කොරියානු කලාපයේ යුද්ධයක් ඇති වෙයි ද?

මෙය ලෝකයේ කලාප කිහිපයක්ම යුද උණුසුමෙන් ඇලලී ඇති කාලයකි. යුක්රේන යුද්ධය නිසා යුරෝපය තුළ ද, ඊශ්‍රායල-හමාස්- හිස්බුල්ලා ගැටුම් නිසා මැද පෙරදිග ද විශාල අස්ථාවරත්වයක් ගොඩ නැගී තිබේ. ඉදිරියේ දී ආසියානු කලාපයේත් මෙවැනි ගැටුම්කාරී තත්වයක් ඇති වෙයි ද? මේ ගැන මේ වනවිට බොහෝ පාර්ශ්ව තුළ යම් සැකසංකා වර්ධනය වෙමින් ඇති ආකාරයක් දැකිය හැකි වේ. එයට ප්‍රධාන වශයෙන්ම පසුබිම් වන්නේ තායිවානය සහ චීනය අතර මෙන්ම උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර ද වර්ධනය වෙමින් ඇති ආතතීන් ය.

කොරියානු ප්‍රශ්නයට අදාළ අලුත් උණුසුම් තත්වයක් පසුගිය දිනවල වාර්තා විය. එයට හේතු වූයේ දකුණු කොරියාව උතුරු කොරියාවට ඉහළින් ඩ්‍රෝන යානා කිහිපයක් පියාසර කරවීම පිලිබඳ සිද්ධියකි. උතුරු කොරියානු විදේශ අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් චෝදනා කර තිබුණේ පසුගිය 11 වැනි දින ය. ඔවුන් පවසා තිබුණේ ඒ ආසන්න දිනවල රාත්‍රි කාලයන් හි දකුණු කොරියානු ඩ්‍රෝන යානා උතුරු කොරියානු අගනුවර වන පියොංග්යැං නගරයට ඉහළින් පියාසර කරමින් දේශපාලන ප්‍රචාරක පත්‍රිකා හෙලා ඇති බව යි.

මේ අතරින් කොරියානු ප්‍රශ්නයට අදාළ අලුත් උණුසුම් තත්වයක් පසුගිය දිනවල වාර්තා විය. එයට හේතු වූයේ දකුණු කොරියාව උතුරු කොරියාවට ඉහළින් ඩ්‍රෝන යානා කිහිපයක් පියාසර කරවීම පිලිබඳ සිද්ධියකි. උතුරු කොරියානු විදේශ අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් චෝදනා කර තිබුණේ පසුගිය 11 වැනි දින ය. ඔවුන් පවසා තිබුණේ ඒ ආසන්න දිනවල රාත්‍රි කාලයන් හි දකුණු කොරියානු ඩ්‍රෝන යානා උතුරු කොරියානු අගනුවර වන පියොංග්යැං නගරයට ඉහළින් පියාසර කරමින් දේශපාලන ප්‍රචාරක පත්‍රිකා හෙලා ඇති බව යි. උතුරු කොරියානු පාලනය විවේචනය කරමින් ගොතන ලද සාවද්‍ය කාරණා මෙම පත්‍රිකාවල අඩංගු බවට ද ඔවුන් චෝදනා කර තිබේ.

කිම් ජොං උන්

දකුණු කොරියාව මේ ආකාරයෙන් උතුරු කොරියානු විරෝධී දේශපාලන පත්‍රිකා උතුරු කොරියාවට හෙලීම දැන් කාලයක සිටම සිදුවෙමින් තිබෙන්නකි. කලින් ඔවුන් මෙම පත්‍රිකා දේශසීමාව හරහා එව්වේ වායු පිර වූ බැලූන යොදා ගනිමිනි. ඒ සම්බන්ධයෙන් ද උතුරු කොරියානු බලධාරීහු දිගටම චෝදනා එල්ල කරමින් සිටියෝය. පත්‍රිකා හෙලීම සඳහා ඩ්‍රෝන යානා යොදා ගත් බව පැවසුණු පළමු අවස්ථාව මෙය යි.

මෙම ඩ්‍රෝන යානාවල යයි පැවසුණු ඡායාරූප කිහිපයක් ද උතුරු කොරියාව ප්‍රසිද්ධියට පත් කර තිබිණි.

මෙය දරුණු ප්‍රකෝපකාරී ක්‍රියාවක් බවත්, මෙවැනි ක්‍රියා අන්තිමේ අවි ගැටුම් සහ යුද්ධයක් දක්වා පවා දුරදිග යා හැකි බවත් උතුරු කොරියානු බලධාරීන් පවසා තිබෙනු දැකිය හැකි විය. එපමණක් නොව ඔවුන් සිය දේශසීමාවේ සිටින හමුදා සෙබළුන් සූදානමින් තැබීමට ද පියවර ගෙන තිබිණි. වෙඩි තැබීමට සූදානමින් සිටින ලෙස මෙම හමුදා සෙබළුන්ට දැනුම් දී තිබූ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මෙයට අදාළව දකුණු කොරියාව ද ප්‍රකාශයක් කර තිබිණි. ඔවුන් පවසා තිබුණේ තමුන් ද ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව යි.

මෙම සිදුවීම්වලින් දින දෙකකට පසු උතුරු කොරියාව මහා මාර්ග සහ දුම්රිය මාර්ග කිහිපයක ඇතැම් තැන් පුපුරුවා හැරීමට කටයුතු කළේය. මේවා උතුරු කොරියාව සහ දකුණු කොරියාව යා කරන මාර්ග බව සඳහන් වේ. ඒ අතර උතුරු කොරියානු නායක කිම් ජොං උන් ගේ සොහොයුරිය වන කිම් යෝ ජොං ද තර්ජනාත්මක ප්‍රකාශයක් කර තිබුණාය. ඇය පවසා තිබුණේ මෙවැනි ඩ්‍රෝන යානා නැවත උතුරු කොරියාවට ඇතුල් වුවහොත් දකුණු කොරියාවට භයානක ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්නට සිදුවනු ඇති බව යි. කිම් යෝ ජොං උතුරු කොරියානු පාලනයට සම්බන්ධ ප්‍රබල චරිතයක් ලෙස සැලකේ. කිම් ජොං උන් ගෙන් පසු එරට නායකත්වයට ඇය පත්වනු ඇති බවට ද පසුගිය කාලයේ කතා පැතිරිණි.

උතුරු කොරියාවේ තරුණයන් මිලියන 1.4 කට ආසන්න සංඛ්‍යාවක් හමුදාවට එක් වීම සඳහා අයදුම් කර ඇති බවක් ද එරට නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනු දැකිය හැකි විය. ඒ අතර කිම් ජොං උන් හමුදා නායකයක් කැඳවා සාකච්ඡාවක් පවත්වා තිබූ බවක් ද මාධ්‍ය වාර්තා කළේය. විශ්ලේෂකයන් පවසන්නේ මෑත කාලයේ මෙම දෙරට අතර ආතතීන් මෙතරම් උණුසුම් මට්ටමකට ළඟා වූ පළමු අවස්ථාව මෙය බවයි.

උතුරු කොරියාව මාධ්‍ය වෙත නිකුත් කර තිබූ ඩ්‍රෝනයක ඡායාරූපයක්

උතුරු කොරියාවට ඉහත කී ඩ්‍රෝන යානා යවන්නට ඇත්තේ දකුණු කොරියාවේ සිටින දේශපාලන ක්‍රියාකාරිකයන් විය හැකි බවට අදහස් පළ වී තිබිණි. මෙයට පෙර ප්‍රචාරක පත්‍රිකා රැගත් බැලූන යවා තිබුණේ ද ඔවුන් ය. නමුත් මෙවැනි ක්‍රියාකාරිකයන්ගේ සංවිධානයක ප්‍රධානියකු පවසා තිබුණේ තමුන් උතුරු කොරියාව වෙත ඩ්‍රෝන යානා නොයැවූ බව යි.

කාලයක සිටම පසමිතුරු රාජ්‍යයන් දෙකක් වන උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර මෙයට පෙර ද යුද ගැටුමක් ඇති වී තිබේ. ඒ නවසිය පනස් ගණන්වල ය. 1950 වසරේ ආරම්භ වූ මෙම කොරියානු යුද්ධය 1953 වසරේ සමතයකට පත් වුවත් ඔවුන් නිල වශයෙන් සාම ගිවිසුමකට එළැඹුණේ නැත. ඒ නිසා තවමත් ඔවුන් සැලකිය හැක්කේ යුද වැදී සිටින ජාතීන් දෙකක් ලෙසිනි. ඉහත කී කොරියානු යුද්ධයේ දී මිලියන 2.5 කට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත් විය.

කෙසේ හෝ වේවා, මෙම දෙරට අතර උත්සන්න වෙමින් ඇති ආතතිය නිසා ඉදිරියේ දී යුද ගැටුමක් ඇති වේවිද යන සැකය බොහෝ දෙනා තුළ නොසන්සුන් බවක් ජනිත කර තිබේ. නමුත් ඇතැම් විශ්ලේෂකයන් පවසන්නේ එවැනි යුද්ධයක් දරා ගැනීමට තරම් ආර්ථික ශක්තියක් ඔවුන්ට නොමැති නිසා යුද ගැටුමක් ඇති වීමට තිබෙන ඉඩ අවම බව යි.

දේශපාලන පත්‍රිකා හෙලීමට අමතරව තවත් විවිධ කාරණා නිසා ද මෑත කාලයේ මෙම දෙරට අතර ආතතිය ගිනියම් වෙමින් තිබිණි. උතුරු කොරියාව ක්‍රියාත්මක කරමින් සිටින මිසයිල නිශ්පාදන වැඩසටහන දකුණු කොරියාව තුළ විශාල නොසන්සුන්තාවක් ඇති කර තිබෙන්නකි. ඒ අතර දකුණු කොරියාව ඔවුන් ගේ මිත්‍ර ඇමරිකාව සමග එක්ව ඒ ආසන්න මුහුදේ හමුදා අභ්‍යාස පැවැත්වීම උතුරු කොරියාව තුළ නොරුස්නා බවක් මතු කර ඇත. උතුරු කොරියාව එය සලකන්නේ තමුන් සමග යුද්ධ කිරීමට සූදානම් වීමක් ලෙසිනි.

කෙසේ හෝ වේවා, මෙම දෙරට අතර උත්සන්න වෙමින් ඇති ආතතිය නිසා ඉදිරියේ දී යුද ගැටුමක් ඇති වේවිද යන සැකය බොහෝ දෙනා තුළ නොසන්සුන් බවක් ජනිත කර තිබේ. නමුත් ඇතැම් විශ්ලේෂකයන් පවසන්නේ එවැනි යුද්ධයක් දරා ගැනීමට තරම් ආර්ථික ශක්තියක් ඔවුන්ට නොමැති නිසා යුද ගැටුමක් ඇති වීමට තිබෙන ඉඩ අවම බව යි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර