කෝච්චියෙන් පොල්ගහවෙල ගිය මයික්ට මොකද වුණේ?

sri lanka breaking news today sinhala

මයික් වාසය කළේ ප්‍රධාන දුම්රිය මාර්ගයේ බුළුගහගොඩ දුම්රිය ස්ථානය පෙනෙන මානයේ පිහිටි නිවසක ය. තවදුරටත් පැවැසුවහොත් බුළුගහගොඩ විහාරස්ථානයට තරමක් ආසන්නයේ ය.

මයික් යනු ඉතා කීකරු, අවුරුදු එක හමාරක් පමණ වයසැති ගුණයහපත් සුනඛයෙකි. පසුගිය නොවැම්බර් 01වෙනිදා දහවල් 1.40ට බුළුගහගොඩ දුම්රිය ස්ථානයට පැමිණෙන, පොල්ගහවෙල බලා පිටත් වන දුම්රියට නැඟ්ස් ගෙන ඇති මයික් ආගිය අතක් නැතිව ගොස් ඇත.

මයික්ගේ හාම්පුතුන් වන්නේ අජිත්ලාල් සහ රුවනී යන යුවළයි. මේ යුවළට දරුවන් නොමැත. එනිසා ඔවුහු මයික් සහ චුක්කී යනුවෙන් සුනඛයන් දෙදෙනෙකු දරුවන් මෙන් ඉතා ආදරයෙන් ඇති දැඩි කරමින් සිටියහ. මේ දෙදෙනාගෙන් වැඩිමලා මයික් ය. පෙර භවයක කරන ලද කුමක් හෝ අකුසල කර්මයක් මත මේ භවයේ තිරිසන් ආත්මයක උපත ලැබුවත් මෙම සුනඛ සුරතලුන් දෙදෙනා ඔවුන්ගේ හාම්පුතුන්ගේ අසීමිත ආදරයත්, කරුණාවත් ලබමින් ඉතාමත් සුව සුවපහසු ජීවිතයක් ගත කරන්නට තරම් පින ඇති ව සිටියහ.

මයික් සහ චුක්කී අතර පැවතියේ ඉතාමත් දැඩි වූ අන්‍යෝන්‍ය සබඳතාවයකි. ආදරයට චුක්කී යනුවෙන් ඇමතුවද චුක්කී ද මයික් මෙන්ම පිරිමි සතෙකි. පොමනේරියන් සුනඛයෙකුට මඳක් හුරු පෙනුමක් ඇති චුක්කී ව වරක් එම ප්‍රදේශයේම කිසියම් පුද්ගලයෙකු විසින් සොරාගෙන ගොස් කූඩුවක දමා තිබිණි. එදිනම රාත්‍රියේ ඉව පාරේ ගිය මයික් චුක්කී විසූ කූඩුව අසලට ගොස් කෙසේ හෝ කූඩුවේ දොර හැර චුක්කී ව කැඳවාගෙන ආපසු ගෙදරට එක්කර ගෙන එන්නට තරම් බුද්ධිමතෙක් විය.

මේ දෙදෙනා අසල්වැසි නිවෙස් වල ඇවිදින්නට ගියේ නැත. නමුත් මේ දෙදෙනාට බොහෝ ලෙන්ගතු තරුණ පිරිමි දරුවෝ දෙදෙනෙක් ඊට මඳක් ආසන්නව පිහිටි නිවසක සිටියහ. එදින ඔවුන්ගේ ලොකු අම්මා එම නිවෙසට පැමිණ සිටියා ය. කෙසේ හෝ එදින මයික් මේ පිරිමි දරුවන්ගේ නිවසට ගොස් ඔවුන් සමඟ සෙල්ලම් කරමින් හිඳ තිබිණි.

ඔවුන්ගේ නිවසට පැමිණ සිටි ඥාති වරිය යළි මිනුවන්ගොඩ බලා යාම පිණිස පස්වරු 1:40 ට බුළුගහගොඩ දුම්රිය ස්ථානයේ නවත්වන දුම්රියට නැඟීම සඳහා දුම්රිය පොළට පැමිණ තිබුණේ එම දුම්රියෙන් ගොස් ගම්පහ දුම්රිය ස්ථානයෙන් බැස ගැනීම පිණිස ය. මේ අවස්ථාවේ මයික් ද ඔවුන් පසුපසින් බුළුගහගොඩ දුම්රිය ස්ථානයට ගොස් ඇත.

මයික් ගේ හිස අතගාමින් ඔහුට ආදරය පෙන්වමින් සිටි මේ කාන්තාව දුම්රිය පැමිණෙන්නට ආසන්න වෙද්දී පෙර කී පිරිමි දරුවකුට දුරකථන ඇමතුමක් දී මයික් දුම්රිය ස්ථානයේ සිටින බැවින් වහා පැමිණ ඔහු රැගෙන යන ලෙස දන්වා තිබේ. නමුත් එම දරුවා පැමිණෙන විටම වාගේ දුම්රිය ස්ථානයේ නතර කර තිබූ දුම්රිය යළිත් පණ ගැන්වී ඉදිරියට ඇදී ගොස් ඇත.

මයික් දුම්රියපොළේ සිටියේ නැත. වහාම තම ලොකු අම්මාට දුරකථන ඇමතුමක් දුන් එම පිරිමි දරුවාට දැනගන්නට ලැබී ඇත්තේ මයික් දුම්රියට ගොඩ වූ බවයි.

sri lanka breaking news today sinhala

” ලොකු අම්මේ එහෙම නම් ගණේමුල්ලෙන් බහින්න. එතකොට මයික් ඔයාලගේ පිටිපස්සෙන් කෝච්චියෙන් බහියිනේ.අපි ඉක්මනට ගණේමුල්ල ස්ටේෂන් එකට එන්නම්” පිරිමි දරුවා පවසා ඇත.

ඒ අනුව එම කාන්තාව බුළුගහගොඩ දුම්රිය ස්ථානයට පසුව තිබෙන ඊළඟ දුම්රිය ස්ථානය වූ ගණේමුල්ලෙන් බැස ඇති අතර මයික් ද ඒ සමගම දුම්රියෙන් බැස තිබේ. නමුත් දුම්රිය නැවත පණ ගන්වත්ම නොසිතූ අයුරින් මයික් ආපසු තනිවම දුම්රියට නැග ඇත.

සිද්ධිය දැනගත් මොහොතේම රුවනි ඔවුන්ගේ ඥාති තරුණයින් දෙදෙනෙකුද සමග ත්‍රිරෝද රථයක නැගී සෑම දුම්රිය ස්ථානයක් ගාණේම විමසමින් පොල්ගහවෙල දක්වා ම ගොස් ඇත. නමුත් එම දුම්රිය පොල්ගහවෙල දුම්රිය ස්ථානයට පැමිණෙන්නේ සවස 3.10 ට පමණ ය. ඉන්පසු එසැනින් එය නැවත කොළඹ බලා පිටත් වෙයි. රුවනී ත්‍රිරෝද රථයෙන් පොල්ගහවෙලට යන විට සවස 5. 30 පමණ වී ඇත.

පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් ද තොරතුරු විමසූ මුත් කිසිවකු දුම්රියෙන් බැස එන එවැනි සුනඛයකු දැක නොතිබිණි.

දුම්රියවල සේවය කරන දුම්රිය ආරක්ෂක නිලධාරිනියක් වන සුචිත්‍රා, රුවනිගේ හිතවතියකි. මයික් අතුරුදන් වූ විස්තරය රුවනී, සුචිත්‍රා ට පවසා ඇත.

එම දුම්රියේ එවැනි සුනඛයෙකු සිටි බවත්, ඌ මහත් බියෙන් දුම්රියෙහි ආසනයක් යට ගුලි ගැසී සිටි බවත්, එවිට ඒ අසල සිටි තරුණයෙකු එම සුනඛයාගේ හිස අතගෑ අන්දම තමා දුටු බවත් සුචිත්‍රා, රුවනීට පැවසුවා ය. සාමාන්‍යයෙන් දුම්රියක සුනඛයන් ගමන් නොකරන නිසා සුචිත්‍රා ගේ අවධානය මේ සුනඛයා වෙත රැඳී තිබිණි. කෙසේ හෝ පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් දුම්රිය නතර කළ පසු රෝස පැහැති සායක් සහ බ්ලවුසයක් හැඳ සිටි කාන්තාවක් පටියකින් මෙම සුනඛයාව බැඳගෙන දුම්රියෙන් බැස ඇත. ඉන්පසු සුදු පැහැති වෑන් රථයක් කැඳවාගෙන සුනඛයාද සමගින් එහි නැගී ගිය අන්දම සුචිත්‍රා දැක තිබේ.

මේ කාන්තාව මයික් ව රැගෙන යන්නට ඇත්තේ ඔහු අතරමං වූ සුනඛයකු බව දැන ඌ කෙරෙහි හටගත් අනුකම්පාව නිසා බව නිසැක ය. නමුත් දරුවකු මෙන් ඇති දැඩි කළ මයික් ව රුවනිටත්, අජිත්ලාල්ටත් බොහෝ සෙයින් වටියි.

එපමණක් නොව තමාගේ සොහොයුරු මයික් අතුරුදන් වූ දා පටන් චුක්කී සිටින්නේ ද බොහෝ සාංකාවෙනි. චුක්කී නිවස පුරාත්, ගේ අවටත් කෙඳිරි ගගා ඇවිදිමින් තවමත් තම සොහොයුරා ව සොයයි.

දැන් රුවනිට තිබෙන්නේ එකම එක හෝඩුවාවක් පමණි. සුචිත්‍රා පවසන අන්දමට ගම්පහ දුම්රිය ස්ථානයෙන් නැග පොල්ගහවෙලින් බසින යාචක කාන්තාවක් සිටී. දුම්රිය මැදිරියේ ආසනයක් යට ගුලිවී මෙම සුනඛයා සිටි අන්දමත්, ඌ කෙරෙහි අනුකම්පාවෙන් එක් තරුණයකු උගේ හිස අතගෑ අන්දමත්, රෝස පැහැති සායක් ඇඳ සිටි කාන්තාව සුනඛයාව පටියකින් බැඳ ගෙන පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් බැස සුනඛයා ද සමග පිටවී යන අන්දමත් එම යාචක කාන්තාව දුටු බව තමා නිරීක්ෂණය කළේයැයි සුචිත්‍රා රුවනිට පවසා ඇත.

එසේම එම කාන්තාවගේ හැඩරුව ගැන ද සුචිත්‍රා රුවනිට දක්වා ඇත්තේ ඇය සෙසු යාචක කාන්තාවන් අතරින් වෙන්කර හඳුනාගැනීම පහසු වීම පිණිස ය. .රුවනිගේ අරමුණ වන්නේ කෙසේ හෝ මෙම යාචක කාන්තාව සොයාගෙන එමගින් හෝ මයික් ව රැගෙන ගිය කාන්තාව පිළිබඳව හෝඩුවාවක් සොයා ගැනීමය.

කවුරුන් හෝ මයික්‍ ව සොයා දෙන්නේ නම් එය අප්‍රමාණ වූ පුණ්‍ය කර්මයක් බව රුවනීත්, අජිත්ලාලුත් පවසති. මයික් පිළිබඳව තොරතුරක් ඇත්නම් පහත දුරකථන අංකවලට දැනුම් දීමට ඔබට ද පුළුවන.

076 2133802
077 8040202

ඉන්දු පෙරේරා

සතුන්ටත් හිමි අපේ ලෝකය