මේ දිනවල ලොව පුරා පවතින කොවිඩ් වසංගතය හමුවේ සාමාන්‍ය ජනතාව තුළ කොවිඩ් ආසාදිතව මිය යන්නවුන්ගේ මළ සිරුරු කෙරෙහි අතිරේක බියක් හට ගෙන තිබේ.ඒ එම මළ සිරුරු මඟින් ජීවත් වන්නවුන් හට කොවිඩ් ආසාදනය විය හැකිය යන බිය නිසාය.එනිසාම එම මළ සිරුරු පිළිබඳ අවසන් කටයුතු ද විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් රජය මඟින්ම සිදු කරනු ලබයි.එහෙත්,කිසියම් හදිසි මරණයක් සම්බන්ධ මළ සිරුරක් කොවිඩ් ආසාදනය වී තිබුණ ද එය පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා යොමු වුව හොත් ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව සකසුණු ආරක්ෂිත ක්‍රමවේද භාවිත කොට එම මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ වලට ලක් කිරීමට අධිකරණ වෛද්‍ය වරුන්ට සිදු වෙයි.තත්වය එසේ තිබිය දී කෙනෙකු මිය ගිය විට එම සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් කිරීම නැත්නම් බොහෝ දෙනෙකු පවසන පවසන අන්දමට “මිනිය කපන්නට”සිදුවීම ඥාතීන්ට නම් බොහෝවිට කනස්සල්ලට හේතුවකි .ප්‍රාණය නිරුද්ධ වුවද තම ඥාතියාගේ සිරුර විවෘත කිරීම මිය ගිය අයට තවත් වද දීමකැයි හෝ එය මහත් බියජනක දෙයකැයි බොහෝ ඥාතීහු සිතීම ඊට හේතුව වන්නට පිළිවන .
මේ ආකාරයට පශ්චාත් මරණ පරීක්ෂණයක් නීතිමය අවශ්‍යතාවයක් හේතුකොටගෙන මෙන්ම යම් රෝගයකින් මිය ගිය විට විද්‍යාත්මක පසු විපරමක අවශ්‍යතාවය මත ද ප්‍රධාන වශයෙන් සිදු කරනු ලබයි .මෙහිදී නීතිමය අවශ්‍යතාවයක් යන්න මරණය සිදු වූයේ සිය දිවි හානිකර ගැනීමක්,පහරදීමක් මිනීමැරුමක් වැනි බාහිරින් බලපෑ හේතුව කින් නම් ඊට වගකිවයුත්තා නිශ්චිතව හඳුනාගෙන නීතිය හමුවට පමුණුවන්නට ඇති අවශ්‍යතාවය අදහස් වේ.එබදු බාහිර බලපෑමකින් මරණය සිදු වීදැයි සැක සහිත නම් අධිකරණය නියෝගයක් මගින් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන්නට නියෝග කෙරෙන අතර ඊට විරුද්ධ වන්නට කිසිවෙකුට හෝ හැකියාවක් නැත.
යම් රෝගයක් හේතුවෙන් මරණයට පත්වූ සමහර පුද්ගලයන්ගේ මළසිරුරු ද පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා වෛද්‍යවරුන් ඉල්ලා සිටින අවස්ථාව, මෘත ශරීරයක් කපන්නට සිදුවන දෙවන අවස්ථාවයි.එහෙත්, එහිදී නම් නීතිමය අවශ්‍යතාවයක දී මෙන් නොව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඥාතීන්ගේ කැමැත්තකින් තොරව එය සිදු කළ හැකි නොවේ.
මේ ආකාරයට යම් රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගිය අයෙකුගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා වෛද්‍යවරුන් ඉල්ලා සිටින්නේ එම රෝගය සම්බන්ධයෙන් විද්‍යාත්මක ව යම් පසු විපරමක් සිදු කරමින් බොහෝ රෝගීන් පිරිසකට සෙත සැලසීමේ යහපත් අරමුණ ඇතිවයි.අදාල රෝගී තත්වය හේතුවෙන් මියගිය පුද්ගලයාගේ ශරීර අභ්‍යන්තරයේ සිදුවී ඇති වෙනස්කම් හඳුනා ගැනීම ,මරණයට හේතු වූ සංකූලතා පිළිබඳ යම් අවබෝධයක් ලබා ගැනීම,රෝගයට ලබාදුන් ප්‍රතිකාරයන්හි බලපෑම ආදී බොහෝ කරුණු කාරණා පිළිබඳ යම් යම් හෝඩුවාවන් සොයා ගැනීම මෙහිදී අපේක්ෂා කරයි .
මෙබඳු පශ්චාත් මරණ පරීක්ෂණයක් තුළින් එබදු වූ තවත් බොහෝ රෝගීන් පිරිසකට යහපතක් සලසා ගන්නට හැකියාව ලැබෙයි .එහෙත් ඒ පිළිබඳ නිසි වැටහීමක් නැති සමහර පිරිස් එබඳු පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා තම ඥාතියාගේ දේහය ලබා දෙන්නට අකමැති වන අවස්ථා තිබේ.තම ඥාතියා මිය ගියද එම දේහය තුළින් තවත් බොහෝ රෝගීන්ගේ ජීවිත රැක ගන්නට හැකියාව ඇත්නම් එයද මහත් වූ පුණ්‍ය කර්මයක් නොවේද?
පශ්චාත් මරණ පරීක්ෂණයක ඇති වැදගත්කම සහ ඉන් සැලසෙන යහපත කොතෙක්ද යන්න ඉතාම මෑතකදී කොවිඩ් 19 ආසාදිත ව මිය ගිය රෝගීන් සම්බන්ධයෙන් සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා මොනවට පැහැදිලි කරයි. .
කොවිඩ් ආසාදිත “මිනීත් කපනවාද?”-පශ්චාත් මරණ පරීක්ෂණ ගැන නොදත් කතා
කොවිඩ් ආසාදිත ව මිය ගිය අයකුගේ දේහයක් පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා යොදා ගැනීම අධිකරණ වෛද්‍ය වරයකු රාජකාරීමය වශයෙන් මුහුණ දෙන අවදානමක් බව ඔබට අමුතුවෙන් පැවසිය යුතු නොවේ.එවැනි පසුබිමක අධිකරණ විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා ඇතුළු පිරිස කොවිඩ් 19දේහයන්හී පශ්චාත් මරණ පරීක්ෂණ තුළින් එම වෛරසය මිනිස් සිරුරට කරන බලපෑම පිළිබඳ මෙතෙක් හෙළි නොවූ බොහෝ කරුණු අනාවරණය කොට ගෙන තිබේ .එය ලොව පුරා සිටින කොවිඩ් රෝගීන් සුවපත් කර ගැනීමට අනාගතයේදී විශාල උපකාරයක් වනු ඇත . කොවිඩ් මරණ සම්බන්ධ මේ සොයාගැනීම් පශ්චාත් මරණ පරීක්ෂණයක ඇති වැදගත්කම කොතෙක්ද යන්න ට අලුත්ම සහ හොඳම උදාහරණයයි . පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන එම ප්‍රධාන අවස්ථා දෙක හැරුණු විට යම් යම් සුවිශේෂී මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කලයුතු අවස්ථා කිහිපයකි.පොලිස් බාරයේ සිටියදී හෝ බන්ධනාගාර ගතව සිටියදී මිය ගිය අය සම්බන්ධයෙන් මෙන්ම මානසික රෝහලක,දී මෙන්ම ලාදුරු රෝහලක නේවාසිකව සිටියදී මිය යන අයගේ දේහයන් ද පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා භාජනය කළ යුතු බව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 371 වෙනි වගන්තියෙන් අවධාරණය කෙරේ .පසුකාලීනව ළමා නිවාස වල සහ වැඩිහිටි නිවාස වල නේවාසිකව සිටියදී මිය යන අයගේ දේහයන් සම්බන්ධයෙන් මෙන්ම ගර්භනී කාලයේ දී, දරු ප්‍රසූතියේ දී ,මෙන් ම දරු ප්‍රසූතියෙන් දින හතළිස් දෙකක් ඇතුළත මරණයට පත්වන කාන්තාවන්ගේ දේහයන් සම්බන්ධයෙන්ද පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතුය යන්න ඊට ම ඇතුළත් විය .
විශේෂඥ අධිකරණ වෛද්‍ය ධනංජය ලක්සිරි වෛද්‍යරත්න සටහන:උත්පලා සුභාෂිනී ජයසේකර