” සමහර වෙලාවට මට අනිත් අය කියන ඒවා ඇහෙනවා. ඒත් ඒ කියන්නේ මොනවද කියලා හරියටම තේරෙන්නේ නෑ. මේකට හේතුව මගේ කන් ඇසීමේ දුර්වලකමක්ද? ”
මෙය කන් ඇසීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුට තිබෙන ගැටලුවකි.
කන නිර්මාණය වී තිබෙන්නේ බාහිර කන, මැද කන හා ඇතුළු කන යන කොටස් තුනෙනි.
පිටතින් එන ශබ්ද බාහිර කන තුළින් කනට ඇතුළු වී කන් බෙරයෙහි කම්පනයක් ඇති කරවයි. මේ හේතුවෙන් මැද කනෙහි කුඩා අස්ථිකා තුන කම්පනය වීමට පටන් ගනී. ඒ අස්ථිකා තුනෙන් එන තරංගය ඇතුල් කනට ලබා දෙයි. පිටතින් එන කම්පනය විද්‍යුත් සංඥා බවට පරිවර්තනය කරන්නේ ඇතුළු කනෙහි තිබෙන කර්ණශංඛය යි. එසේ විද්‍යුත් සංඥා බවට හරවා ස්නායු මගින් මොළයේ අදාළ ස්ථානවලට යවයි.ඉන්පසු අපට ශබ්දය ඇසීමට සලස්වයි. අපට යමක් ඇසෙන්නේ ඒ ආකාරයට ය.
කන් නොඇසීමේ තත්ත්වය වර්ග තුනකට බෙදේ.
1. බාහිර කනේ හෝ මැද කනේ ඇතිවන ආසාදන තත්ත්වයක් නිසා ඇසීම අඩුවීම
2. ඇතුළු කනේ හෝ අදාළ ස්නායුවල නැතහොත් මොළයෙහි ආබාධයක් හේතුවෙන් ඇසීම අඩුවීම
3.බාහිර කන, මැද කන සහ ඇතුල් කන යන තුනේම ඇතිවන දෝෂ, එනම් ඉහත අවස්ථා දෙකේම එකතුවක් ලෙස ඇති වන තත්වයක් නිසා හටගන්නා කන් නොඇසීම
පළමු වර්ගය
——————–
බාහිර කනේ ඇතිවන වඩාත්ම සුලභම හේතුව වන්නේ කන්වල ස්වභාවිකවම හටගන්නා කලාඳුරු හෙවත් ඉටි පිරී තිබීම ය. ඊට අමතරව බාහිර කනේ හටගන්නා විවිධ ආසාදන, පිටතින් ආගන්තුක ද්‍රව්‍ය කනට ඇතුළු වීම, කනේ හටගන්නා ගෙඩි හෙවත් අර්බුද ( tumour ), උපතින්ම ඇතිවන සංජානීය ආබාධ තවත් සුලබ හේතූන් ලෙස දක්වන්නට පුළුවන.
මැද කනේ වැඩිපුරම හට ගන්නේ විවිධ ආසාදන තත්ත්වයන් ය. කුඩා අස්ථිකාවල හට ගන්නා ආසාදන කැක්කුම, කනේ සැරව මීට උදාහරණ වේ. කුඩා දරුවන් තුළ බහුලව දැකිය හැක්කේ මැද කනට වතුර පිරීම ( glue ear ) යි.
දෙවෙනි වර්ගය
————————-
විවිධ රෝග නිසා ඇතුල් කනේ ආසාදන ඇතිවිය හැකිය.
කම්මුල්ගාය, පැපොල, හර්පීස්, දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය, ආඝාතය හෙවත් අංශභාග රෝගය, මෙනින්ජයිටිස්, එන්කෙපලයිටිස් වැනි රෝග මෙන්ම මුඛයෙන් ගන්නා සමහර ඖෂධ, දුම්පානය, හිසට ඇතිවන අනතුරු වැනි හේතු රාශියක් නිසා ඇතුල් කනේ ආසාදන ඇතිවිය හැකිය.
තුන්වෙනි වර්ගය
————————–
මෙය ඉහත කී වර්ග දෙකෙහිම එකතුවකි.
සාමාන්‍යයෙන් තදබල බිහිරි වීම ඕනෑම කෙනෙකුගේ පහසුවෙන්ම හඳුනා ගත හැකිය.
නමුත් සුළු ඇසීමේ දෝෂ හඳුනා ගැනීම පහසු නොවේ.
සමහරුන්ගේ එක් කනක් අනෙක් කනට වඩා ඇසීම අඩු ය. එවැනි දෝෂ ද මුලින් හඳුනා ගැනීමට අපහසු ය.
මෙවැනි සුළු ඇසීමේ දෝෂ ඇති අයට ඇතැම් විට තමාගේ මුහුණ බලාගෙන යමෙකු කතා කරන අවස්ථාවේ දී ඒවා ඇසෙන මුත්, දෙදෙනෙක් කතා කරන විට සහ ඈතින් එන ශබ්ද තේරෙන්නේ නැත. ඒවා ඇසෙන නමුත් හරි හැටි ඇසෙන්නේ නැති නිසා වචන අපැහැදිලි වෙයි. ඇතැම් පාසල් ශිෂ්‍යයන්ගේ මේ තත්ත්වය දැකිය. එවැනි සිසුන් හට ගුරුවරයා උගන්වන දේවල් වලින් ඇසී තිබෙන්නේ සුළු ප්‍රමාණයක් පමණි.
කන් නොඇසීමේ විවිධ ප්‍රභේද
———————————————–
1. ඉතා සුළු වශයෙන් (mild)
2. සුළු වශයෙන් (moderate)
3 තීව්ර (severe )
4. ඉතා තදබල ( profound )
කන් ඇසීමේ අඩු වැඩි බව අනුව මේ කොටස් පිළිබඳව තීරණය වේ.
මෙසේ ඇසීමේ දෝෂ ඇති බව පවසමින් රෝගියකු පැමිණි විට වෛද්‍යවරයා මුලින්ම කරන්නේ පිටත කනේ හෝ මැද කනේ කුමක් හෝ දෝෂ තත්ත්වයක් තිබේද යන්න පරීක්ෂා කර බැලීම ය. ඇසීමේ දෝෂ ඇතිවීමට හේතුව කන්වල කලාඳුරු පිරී තිබීම නම් ඒවා ඉවත් කෙරේ. එයිනුත් කන් ඇසීමේ දෝෂය සමනය නොවුණහොත් කන්වල පරීක්ෂණ සිදු කරනු ලබයි. කන්වල කිනම් හෝ දෝෂයක් තිබෙන බව පරීක්ෂණ මගින් තහවුරු වුවහොත් එම ඇසීමේ දුර්වලතාවයේ ස්වභාවය වෛද්‍යවරයා අවබෝධ කර ගනී. අවශ්‍ය නම් රෝගියා තවත් පරීක්ෂණ වලට භාජනය කරනු ඇත.
මුලින්ම සඳහන් කළ පළමු වර්ගය ඖෂධ මඟින් හෝ් ශල්‍යකර්ම මගින් සුව කළ හැකිය.
දෙවන වර්ගය ස්නායුවලට සම්බන්ධ තත්ත්වයක් නම් ඊට ප්‍රතිකාර ලෙස ශ්‍රවණ උපකරණ භාවිතය සඳහා උපදෙස් දීමට සිදුවේ. එය ප්‍රමාණවත් නොවන්නේ නම් කර්ණශංඛ බද්ධය කිරීමට සිදුවනු ඇත.
උගුර කන සහ නාසය සම්බන්ධ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඒ. බී. කිරිදන
ඉන්දු පෙරේරා