගයේ බටලීය ඒ සඳහා වන කදිම නිදසුනකි. නමුත් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සඳහා බාධාවක් නොවන අයුරින් එම වෙළෙඳ උප සංස්කෘතියේ පැවැත්ම ද ආරක්ෂා කරනු පිණිස හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා විසින් එම බටලීයේ කජු වෙළඳ ඉසව්ව වෙනුවට ප්‍රධාන මාර්ගයෙන් බැහැර “කජුගම” නම් ගම්වරයක් තනා එම කජු අලෙවි ලියන්ට එහි ව්‍යාපාරික අවස්ථා සළසා දුන් අයුරු අපට මතක ය. එහෙත්, එම කොළඹ-නුවර ප්‍රධාන මාර්ගය අද්දර කජු අලෙවිය පිණිස වූ යෝග්‍යතාවයන් ප්‍රධාන මාර්ගයෙන් බැහැර කජුගමේ නොතිබූ බැවින් එය එතරම් සාර්ථක නොවිණි. ඒ හේතු මත බටලියේ කජු ලියෝ තම වෙළෙඳාම් සඳහා නැවත බටලීයේ කොළඹ-නුවර ප්‍රධාන මාර්ගය අද්දරටම පැමිණ සිටිනු දක්නා ලදී.හලාවත පුත්තලම ප්‍රධාන මාර්ගය අද්දර පිහිටි වයික්කාල ප්‍රදේශය ලෝහ ආයුධ වලට සේම කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ සීදුව අම්බලම්මුල්ල ප්‍රදේශය ගත වූ කාලයේ මැටි භාණ්ඩ වලටත් මේ වන විට කොන්ක්‍රිට් භාණ්ඩ වලටත් ප්‍රසිද්ධව පැවැතීම මේ සඳහා වන තවත් නිදසුන් දෙකකි.

බත්තරමුල්ල කිඹුලාවල ප්‍රදේශයේ වීදි ආහාර අලෙවිය කලින් සිකුරාදා සෙනසුරාදා සහ ඉරිදා යන දිනවලට පමණක් සීමා වූ අතර මේ වන විට එය සතියේ දවස් හතේ දීම ඒ අයුරින්ම සිදුවනු දක්නට පුළුවන. එමෙන්ම සෑම දිනයකටම සවස තුනට පමණ ඇරඹෙන එම අලෙවිය අළුයම් යාමය තෙක් පැවැත්වේ. එමෙන්ම ස්ථිර වෙළඳ සල් කිසිත් නොමැති කිඹුලාවල වීදි ආහාර අලෙවිය සඳහා යොදා ගැනෙනුයේ ගලවා ඉවත් කළ හැකි තාවකාලික ඉදිකිරීම් පමණි. ඒවායෙහි මිල පාරිභෝගිකයන්ට දරා ගතහැකි මට්ටමක පවතින බව එම වෙළඳ කුටි වල ජනප්‍රියත්වය අනුව හැඟී යයි. නමුත් ඒ ආහාරවල ප්‍රමිතිය සෞඛ්‍යාරක්ෂිත බව පිළිබඳ යම් නිගමනයකට ඒමට අපට නොපුළුවන. නමුදු එවැනි දේ අධීක්ෂණය සහ නියාමනය කිරීමේ පූර්ණ වගකීම අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අත පවතින බව අමුතුවෙන් කිව යුතු නැත. ජනතාව එම වීදි ආහාර මිලදී ගැනීමට පෙළඹෙනුයේ ඒවා කෙරෙහි එම බලධාරීන් ගේ නිරන්තර අවධානය යොමු වන්නේය යන විශ්වාසය පදනම් කර ගනිමිනි.

ඒ කෙසේ නමුත් කිඹුලාවල වීදි ආහාර අලෙවි කුටි සම්බන්ධයෙන් විමැසීමේ දී ඒවායේ පිරියත සැකසුම (Lay out ) සම්බන්ධ යම් යම් විෂමතා දක්නට පුළුවන. ඒ අතුරින් වැඩි ඉඩ ප්‍රමාණයක් වෙන්කර ගත් අලෙවි කුටි ද තිබෙනු දක්නා ලැබේ. ඇතැම් අලෙවි කුටි ප්‍රධාන මාර්ගය කෙරෙහි වැඩි නැඹුරුවකින් යුතු බවක් ද බැලූ බැල්මටම දක්නට ඇත. නමුදු මෙම කිඹුලාවලින් ඇරඹෙන වීදි අලෙවි උප සංස්කෘතිය වඩාත් විධිමත් ලෙස වර්ධනය කර ගැනීමට නම් මේ සියල්ලේම පොදු ප්‍රමිතියක් තිබීම වැදගත්ය. මෙහි දී මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු ඒ සම්බන්ධ වගකිව යුතු අංශ එම වෙළඳ ප්‍රජාව හා පොදු එකඟතාවයනට පැමිණ එම නවීන උප වෙළඳ සංස්කෘතියේ සාධනීය බව තහවුරු කර ගැනීම ඉතා වැදගත් ය.

මෙම කිඹුලාවල වීදි ආහාර අලෙවිය දැනට රටේ පවත්නා සම්මත නීති සහ අනපනත් අනුව තව දුරටත් එය පවත්වා ගෙන යාමට ඉඩ දිය නොහැකි බව බලධාරීන් ගේ ස්ථාවරය වී තිබේ. එහිදී අපට එක්වරම සිහිපත් වනුයේ ඕනෑම දේක පොත පෙරලා බැලූ අප ජන කතා අතුරින් මතුවන මුල් පෙළේ කතා නායකයකු වන මහ දැන මුත්තාගේ චරිතයයි.බත්තරමුල්ල කිඹුලාවල අලෙවි කෙරෙන් වීදි ආහාර වල ප්‍රමිතිය,සෞඛ්‍යාරක්ෂිත බව හාත්පස පිරිසිදු බව සහතික කිරීම සේම අවට ප්‍රදේශවාසීනට සේම ඉදිරිපස මාර්ගය භාවිතා කරන්නවුනට සිදුවන අපහසුතා මැඬලීම මෙහි වෙළඳුන් ගේ සාමූහික වගකීමකි.

මේ වන විට පවත්නා එවන් අඩු පාඩු ඔවුන් ලවාම සපුරා ගනු මිස තත් කාලීන හේතු සාධක මත සමාජය තුළින් ස්වභාවිකව හට ගන්නා මෙබඳු නවාංගයන් නීති රීති පදනම් කොට හෝ යටපත් කිරීම කෙසේ වත් සාර්ථක පියවරක් නොවන බව කිව යුතු ය.එමෙන්ම එසේ යටපත් කළහොත් කාලීන සමාජ අවශ්‍යතාවයන් මුල්කොට ඒවා වඩාත් නොධිමත් අයුරින් සමාජය තුළ ප්‍රතිරෝපණය වීමේ අවකාශය ද ඔවුන් හොඳින් විමසා බැලිය යුතුය.

මේ වන විට ආර්ථික වශයෙන් අබල දුබල මට්ටමක පවතින ශ්‍රී ලංකාව යළි ආර්ථික වශයෙන් සමෘද්ධිමත් කිරීම පිණිස සංචාරක කර්මාන්තය ප්‍රවර්ධන හැකියාවන් පිළිබඳව ද බලධාරීන් ගේ අවධානය යොමුව තිබේ. එවන් තත්වයක් යටතේ වුවද මෙවන් ජනප්‍රිය නව උප සංස්කෘතිකාංග ප්‍රමිතිගත ලෙස ප්‍රවර්ධනය කිරීම මිස ගෙල සිඳින්නක් මෙන් ඒවා මුලිනුපුටා දැමීම කෙසේවත් යෝග්‍ය නොවන බව ද අපගේ වැටහීම ය. එනිසා හුදෙක් සාම්ප්‍රදායිකත්වයෙන් තොර මෙවන් නූතන උප සංස්කෘතිකාංග කෙරෙහි සාධනීය ලෙසින් නොවිමසා යම් යම් කරුණු පදනම් කොට මුලිනුපුටා දැමීම සොටු දියර ගැලීම වළකනු පිණිස නාසය කපා දැමීමකට වැඩි යමක් නොවන බව ද කිව යුතුම ය.

මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

 

එතෙර - මෙතෙර