පසුගිය දා ඇති වූ වර්ෂාව මුල් කොට මෙවර මහ කන්නයේ වගා කළ කුඹුරු අක්කර 61,000කට පමණ හානි සිදු වී තිබේ. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය , හානියට පත් වූ කුඹුරුවල හානි වීම් තක්සේරු කිරීමේ කටයුතු වහාම අරඹන ලෙස කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට මේ වනවිට උපදෙස් ලබාදී ඇත. ඒ අනුව පසුගිය යල කන්නයේ නියඟය නිසා සිදු වූ වගා හානි තක්සේරු කිරීම් කළ ආකාරයටම, ගංවතුර නිසා සිදු වූ හානි වීම් ද තක්සේරු කිරීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් සිදු කිරීමට නියමිතව තිබේ.