පිඟානේ මස් කැබැල්ලක් නොතිබුණොත් ආහාර ගැනීමට රුචියක් නැති අය සිටිති.ඒ අතර සමහරු මාළු, කරවල කිසිවක් නොකති, නමුත් දිනපතා මස් කති .
ආහාර පිළිබඳ ආකල්ප අතීතයේ සිටම අපට ලැබුණු ඒවා ය. දවල්ට බත් කෑවේ නැත්නම් කෑම නොකෑවා වගේ දැනෙන්නේත්, බත්පතේ මස්, මාළු කරවල වැනි දෙයක් නොතිබුණොත් විශාල අඩුවක් ලෙස දැනෙන්නේත් මේ ආකල්ප නිසා ය. මංගල උත්සව ඇතුළු උත්සව අවස්ථාවල කෑම මේසයේ මස් හා මාළු අනිවාර්ය සාධකයකි. මෙහිදී මාළුවලටත් වඩා මස්වලට වැඩි ප්‍රමුඛතාවක් හිමිවෙයි.
මස්වල තිබෙන මෙම දිව පිනා යන රස ලැබුණේ මස්වලින්ම ද?
එසේ නම් ඔබට වතුර පමණක් එකතු කර තම්බන ලද මස් ආහාරයට ගැනීමට හැකි විය යුතු ය. නමුත් මස් කිසිසේත් අපට ඒ අයුරින් ආහාරයට ගත හැකි නොවේ. සිංහයන්, කොටින්, වලසුන් වැනි සත්තු අමු මස් ලේ පිටින්ම ආහාරයට ගනිති. නමුත් මිනිසා යනු එලෙස මස් ආහාරයට ගන්නා සත්වයෙක් නොවේ.
මස් වලින් ලැබෙන පෝෂණය හේතුවෙන් වැඩිහිටියන් අපට කුඩා කල සිටම මස් කෑම පුරුදු කර ඇත. ආහාරයට මස් මාළු ඉතා ගුණයි යනුවෙන් අප අසා ඇත්තේ බහ තෝරන වියේ සිටම ය.
නමුත් පෝෂණය සම්බන්ධයෙන් බලන විට, මස් වලින් ලැබෙන පෝෂණයට කිසිසේත්ම නොදෙවෙනි පෝෂණයක් ලැබෙන තාක්ෂණයෙන් දියුණු ආහාර වර්තමානයේ තිබෙන බව බොහෝ දෙනෙකු නොදන්නවා විය හැකිය. එක් නිදසුනක් වන්නේ සෝයා ය. සෝයාවලින් සාදනු ලබන කිරිවල, එළකිරි වලින් ලැබෙන පෝෂණයට නොදෙවෙනි වූ පෝෂණ ගුණයක් ඇත.
එකම ගැටලුව වන්නේ විටමින් බී12 මෙහි හිඟ වීමය. නමුත් එය ශරීරයට අවශ්‍ය වන්නේ සුළු ප්රමාණයකිනි. ඒ අනුව එය වෙනත් ආහාරයකින් පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව තිබේ.
නිකම්ම නිකම් තැම්බීමෙන් පමණක් ආහාරයට ගත නොහැකි මේ මස්, කෑමට සුදුසු ලෙස අප සකස් කර ගන්නේලුණු, මිරිස්, තුනපහ ඇතුළු විවිධ රසකාරක වර්ග යෙදීමෙනි. ඒ අනුව මස් අපට කන්නට සුදුසු තත්ත්වයට පත් කරගන්නට නම් එම අනිකුත් දේවල් අත්‍යවශ්‍යම වෙයි. එසේ නම් අප මේ කරන්නේ දිව රවටා ගැනීමකි.
ඔබ මස් නිෂ්පාදනය කරන තැනකට කෙදිනකවත් ගොස් නැතිවා විය හැකි ය. මරණයට පත් වන මොහොතේ දී මේ සතුන්ටත් අපට මෙන්ම අතිමහත් වූ වේදනාවක් සහ මරණ බයක් ඇති වේ.
නමුත් මිනිසුන්ට එරෙහිව කිසිවක් කර කියාගත නොහැකි මේ අසරණ සතුනට කළ හැකි එකම දෙය වන්නේ මිනිසුන් විසින් තමන්ට බලහත්කාරයෙන් අත්කර දෙන වේදනාත්මක මරණය වැළඳ ගැනීම පමණි. මස් මරන පුද්ගලයාට සතාගේ වේදනාව පලක් නැත. ඔහුගේ අභිලාෂය වන්නේ හැකිතාක් ඉක්මනින් වැඩි සතුන් ප්‍රමාණයක් මරා මස් ගොඩ විශාල කර ගැනීමයි.
මස් මාංශ වලින් වැළකී අවිහිංසාව අගයන දෙමාපියන්ගේ දරුවන් ද අනාගතයේ දී අවිහිංසාව අගයන පුරවැසියන් බවට ඉබේම පත් වනු ඇත. එනිසා ඔබේ දරුවන්ට මේ දේවල් පැහැදිලි කර දිය යුතුය. එවිට අන් කෙනෙකුගේ වේදනාව හඳුනා ගන්නට සහ ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන්නට හැකි සංවේදී පුද්ගලයෙකු ලෙස ඔබේ දරුවා වැඩෙනු ඇත.
දුම්බීම නිසා පිළිකා වැළඳෙන බව දක්වන වැකියක් සිගරැට් පැකැට්ටුවේ සඳහන් කිරීම අනිවාර්ය නීතියකි. එලෙස ගවමස් ද පිළිකා හැදෙන්නට හේතු කාරක වේ. එපමණක් නොව ගව මස් ඇතුළු මස් මාංශ වල ඇති මේදය ශරීරයේ කොලෙස්ටරෝල් සාන්ද්‍රනය වැඩි කිරීමේ අවදානම කිහිප ගුණයකින් වැඩි කරවයි.
මේ අනුව නිතර මේවා ආහාරයට ගන්නා අයට හෘදයාබාධ වැළඳීමේ අවදානමද වැඩි ය.
“දුම්බීම පිළිකා ඇතිකරයි, දුම්බීම හෘදයාබාධ ඇතිකරයි” ආදී වශයෙන් වූ වැකි සිගරැට් පැකැට්ටුවේ පිට පැත්තේ සඳහන් කිරීම අනිවාර්ය නම්, ගවමස් අලෙවිසල් ඉදිරිපිටත් මස් නිසා ඉහත සඳහන් රෝග හටගැනීමේ විශාල අවදානමක් තිබෙන බව සඳහන් දැන්වීම් පුවරු ගැසීම අනිවාර්ය කළ නොහැකිද ?
ඒ සමගම මස් පිණිස ගවයන් මරා දමද්දී ඔවුන් විඳිනු ලබන අසීමාන්තික මරණ වේදනාව සහ මරණ බය පිළිබිඹු කරන “කටවුට්” වැනි දෙයක් ද ගව මස් අලෙවිසල් ඉදිරිපිට ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කළ හොත් මස් වලට ගිජු වූ වැඩිහිටි පරපුර කෙසේ වෙතත්, තරුණ සහ ළමා පරපුර අනාගතයේ ගවමස් කෑමෙන් මුළුමනින්ම අත්මිදීමේ පැහැදිලි අවකාශයක් ඇත.
රටේ ජීවනාලිය අපේ දරුවන් ය. මේ රට භාර ගන්නේ ඔවුන් ය. ඔවුන් යහපත් ලෙසින් හැඩගැස්වීම වැඩිහිටියන්ගේ යුතුකමකි. ඔවුන් ගව මස් වලින් වැළකුණොත් එය අපේ රටේ ගව ඝාතනයට තිත තැබීමට තිරසාර පිළියමක් වන අතර ඔවුන්ගේ ශාරීරික නිරෝගීභාවය සඳහා ද එය බෙහෙවින් ඉවහල් වෙයි.
ආගමික හේතු මත මස් මාංශ ආහාරයට නොගෙන, ශාක පමණක් ආහාරයට ගන්නා ජනතාවක් සිටින රටවල මෙවැනි ගැටලු නැතිව මනා සෞඛ්‍ය සම්පන්නව ඔවුන් ජීවත් වන බව තහවුරු වී තිබේ.
අපගේ දරුවන් කරුණාව අනුකම්පාව හඳුනන සංවේදී හදවත් ඇති පුද්ගලයන් වීම සාමකාමී රටක් සඳහා බෙහෙවින් ඉවහල් වන අතර, මේ බව තවමත් කිසිවකු විසින් හෝ හඳුනා ගෙන නොමැති වීම කණගාටුවට කරුණකි.
කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා