කුඩා දරුවන් අතට හසුවන ඕනෑම දෙයක් කටේ දමා ගැනීමට පෙළඹීම ස්වභාවයකි. මෙලෙස වෙරළු ඇට, රඹුටන් ඇට වැනි ඇට වර්ග උගුරේ සිරවීම නිසා මියගිය බිලිඳු දරුවන් පිළිබඳව නොයෙක් විට අපි මාධ්‍ය මගින් දකින්නෙමු. විශේෂයෙන් රඹුටන් ඇට සිරවීමේ වැඩි අවදානමක් පවතින්නේ රඹුටන් ගෙඩිය කටේ දමාගෙන සූප්පු කිරීමට දරුවන් වඩාත් කැමැත්තක් දක්වන නිසාය. මෙවැනි පලතුරු වර්ගවල ඇට පමණක් නොව පබළු, බොත්තම්, ප්ලාස්ටික් කැබලි, කුඩා නලා, බැටරි කෑලි වැනි කටේ දැමිය හැකි ඕනෑම දෙයක් කුඩා දරුවන් කටට දමා ගැනීම සුලභව සිදුවෙයි.
දකින ඕනෑම දෙයක් කටේ දමාගන්නට කුඩා දරුවන් පෙළඹෙන්නේ හේතු කීපයක් මත ය. එකක් නම් එයින් දැනෙන කුමක් හෝ රසයයි. එහි ස්වභාවය සම්බන්ධයෙන් අත්දැකීම් ලබා ගන්නට කුඩා දරුවන්ට අවශ්‍ය වීම තවත් හේතුවකි. කුඩා දරුවන්ගේ දත් වර්ධනය වන කාලයේ විදුරුමස කසන ස්වභාවයක් දැනෙන විට ද අතට හසුවන ඕනෑම දෙයක් කටේ දමාගෙන සපන්නට පෙළඹිය හැකිය. කුඩා දරුවන් නලා කටේ දමා ගන්නේ එය තමන්ට තේරෙන ආකාරයට පිඹ බලන්නටය. එසේ කටට ගෙන හුස්ම සමග ඉහළට අදින විට උඩටම ඇදී ගොස් සිර වනු ඇත. වෙරළු ඇට, රඹුටන් ඇට, සියඹලා ඇට ආදිය කටේ දමාගෙන සූප්පු කරමින් එහි රසය විඳගන්නා විට ඒවා උගුරෙන් පහළට ඇදී ගොස් හිරවීම සිදු වෙයි.
රට කජු වැනි කුඩා ඇට වර්ග ද සිරවිය හැකිය. නමුත් මෙවැනි කුඩා ඇට වර්ග ගිලුණු පසු ඒවා ස්වාසනාලය හරහා ශරීරගත වී පෙනහලු කරා ගොස් එක් පෙනහලුවක රැඳෙනු ඇත. මෙමගින් සම්පූර්ණ අවහිරවීමක් සිදු නොවන නිසාත්, පෙනහලු දෙකක් තිබෙන නිසාත් වැඩි බලපෑමක් සිදු නොවනු ඇත. නමුත් වෙරළු සහ රඹුටන් වැනි ලොකු ඇට වර්ග සිරවීම භයානක වෙයි. මේවා සිර වන්නේ උගුරෙන් පහළ ස්වරාලය හරහා ස්වාස නාලයට ඇතුළු වීමෙනි. මෙවැනි ස්ථානයක මෙබඳු ඇටයක් සිර වුණොත් එතැන සම්පූර්ණයෙන්ම අවහිර වෙයි. ඉක්මනින් එය ඉවත් නොකළොත් සිදු වන්නේ ආශ්වාස ප්‍රශ්වාසයට බාධා පැමිණීමෙන් දරුවාට අනතුරක් සිදුවීමයි.
මේ සියල්ලටමත් වඩා භයානක වන්නේ කුඩා බැටරි කෑලි සිරවීම ය. එසේ සිරවීමෙන් පසු බැටරිය පුපුරා එහි ඇති ඇසිඩ් පිටතට එයි. එම ඇසිඩ්වලින් ඒ ස්ථානයේ තිබෙන පටක සියල්ල පිළිස්සෙනු ඇත. ඉන්පසු එතැන සිදුරු වෙයි. එය ඉතා භයානක ය. මුලින් කී ඇට වර්ග සිරවීමේදී එහි හානිය තීරණය වන්නේ ඇටයේ ප්‍රමාණය, එනම් එහි ලොකු කුඩා බව අනුව ය. නමුත් මෙම කුඩා බැටරි කෑලි සිරවීමේදී එය සිරවීමෙන් වන හානිය හැරුණු විට පිළිස්සීම නිසා ද අනතුරු සිදුවේ.
උගුරේ යමක් සිර වූ විට එය හඳුනාගන්නේ කෙසේද?
සිරවීම ක්‍රම දෙකකට සිදුවේ.
1. වැඩිහිටියකු එය දකින විට සිරවීම
2. කිසිවකු එවැන්නක් නොදැක දරුවා පළ කරන කායික රෝග ලක්ෂණවලට අනුව හඳුනා ගැනීම
උගුරේ යමක් සිර වූ පසු එය මුලින්ම හඳුනා ගත හැකි ලක්ෂණය වන්නේ කටහඬ වෙනස් වීමයි. දරුවා හඬන ආකාරයේ ද වෙනසක් ඇතිවේ. එසේම හුස්ම ගැනීමේ අපහසුතා ඇති ඇතිවීම, සිරුර නිල් පැහැවීම, හුස්ම ඉහළ පහළ ගැනීමේදී අමුතු ශබ්දයක් ඇසීම තවත් ලක්ෂණ ලෙස දක්වන්නට පුළුවන.
හිර වූ ගමන්ම කැස්සක් ඇතිවේ. මෙහිදී කැස්ස යථා තත්ත්වයට පත්වී දරුවා කිසිදු වෙනසක් පල නොකළහොත් “දැන් කිසිදු ප්‍රශ්නයක් නැතැ” යි සිතා එය අමතක කිරීම කිසිසේත් නුවණැති ක්‍රියාවක් නොවේ. සමහර දරුවන් මෙසේ උගුරේ යමක් සිරකර ගත් පසු හුස්ම ගැනීමේ දී අමුතු ශබ්දයක් ඇසේ. මින් පෙර කිසිවිටෙක පපුවේ හතියක්, හුස්ම ගැනීමේ අපහසුවක් නොතිබූ දරුවකු තුළ වුවද ඇතිවන මෙම ශබ්දය, පපුවේ හතිය තිබෙන දරුවකු නගන ශබ්දය හා සමාන ය. එසේම කිසිදු අසනීප තත්වයක් නොදැක්වූ දරුවකුට මේ නිසා හිටිහැටියේ උණ වැළඳීමටත් පුළුවන.
මෙවැනි අවස්ථාවකදී කළ යුත්තේ කුමක්ද?
මුලින්ම ප්‍රථමාධාර දීම වැදගත් වේ. දරුවාගේ මුඛය ඇර බලන විට සිර වූ දෙය පෙනේ නම් එය අරගන්නට උත්සාහ කළ යුතුය. එය සම්පූර්ණයෙන්ම පෙනෙන්නේ නැත්නම් එසේ ගන්නට උත්සාහ නොකර හිඳීම වඩා සුදුසුය. හරි හැටි පෙනෙන්නේ නැතිව ගන්නට උත්සාහ කිරීමෙන් තවත් ඇතුලට යාමේ අවදානමක් තිබෙන නිසා ය. එවිට දරුවාට කහින්නට උනන්දු කරවන්න.
කුඩා දරුවන්ගේ නම් පිටට තට්ටු කිරීමේදී බොහෝ විට මෙලෙස හිර වූ දේවල් පිටතට පැමිණීමේ හැකියාව ඇත. එසේම කුඩා දරුවකු නම් ඇඳ මත පැත්තට හරවා තබා හිස බිමට හරවා ඉන්පසු පිටට තට්ටු කරන්න. ළදරුවකු නම් මුනින් අතට හරවා පිටට තට්ටු කළ හැකිය. ඒ ගමන්ම පපුව ප්‍රදේශය හෙමිහිට උඩට තෙරපීමෙන් පහළ තිබූ දේ උඩට ගැනීමට පුළුවන. වයසින් තරමක් වැඩි දරුවකුගේ නම් පිටුපසින් පැමිණ දෑත දෙපසින් දමා දරුවා සිට ගෙන සිටියදීම එක් අතක් මිටි කර ඒ අත පිටට තබා තෙරපුමක් දිය යුතුය.
මෙලෙස හදිසි ප්‍රථමාධාර ලෙස මේවා දෙන අතරේ දරුවා ඉක්මනින් රෝහලට ගෙනයාමට කටයුතු කළ යුතුය. රෝහලේ දී එන්ඩොස්කොපි පරීක්ෂණයක් මගින් සිරුරට ඇතුල්වී තිබෙන ආගන්තුක ද්‍රව්‍යය හඳුනාගෙන එය ඉවත් කිරීමට පුළුවන. කුඩා දරුවන්ගේ නම් වෙන්ටිලේටින් බ්රොන්කොස්කෝප් උපකරණය මගින් සිර වූ දෙය ඉවත් කෙරේ. මෙසේ ක්ෂණික ප්‍රතිකාරවලට එළැඹීමට හැකි වුණොත් දරුවාට අනතුරක් සිදුවීම වළක්වා ගත හැකිය.
උගුර කන නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඒ. බී. කිරිදන
සැකසුම ඉන්දු පෙරේරා