කොළඹ කේන්ද්‍ර ගත සංචාරක ව්‍යාපාරය ගමට ගේනවා

කොළඹට කේන්ද්‍ර ගත වී තිබෙන ආර්ථිකය ගම වෙත ප්‍රසාරණය කිරීමේ ආර්ථික උපාය මාර්ගයේදී සංචාරක ව්‍යාපාරය ප්‍රමුඛස්ථානයක් ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.ඔහු මේ බව පැවසුවේ ඊයේ (27) කොළඹ ගලධාරි හෝටලයේ පැවති සංචාරක ව්‍යවසායක හමුවේදී ය.එහි දී අදහස් දැක් වූ දිසානායක මහතා මෙසේ ද කීය.”දැන් අපි ඇවිත් තිබෙන්නේ කොළඹ කේන්ද්‍රකර ගත් ආර්ථිකයේ උපරිමයට. මේ නිසා ග්‍රාමීය ජනතාව දක්වා ආර්ථිකය ප්‍රසාරණය කරන්න සිදුවෙනවා. ඒ වෙනුවෙන් වැදගත් ක්ෂේත්‍රයක් සංචාරක ව්‍යාපාරය. රටපුරා සංචාරක ගම්මාන ලෙස ප්‍රවර්ධනය කළ හැකි ගම් සහ නගර විශාල ප්‍රමාණයක් තිබෙනවා. අපේ ආර්ථිකය සංචාරක ආර්ථිකයක් දක්වා වර්ධනය කිරීම වැදගත් වෙනවා.ඒ වෙනුවෙන් සංචාරකයන් ගෙන්වා ගැනීම අවශ්‍යයි. ඊට අදාළව ස්වභාවික සෞන්දර්යය, ශිෂ්ටාචාරය ගොඩනැගීම පිළිබඳ අධ්‍යයනය, ජෛව විවිධත්වය පිළිබඳ අධ්‍යයනය වගේ ක්ෂේත්‍ර තිබෙන අතර, ඒ වෙනුවෙන් පළමු කොටම ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රතිරූපය ඉතාම වැදගත්. දැන් තිබෙන්නේ ඉතාම නරක චිත්‍රයක්. ලෝක බැංකුවෙන් පොහොර ගේන්න ණය මුදලක් ලබා දී එයින් හොරකම් කරනවා ද බලන්නත් කණ්ඩායමක් එවන බව කීවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ පවතින සාකච්ඡාව තුළ සිවිල් හා මානව අයිතිවාසිකම් රැකගැනීමට ආර්ථික අපරාධවලින් තොරවීම පිළිබඳවත් කතා වෙනවා. ඒ නිසා ඔවුන් ආර්ථික අපරාධ ගැන සොයා බලනවා. යුරෝපා පාර්ලිමේන්තුව, එංගලන්ත පාර්ලිමේන්තුව අපි ගැන කතා වෙන්නේ මොනවාද? කෙන්යාවේ කතා වෙන්නේ මොනවාද? බංගලිදේශයේ අගමැතිතුමිය අපි ගැන කීවේ මොනවාද? සංචාරක ව්‍යාපාරයට මොනතරම් හිතවත් පරිසර පද්ධතියක්, සම්පත් පද්ධතියක් තිබුණත් ශ්‍රී ලංකාව හැටියට යහපත් ප්‍රතිරූපයක් නැති නම් සංචාරක ව්‍යාපාරයට බලවත් පහරක් වදිනවා. මේ නිසා සංචාරක ව්‍යාපාරයට සම්බන්ධව ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රතිරූපය අපි ගොඩනඟනවා. පළමුවෙන් කළ යුත්තේ එයයි”.එම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සභාපති මහාචාර්ය අනිල් ජයන්ත, එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය, ආචාර්ය ශාන්ත ජයරත්න සමඟ විද්වතුන් පිරිසක් මෙන්ම සංචාරක ව්‍යවසායකයන් විශාල පිරිසක් සහභාගී වූහ.

කාලීන පුවත්