කෝච්චිවලට අලුත් පීලි දස දහසක්

දුම්රිය ධාවනයේ දී යොදා ඇති වේග සීමා ඉවත් කිරීමේ අරමුණින් අලුතින් දුම්රිය පීලි දස දහසක් ගෙන එන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ සඳහා තාක්ෂණික ඇගයීම් කමිටුව ද පත්කරමින් අදාළ කටයුතු සිදුවෙමින් පවතින බව දුම්රිය මාර්ග හා කර්මාන්ත උප දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සඳහන් කළේය.

මේ වනවිට දුම්රිය මාර්ගවල සියයට දහයත් පහළොවත් අතර ප්‍රමාණයකින් වේග සීමා පනවා ඇති බවත්, පීලි පැනීම් අවම කරගැනීමේ අරමුණින් එම ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත් එම නිලධාරියා කීවේය.

දුම්රිය මාර්ගයේ රේල් පීලි වැඩි වශයෙන් මලකඩ කා දිරාපත් වී ඇත්තේ මුහුදුබඩ මාර්ගයේ බවත්, මුහුදු ජලයේ ඇති ලවණ කාවැදීම මත එම පීලි දිරාපත් වී ඇති බවත් කී එම නිලධාරියා රේල් පීලි වැඩි වශයෙන් එම මාර්ගයට යෙදීමට සැලසුම් කර සිටින බවත් කීවේය. රේල් පීල්ලක් අඩි හතළිහක දිගින් සහ කිලෝග්‍රෑම් හයසීයකින් යුක්ත බවත්, එක් පීල්ලක් රුපියල් ලක්ෂ දෙකහමාරක් පමණ වන බවත් එම නිලධාරියා කියා සිටියේය.

පසුගිය කාලයේ මෙරටට ආනයනය කළ රේල් පීලි පන්දහසකට වැඩි ප්‍රමාණයක් දුම්රිය මාර්ගවලට සවිකර ඇත. මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට දෙපාර්තමේන්තුවටම සංචිත වශයෙන් ඉතිරිව ඇත්තේ අලුත් රේල් පීලි නවසීයක් පමණි.

කාලීන පුවත්