දරුවන් ලොකු මහත් වෙන විට ඔවුන්ට තරහ යාම ද වැඩි බවට බොහෝ දෙමාපියෝ මැසිවිලි නඟති.සමහර දෙමාපියන් එයින් නතර නොවී දරුවාට මානසික ආබාධයක් දැයි දැනගන්නට වෛද්‍යවරුන් කරා ගෙන යන අවස්ථා ද තිබේ. එනිසා කුඩා දරුවන්ගේ තරහ යාම අපට පහසුවෙන් අමතක කළ නොහැකි මාතෘකාවකි.
වයස අවුරුදු එක හමාරක් පමණ වන තුරු කුඩා දරුවකුට තරහ ගිය විට එය පිටතට පෙනෙන්නේ නැත. අවුරුදු එක හමාර පසු වූ පසු දරුවා, තමාට තරහ ගිය විට එය ප්‍රකාශ කරන්නට පටන් ගනියි. අවුරුදු 3 – 4 පමණ වන විට මේ තත්ත්වය වඩාත් වැඩියෙන් පෙනෙනු ඇත.
කුඩා දරුවකුට තරහ ගිය විට එය ප්‍රකාශ කරන විධි තිබේ.
අඩි පොළොවේ ගැසීම, අතට හසුවන දේ විසි කිරීම සහ පොළොවේ ගැසීම, දෙමාපියන්ට සහ නිවසේ අනෙකුත් අයට පහරදීම සහ හැපීම, මහ හඬින් කෑගැසීම ආදිය මේ අතරින් සුලබව දැකිය හැකි ඒවා ය.
දරුවන් මෙලෙස කෝප ගන්නා විට ” කලින් නම් මේ ළමයා හොඳට හිටියා. දැන් නිතරම තරහ යනවා” යන ගැටලුව දෙමාපියන් තුළ මතු වේ. සැබැවින්ම මෙය කුඩා දරුවන්ගේ මානසික වර්ධනයේ ම කොටසකි. ඒ මිස මානසික ආබාධයක් නොවේ.
වයස අවුරුදු එක හමාරක් පමණ වන විට කුඩා දරුවන්ට අනෙක් අයගේ අවධානය යොමු කරවා ගැනීමට අවශ්‍ය වේ. යමක් ඉල්ලූ විට එය නොදෙන්නේ නම් දරුවා කෝපයට පත්වන අතර ඉන්පසු අවධානය යොමු කර ගැනීම සඳහා ඉහත කී ආකාරයේ කුමක් හෝ දෙයක් කරනු ඇත. අනෙක දරුවා ක්‍රමයෙන් වැඩෙත්ම කුඩාම කාලයේ දී මෙන් නොව තමන් දකින විවිධ දේවල් අවශ්‍ය වනු ඇත. එසේ තමන්ට අවශ්‍ය දේ ඉල්ලූ විට නොදී සිටියොත් දරුවාට අධික ලෙස තරහ යයි.
වයස අවුරුදු එක හමාර පසු වූ දරුවකුට වචන හොඳින් කතා කිරීමට නොහැකි ය. එවිට දරුවා ඉතා අපහසුවෙන් තමන්ගේ භාෂාවෙන් යමක් කියද්දී එය වැඩිහිටියන්ට නොතේරෙන විටත් දරුවාට තරහ යයි. මුලදී නම් දරුවා කරන්නේ තමන්ට අවශ්‍ය දෙයක් නොලැබුණු විට හැඬීම ය. නමුත් මේ වයසට එන විට දරුවා හැඬීම වෙනුවට කරන්නේ බොහෝ විට තමන් තුළ ඇතිවන කෝපය ඒ අයුරින්ම ප්‍රකාශ කිරීම ය.
කුඩා දරුවන්ට තරහ යන හේතු කිහිපයක් පිළිබඳව දැන් විමසා බලමු.
* විවිධ දේ අත්හදා බැලීමට තිබෙන කැමැත්ත
වයස අවුරුදු එක හමාරක් පමණ ඉක්මවූ පසු දරුවාට අලුත් අලුත් දේවල් අත්හදා බැලීමේ අවශ්‍යතාවය ඇති වේ. මව ගිනි කූරක් ගසා ගින්දර දල්වනු දකින දරුවාට ද ගිනිකූරක් ගැසීමේ ආශාව ඇති වනු ඇත. ඉන්පසු දරුවා මවගෙන් ගිනි පෙට්ටිය ඉල්ලා කරදර කරන්නට පුළුවන. මව එය නොදුන් කල දරුවා කෝප වෙයි. ඉන්පසු තම කෝපය ප්‍රකාශ කිරීම සඳහා දරුවා කුමක් හෝ දෙයක් කරනු ඇත.
මව පිහියෙන් පාන් කපනු දුටු විට දරුවාට ද පාන් කැපීමට අවශ්‍ය වේ. නමුත් මව ඒ සඳහා පිහිය නොදෙන විට දරුවා කෝපයෙන් ඊට ප්‍රතික්‍රියා දක්වනු ඇත.
* අනුකරණය කිරීමේ ආශාව
වැඩිහිටියන් කරන දේ අනුකරණය කිරීමට කුඩා දරුවන් ඉතාමත් කැමති ය. ඉහත දැක් වූ ගිනි පෙට්ටියේ සහ පිහියේ උදාහරණ දෙකත් මීට සමාන වේ. ඒ හැරුණු විට තම පියා කෝපයට පත් වූ විට බඩු පොළොවේ ගසන්නේ නම් දරුවා ද එය කරනු ඇත. තමන්ගේ මව සහ පියා කරන දේවල් අනුකරණය කිරීමට දරුවෝ විශේෂයෙන්ම පෙළඹෙති.
* දරුවා අනවශ්‍ය ලෙස ආරක්ෂා කරන්නට යාම
නිදසුනක් ලෙස කුඩා දරුවන් වැලි සමග සෙල්ලම් කිරීමට කැමති ය. එය වැළැක්වීම යනු දරුවා අනවශ්‍ය ලෙස ආරක්ෂා කිරීමට යාමකි. මෙලෙස තමන් කැමති දෙයක් කරන්නට එපා කියන විට දරුවාට තරහ යයි. දරුවාට යමක් කරන්නට එපා කියන්නේ නම් එය නරක දෙයක් විය යුතු ය. එසේ නැතිව හැමදේම ” එපා එපා” කියන්නට යාමෙන් දරුවා කෝපයට පත්ව කෑගසමින් කලබල කරනු ඇත.
* අනවශ්‍ය ලෙස දැඩි නීති රීති පැනවීම
“අරක කරන්න එපා, මේක කරන්න එපා ” ආදී වශයෙන් හැමදේටම නීති පනවන විටත් දරුවා කෝපයට පත්වේ. පිහිය ඉල්ලා දරුවා කරදර කරන්නේ නම් එයින් අත කැපෙන බව දරුවාට ඒත්තු යන ආකාරයට පවසා එය “අල්ලන්නට එපා “යැයි නීතියක් දැමීමේ වරදක් නැත. නමුත් දරුවා වතුර කරාමය ඇර වතුර අල්ලන විට ද එලෙසින්ම නීති පැනවීම සුදුසු නොවේ.
නමුත් “ටැප් එක ටිකක් ඇරගෙන හිටියට කමක් නෑ. ඒත් හැමතිස්සෙම අරින්න එපා. ගොඩක් වෙලා ඇරගෙන ඉන්නත් එපා. ඔයාගේ අත් දෙක සෝදලා ටැප් එක වහලා දාන්න ” යනුවෙන් ලිහිල් නීතියක් පැනවීම මෙහිදී කළ හැකි ය.වතුර අත ගෑම ද දරුවාගේ මානසික වර්ධනයට අවශ්‍ය වේ. එනිසා ඊට යම් ප්‍රමාණයකින් ඉඩ දිය යුතුය . බොහෝ වෙලාවට දෙමාපියන් දරුවාට පනවන නීති රීති වල පිළිවෙළක් නොමැත. දරුවාට සමහර අවස්ථාවල වතුර අල්ලන්නට ඉඩදී තවත් සමහර අවස්ථාවලදී “වතුර අල්ලන්න එපා” කියමින් කෑ ගසනු ඇත. මුලදී වතුර අල්ලන්නට ඉඩ දුන් විට දරුවා සිතන්නේ වතුර ඇල්ලීමේ වරදක් නැති බව ය. පසුව ඊට එපා කියන විට දරුවා කෝපයට පත්වෙයි. එනිසා සාධාරණ සීමාවක් තුළ දරුවන්ට යම් යම් දේ කරන්නට ඉඩ දිය යුතු වේ.
* දෙමාපියන්ගේ කාර්යබහුල බව
දෙමාපියන්ට බොහෝ වැඩ තිබෙන බව සැබෑ ය. එනිසා දරුවන්ට කෑම කැවීම, නෑවීම වැනි දේ කරන විට එය ඉතා ඉක්මනින් අවසන් කරන්නට මව්වරු පෙළඹෙති. නමුත් දරුවාට එබඳු හදිස්සියක් නැත. එසේම මවගේ වැඩ ගැන දරුවාට වැටහීමක් ද නොමැත. එබැවින් තමන්ට කැමති ලෙස හෙමින් හෙමින් එම කාර්යයන් කිරීමට දරුවා කැමති ය. එවිට කෝපයට පත්වන මව දරුවාට සැර කරනු ඇත. මේ නිසා දරුවාට තරහ යයි. ඒ නැතත් මව ඉක්මනින් ඉක්මනින් එම කාර්යයන් කිරීමට යාමේදී ද දරුවා එය ප්‍රතික්ෂේප කරනු ඇත. මෙබඳු අවස්ථාවලදී ද දරුවා කෝපයට පත්වේ.
කුඩා දරුවකුට තරහ යන්නේ නම් ඊට හේතුව සොයා බැලිය යුතුය. එය ඉහත කී පරිදි දෙමාපියන්ගේ පැත්තෙන් වූ අඩුපාඩුවක් නම් එය මග හරවා ගැනීම දෙමාපියන්ගේ යුතුකමකි.
දරුවා කෝප වී කලබල කරන්නේ තමාට අවශ්‍ය දේ ඉටු කරවා ගැනීම සඳහා අවධානය යොමු කරවා ගන්නට ය. සමහර කුඩා දරුවන් සාදයක් වැනි පිරිසක් රැස්ව සිටින අවස්ථාවකදී පවා මෙලෙස කෝපයට පත්ව කලබල කරනු ඇත. එවැනි අවස්ථාවකදී දරුවාට පහර දීම නොකළ යුතු වේ. එවිට ප්‍රශ්නය තවත් උග්‍ර අතට හැරෙනු ඇත. ඒ අනුව මුලින්ම දරුවා ඔසවා ගෙන එතැනින් පිටතට රැගෙන යා යුතු ය. එවිට පිරිසකගේ අවධානය දරුවා වෙත යොමුවීම මඟ හැරේ. ” මං කෑ ගැහුවට වැඩක් නෑ. ගොඩක් අය මං දිහා බලන්නෙ නෑ” යන්න දරුවා එමගින් වටහා ගනු ඇත.
මීළඟට දරුවා මෙසේ කෑ ගසමින්, කලබල කරමින් ඉල්ලා සිටින්නේ කුමක්ද? යන්න වටහා ගන්න. එය දරුවාට අනතුරක් විය හැකි දෙයක් නම් තේරෙන වයසේ දරුවකුට එය පහදා දිය හැකිය. එවැනි දෙයක් වටහා ගැනීමට නොහැකි කුඩා දරුවකුට නම් ඒ වෙනුවට විකල්ප දෙයක් ලබා දී දරුවා සැනසීමට උත්සාහ කරන්න .දරුවා ඉල්ලන දේ ගැන කතා කිරීමෙන් වැළකී දරුවාගේ අවධානය වෙනතකට හැරවීමට උත්සාහ කරන්න. දරුවාගේ කෑගැසීම වැඩි වන්නේ නම් බිම පෙරළෙමින් තමාට වුවමනා දෙය ම ඉල්ලා සිටින්නේ නම් “ඔයාට අපි ඒක දෙන්නෙ නෑ .ඔයා කැමති නම් බිම පෙරළෙන්න” යනුවෙන් පවසා දරුවා ගැන අවධානය නොදක්වන අයුරින් සිටින්න. එවිට දරුවා මද වේලාවකින් තමන්ගේ හැසිරීම් වෙනස් කරගනු ඇත.
ළමා රෝග සහ අසාත්මික රෝග විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ
ඉන්දු පෙරේරා