කිරි පිටි ගෙන්වීම නතර කොට රටේ අවශ්‍යතා දියර කිරි වලින් සපුරා ගැනීමත් “කිරි සිහිනයක්ද?”

මේ දිනවල මෙරට දැඩි කිරි පිටි හිඟයක් පවතී. ඉදිරියේ දී කිරි පිටි ආනයනය නතර කර මෙරට අවශ්‍යතා සපිරෙන ලෙස දියර කිරි නිෂ්පාදනය වැඩි කරන බව වෙළඳ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ. නමුත් මෙය බරපතල ප්‍රායෝගික ගැටලු රාශියක් මතු කරවන්නකි.කුඩා දරුවන්ට කෙසේ වුවද වැඩුණු දරුවන්ට සහ වැඩිහිටියන්ට කිරි අත්‍යවශ්‍ය දෙයක් නොවේ. නමුත් උදේට කිරි තේ එකක් අත්‍යවශ්‍ය වන තරමට අපේ රටේ ජනතාව කිරි බීමට ඇබ්බැහි වී සිටිති.කෙසේ වුවද කිරිපිටි ආනයනය මුළුමනින්ම නතර කරන්නේ නම් දියර කිරි පරිභෝජනය කොතෙක් දුරට අපේ රටේ බාල සහ වැඩිහිටි පරපුරට ප්‍රායෝගිකව යොදා ගත හැකිද යන්න විශේෂයෙන් සලකා බැලිය යුතු කරුණකි.
වයස අවුරුද්දට වඩා අඩු දරුවන්ට ලබා දෙන්නේ සංයුතිය වෙනස් කරන ලද කිරිපිටි වර්ගයන්ය. එළකිරිවල සංයුතිය ගැන සැලකුවහොත් එය මව්කිරිවල සංයුතියට වඩා වෙනස් වේ. එසේ නම් වයස අවුරුද්දට වඩා අඩු දරුවන්ට දියර කිරිලබා දෙන්නේ නම් එහි සංයුතිය වෙනස් කළ යුතුය.එසේම ගැබිනි මව්වරුන්ට විශේෂිත වූ කිරි පිටි වර්ග ද තිබේ. ඒවා ගැබිනි මව්වරුන්ට අවශ්‍ය ආකාරයට සංයුතිය වෙනස් කර සකස් කොට ඇති අතර ඒ ගැබිනි මව්වරුන්ට අවශ්‍ය සුවිශේෂී පෝෂණ තත්ත්වය අනුකූල වන පරිදිය.
මේ හැරුණු විට රෝගීන්ට වෙනම කිරිපිටි වර්ග, එක් එක් අයගේ අවශ්‍යතාවය අනුව ප්‍රෝටීන් අධික කිරිපිටි වර්ග ආදී වශයෙන් සංයුතියෙන් විවිධ ආකාරයට වෙනස් කරන ලද කිරිපිටි වර්ග රාශියක් ඇත. සාමාන්‍යයෙන් වැඩි දෙනෙක් පරිහරණය කරන්නේ සම්පූර්ණ යොදය සහිත කිරිපිටි වර්ගයන්ය. දියර කිරි පරිභෝජනය කරනවා නම් එය කළ යුත්තේ මෙම සම්පූර්ණ යොදය සහිත කිරිපිටි භාවිතා කරන අයයි.
දැන් අපි මේ පිළිබඳව වෙනමම විමසා බලමු.
සාමාන්‍යයෙන් කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 380 කි.මෙයින් සකස් කළ හැකි දියර කිරි ප්‍රමාණය ලීටර් 3.2 ක ප්‍රමාණයක් වේ. එය මිලි ලීටර්වලින් 3200 කි.දියර කිරි ලීටර් එකක් වෙළඳපොලේ රුපියල් 280 ක මිලකින් යුතුය. ඒ අනුව ලීටර් 3.2 ක කිරි ප්‍රමාණයක් සකස් කර ගැනීම සඳහා දියර කිරි මිලදී ගන්නේ නම් රුපියල් 896 ක් වැය කරන්නට සිදු වෙයි. රුපියල් 380ක් වැය කළ යුතු තැනට රුපියල් රු.896 ක් වැය කරන්නට සිදු වීම අපේ රටේ සාමාන්‍ය ජනතාවට කොයි තරම් ඔරොත්තු දෙයිද?
ඒ එක් පැත්තකි. මෙහි තවත් විමසා බැලිය යුතු පැති කිහිපයක් තිබේ. දියර කිරි පැකට්ටුවක් විවෘත කළ පසු එය ශීතකරණයක හෝ දින දෙකකට වඩා තබාගත නොහැකිය. එසේම තවමත් අපේ රටේ ඇතැම් නිවෙස්වල ශීතකරණ නොමැති බවද අප අමතක කළ යුතු නොවේ.
එසේම දියර කිරි පානය කරන්නේ නම් ඒවා හොඳින් නටවා ගත යුතුය. හේතුව දියර කිරි නිසා අසාත්මිකතාවයන් හටගැනීමට වැඩි ඉඩකඩක් පැවතීමයි. හොඳින් නටවා ගත් පසු එහි ප්‍රෝටීන් වල සංයුතිය වෙනස් වී ඒවා කුඩා අණුවලට බිඳී යන නිසා අසාත්මිකතාවයන් ඇතිවීම බොහෝ දුරට අඩුවී යයි. පිටිකිරි නිසා සිදුවන අසාත්මිකතාවයන් අඩු වී ඇත්තේ එළකිරි, පිටි බවට පත් කිරීමේදී අධික උෂ්ණත්වයකට ලක් කරන විට ඒවා කුඩා අණුවලට බිඳී යන නිසා ය.
එසේම දියර කිරි භාවිතයට ජනතාව හුරු කිරීමට නම් ඊට පෙර එළ හරකුන් සඳහා දෙන තණකොළ වර්ගවල ඇති රසායන ද්‍රව්‍ය පිළිබඳව ද සොයා බැලිය යුතුය . ජලයට රසායන ද්‍රව්‍ය මිශ්‍ර වීමෙන් වකුගඩු රෝග වැළඳීම අපේ රටේ විශේෂයෙන් උතුරු මැද පළාතේ බහුලව දක්නට ලැබෙන තත්වයකි. නමුත් අනෙක් පලාත් වලටත් මේවා බලපාන්නේ නැතැයි කිව නොහැකි ය. එසේනම් ගවයන් කන තණ කොළවල රසායන ද්‍රව්‍ය නැතැයි කියන්නේ කෙසේද? දියර කිරි භාවිතා කරන රටවල් වල මෙසේ ගවයන් කන තණකොළවල ප්‍රමිතිය ද විශේෂයෙන් සැලකිල්ලට ලක් කරනු ලබයි.
අනෙක් කාරණය නම් අපේ රටේ කිරි පරිභෝජනය අනුව සලකා බලන විට සියලුම ජනතාව දියර කිරි සඳහා හුරු කරවන්නට තරම් විශාල දියර කිරි නිෂ්පාදනයක් මෙරට සිදු නොවේ. එවැනි මහා පරිමාණ සත්ව ගොවිපළවල් මේ රටේ නොමැත. එපමණක් තබා අපේ රටේ ගෘහාශ්‍රිතව හදනු ලබන ගවයන් කෑම සඳහා තිබෙන තණ බිම් ද දැන් දිනෙන් දිනම අඩු වෙමින් පවතී.
ඒ අනුව ළදරුවාගේ සිට මහල්ලා දක්වා ඕනෑම කෙනෙකුට දියර කිරි පරිභෝජනය එකසේ සුදුසු නොවීම, රටේ පරිභෝජනය සඳහා ප්‍රමාණවත් වන දියර කිරි නිෂ්පාදනයක් නොමැති වීම සහ මිල අධික වීම යන මේ සියලු කාරණා මත සලකා බලන විට අපේ වැනි රටකට දියර කිරි පරිභෝජනය කොතරම් දුරට ප්‍රායෝගිකව කළ හැකිද යන්න ගැටලුවක්ව පවතී.

ළමා රෝග සහ අසාත්මිකතා පිළිබඳ විශේෂඥ
වෛද්‍ය අජිත් අමරසිංහ

ඉන්දු පෙරේරා

එතෙර - මෙතෙර