ගම්බාර දෙවියන් පා පහර දී බලු රාළලා මරා දමන කතාව මඩ ප්‍රහාරයක්

අප සමාජයේ ජීවත් වන ඇතැමුන් නොයෙකුත් අභූත චෝදනා වලට ලක් වන වාර බොහෝ ය.ඒ අතුරින් සමහරෙක් සාපරාධී ක්‍රියාවන් සම්බන්ධ අභූත චෝදනාවන්ට ද ලක් වෙති.නමුත් මිනිසුන් එලෙස අලකලංචි වලට ලක් වන අතරේ අප රටේ ප්‍රකට දෙවි කෙනකු සුනඛ ඝාතන දාමයකට චෝදනාවකට ලක් වන බව බොහෝ විට ඔබ අසා නොතිබෙන්නට ඇත.

බහිරව අවතාරය

සිංහල බෞද්ධ ජන සමාජයේ ගම්භාර දෙවියන් ගැන නම් නො ඇසූ කෙනෙකුන් නැති තරම් ය.නමින් ග්‍රාම දෙවතාවකු සේ සැලකුණ ද ගම්භාර දෙවියන්ට ජාතික මට්ටමේ ගෞරවාදරයක් හිමි ව තිබේ. එසේම මෙකී ‘ගම්භාර’ දෙවියන්ගේ නම සමඟ කියැවෙන ‘සූනියම්’ යන නම ද ඔබ අසා ඇතුවාට සැක නැත.එහි අරුත වනුයේ “සව් ගම්, නියම් ගම්” හෙවත් සෑම කෘෂිකාර්මික හා වෙළඳ ගමකටම යන්න මිස අප සමාජයේ සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින “හූනියම්” යන්න නොවේ.එමෙන්ම සමහරු සූනියම් සහ ගම්භාර යනු එකම දේවත්වයක් ලෙසින්ද සළකති. මීට අමතරව එක් එක් ගම්මාන වලට මෙන්ම විවිධ පවුල් පරම්පරාවලට ද අධිගෘහිත දෙවි දේවතාවන් සිටින බවට ද විශ්වාසයක් තිබේ. ඒ සම්බන්ධයෙන් ශාස්ත්‍රීය විමර්ශන කළ විද්වතුන් පවසන අන්දමට ‘ගමේ මුත්තා’, ‘පරවේණි දේවතා’ ආදී වශයෙන් හැඳින්වෙන ඒ දෙවිවරුන් ද පොදුවේ ‘ගම්භාර’ නාමයෙන් හඳුන්වනු ලැබේ.මාදම්පේ තනිය වල්ලභ දේව විශ්වාසය පිළිබඳ විශිෂ්ඨ පර්යේෂණයක් කළ මාදම්පෙ,මහවැව,මාලිගාවත්තේ විසූ විශ්‍රාමික විදුහල්පති රෝහණ මද්දුම රාල සූරීන් වරක් මා හා පැවසූ අන්දමට මෙම ‘ගම්භාර’ දේව නාමය ප්‍රාදේශීය දේව කුලකයක් හැඳින්වීමට යෙදෙන බව වටහා ගැනීම වඩාත් සහේතුක ය.මුත්තා දෙවිවරු යන්න ද මෙවන් ගම්බාර දේවතා පිරිසක් හැඳින්වීමට යෙදෙන පර්යාය නාමයකි.
මා ඉපිද, හැදී වැඩී අද දක්වා ජීවත්වන ගම්පහ දිස්ත්‍රික්කයට අයත් ගණේමුල්ලේ තිබ්බටුගොඩ ග්‍රාමය මුල්කරගත් එබඳු ‘ගම්භාර දේවතා’ සංකල්පයක් තිබේ. ඒ එකි`නෙකට සම්බන්ධ පරම්පරා මූලයන් දෙකකට අයත් ජනතාවක් වෙසෙන අපේ ගමට යාබද හොරගොල්ල ගමට ද එක සේ පොදු ගම්භාර දෙවියෙකු පිළිබඳ රමණීය පුරාවෘත්තයකි.

කෝට්ටේ රාජධානි සමයේ හොරගොල්ල ගම්මානයේ එවකට නා ගස් අල්ලිය හෙවත් නා ගොඩ අල්ලිය නම් උස් බිමේ නා වදුලක් යට ජීවත් වූ ඔහු තිබ්බටුගොඩ, හොරගොල්ල යන ගම්මානවල ජනතාවගේ කෘෂිකාර්මික කටයුතු සඳහා නායකත්වය දුන් බව පැවසෙයි. ඔහු ජීවත් වූ නාගස් අල්ලිය හෙවත් නාගොඩ අල්ලිය මුල්කොට පසුකාලීනව හොරගොල්ල ශ්‍රී ඛෙත්තාරාම විහාරය ගොඩ නඟා ඇත.ප්‍රාදේශීය ජනප්‍රවාද වලට අනුව අප රටට මුලින්ම සම්බා වගාව හඳුන්වා දී ඇත්තේ ද ඔහු විසිනි.පසුව ඒ කුඹුරු යාය සම්බාගම නමින් හැඳින්වූ අතර අද එම ගම් කොටස හම්බාගම ලෙස විපරීත වී තිබේ.

‘ආඬිගේ’ සහ ‘සන්‍යාසිගේ’ යනු අපේ ගම්මානය වන තිබ්බටුගොඩ හා ඊට යාබද හොරගොල්ල ග්‍රාමයේ ජීවත්වන ගැමියන්ගේ පාරම්පරික පෙළපත් නාමයන් ය.
පසුව ‘සන්‍යාසිගේ’ යන පෙළපත් නාමය ‘සේනාසිගේ’ වශයෙන් ද, ඊටත් පසුව එය ‘සේනාසිංහ’ යනුවෙන් ද පරිණාමය වී ඇත.මුඛ පරම්පරානුගත කතාවලට අනුව මෙම ආඬිගේ සහ සේනාසිගේ යන පෙළපත් හිමි ජන කොටස මීට සියවස් පහ හයකට ඉහත ඉන්දියාවේ කේරලයෙන් සංක්‍රමණය වී තිබේ. මලයාලම් බස කතා කළ මොවුහු මන්ත්‍ර ගුරුකම් සඳහා ද ප්‍රසිද්ධියට පත් ජන කොටසකි..(මෙම ලියුම්කරු ද එම පෙළපතකට අයත් වූවෙකි.)

පළමුව අප රටට පැමිණ එම ගම් ප්‍රදේශය මැදින් වක්‍ර ස්වරූපයකින් ගලා බසින ඌරුවල් ඔය ආශ්‍රිතව වී ගොවිතැන ආරම්භ කළ මෙම පිරිසේ නායකයා වී ඇත්තේ ‘සිද්ධි ගුරු’ නම් මහා පෞරුෂයකින් හා කලබලයකින් යුතු පුද්ගලයෙකි.කෝට්ටේ රාජධානි සමයේ හොරගොල්ල ගම්මානයේ එවකට නා ගස් අල්ලිය හෙවත් නා ගොඩ අල්ලිය නම් උස් බිමේ නා වදුලක් යට ජීවත් වූ ඔහු තිබ්බටුගොඩ, හොරගොල්ල යන ගම්මානවල ජනතාවගේ කෘෂිකාර්මික කටයුතු සඳහා නායකත්වය දුන් බව පැවසෙයි. ඔහු ජීවත් වූ නාගස් අල්ලිය හෙවත් නාගොඩ අල්ලිය මුල්කොට පසුකාලීනව හොරගොල්ල ශ්‍රී ඛෙත්තාරාම විහාරය ගොඩ නඟා ඇත.ප්‍රාදේශීය ජනප්‍රවාද වලට අනුව අප රටට මුලින්ම සම්බා වගාව හඳුන්වා දී ඇත්තේ ද ඔහු විසිනි.පසුව ඒ කුඹුරු යාය සම්බාගම නමින් හැඳින්වූ අතර අද එම ගම් කොටස හම්බාගම ලෙස විපරීත වී තිබේ.

මෙම සිද්ධි ගුරු එවක ගමේ මුත්තා ලෙස හඳුන්වා ඇති බවත්, ඔහු ජීවත් වූ ගම් කොටුව ‘මහ ගම’ ලෙස හැඳින්වුණු බවත් කියනු ලැබේ. අදද ශ්‍රී ඛෙත්තාරාම පුරාණ විහාරය අද්දර ප්‍රදේශය, පැරණි ගැමියන් විසින් හඳුන්වන්නේ ‘මහගම ලෙසිනි.

නාගස් අල්ලිය හෙවත් නාගොඩ අල්ලිය දේවාලය

ගණේමුල්ල, හොරගොල්ලේ පදිංචි රජයේ විශ්‍රාමික කුඩා කර්මාන්ත උපදේශිකාවක වූ එස්.කර්ලැයින් සිල්වා මහත්මිය මෙම සිද්ධි ගුරු හෙවත් ගමේ මුත්තා පිළිබඳ මුඛ පරම්පරාගත කතා ප්‍රවෘත්තීන් රැසක් දැන සිටි අපේ වැඩිහිටි ඥාතිවරියකි.ඇය ඒවා එවක බාල වියේ සිටි අපට කියා දී තිබේ.ඇය පැවසූ අන්දමට අප කුඩා කාලයේ පවා ඒ ගමේ මුත්තා හෙවත් ගම්භාර දෙවියෝ බදාදා සහ සෙනසුරාදා යන කෙම්මුර දිනවල සැඳෑ යාමයේ තමන්ට අයත් ප්‍රවේණිගත ගම් බිම් බලනු පිණිස පා ගමනින් වැඩම කරති. දිගු රැවුලකින් සහ නිරාවරණ උඩුකයකින් යුතු ඒ ගමේ මුත්තාට ළය තෙක් පැතිරගත් ජටාවක් බඳු සුදු පැහැති රැවුලක් තිබේ. ඔහුගේ ගෙලෙහි ජප මාලයක් හෙවත් නවගුණ වැලකි. අතේ සෝලු ලීයක් හෙවත් සැරයටියකි. සුදු වස්ත්‍රයක් හැඳ සිටියි.මෙසේ තමන් විසින් කෘෂි ශිෂ්ඨාචාරයක් ඇරඹූ ගම් බිම් බලන්නට පා ගමනින් වැඩම කරන ගමේ මුත්තා නම් ගම්භාර දෙවියන්ගේ සූක්ෂම ශරීරය අපගේ පියැවි ඇසට නොපෙනේ. එහෙත්, අප ගම්මානයේ නිවෙස්වල ඇතිදැඩි වන බලුරාළලාට නම් එම ගම්භාර දෙවියන් හොඳින් පෙනෙයි.ඒ මිනිසුන්ට නොමැති සූක්ෂම සංවේදිතාවන් ඔවුනට තිබෙන බැවිනි. එහෙත්, අප මෙන් දෙවියන් පිළිබඳ විශ්වාස නොකරන බලුරාළලා කරනුයේ ගමේ මුත්තාගේ රුව දුටු පමණින් බුරාගෙන පැනීම ය. බලු රාළලා බුරද්දී දෙවි කෙනෙකුන් වුව ගමේ මුත්තා ද නිකම් ඉන්නේ නැත. එතුමන් කරනුයේ එසේ බුරා පනින බලුරාළලාගේ පසු පස ගාතයට හැකි වෙර යොදා පා පහරක් එල්ල කිරීම ය.

මෙසේ ගමේ මුත්තාගේ වැඩම කරවීම පියැවි ඇසට නොපෙනුණත් උන් වහන්සේගේ වැඩම වීම සමන් පිච්ච හෝ සේපාලිකා මල් සුවඳක් සේ අපගේ නාසයට දැනෙන බවට ද එවක ජන විශ්වාසයක් විය. ඒ අනුව සතියේ අන් දිනයක එවැනි සුවඳක් අත්විඳීමට සිදුවුවහොත් එය සාමාන්‍ය මල් සුවඳක් ලෙසත් බදාදා හෝ සෙනසුරාදා ගොම්මන් යාමයක එවැනි සුවඳක් විඳීමට හැකි වුවහොත් එය ගමේ මුත්තා අපේ නිවස අද්දරින් වැඩම කිරීමක් ලෙසත් කුඩා කල අපි විශ්වාස ක‍ළෙමු. අපගේ සහ අවට නිවෙස්වල බලු රාළලාගේ බිරීම් සම්බන්ධයෙන් අප තුළ පැවැති විශ්වාසය ද එපරිද්දෙන්ම විය.

එමෙන්ම අප ප්‍රදේශයේ බලුරාළලා හිටි ගමන් තමන්ගේ පසුපස ගාතය පණ නැතිව ඇදවැටෙන අන්දමත් ඉන්පසු ඔවුන් තම ඉදිරි ගාත් දෙකින් අසීරුවෙන් ගමන් කොට එය ද නොහැකිව තැන තැන වැටී දින කිහිපයක් ගැහෙමින් සිට මියයන අන්දමත් එවක අපට අතිශය සුලබ අත්දැකීමක් විය.ඉන්පසුව කටින් සෙම හලමින් මහත් වේදනාවෙන් යුතුව මියයන බලුරාළලා දෙස කඳුළු සළමින් බලා සිටි අප මොවුන් නොදැන කළ වරදට එතරම් බිහිසුණු දඬුවමක් දීම ගැන ‘ගමේ මුත්තාට’ යටිසිතින් ශාප කළෙමු.අප නිවසේ ඇති දැඩි කළ සුනඛයන් කිහිප දෙනකු ද එවන් ඛේදනීය අකල් මරණ වලය ලක් වූ අතර අප ගේ වැඩිහිටියන් පවසා සිටියේ අප ගේ ඉඩමේ “දේව පාදයක්”හෙවත් දෙවියන් පොළොවේ පය තබන තැනක් තිබීම ඊට හේතුව බවකි.එහෙත්, වෙලාවක් කලාවක් නොමැතිව බිරුසන් දෙන බලුරාළලා කෙම්මුර දිනවල සැන්දෑ භාගයේ එසේ බිරීම ගම්භාර දෙවියන්ගේ වැඩමවීමක් නිසා බව සිතීම තර්කානුකූල නොවන බව මට වැටහී ගියේ ළමාවිය ඉක්ම දැනුම් තේරුම් ඇති වයසට පැමිණෙන විට ය.එමෙන්ම අප ගමේ සිටි බලුරාළලාගේ පශ්චාත් භාගය පණ නැති වී දින ගණන් වේදනාවෙන් පසුවීමට හේතුව සුනඛ ප්‍රජාව අතරේ පැතිර යන සුනඛ ඩිස්ටෙම්පර් (Canine distemper) නම් වෛරස් රෝගය බව මා දැනගත්තේ ඊටත් කලකට පසුව ය. එම රෝගය වැළඳුණු පසු ඉතා කලාතුරකින් මිස සුනඛයෙකු ජීවත් නොවන බැවින් සුනඛයන් ඉන් මුදාගැනීමට ඇති එකම මඟ ඒ රෝගය සඳහා වන ප්‍රතිශක්ති එන්නත කල් ඇතිව ලබාදීම බවත් වටහා ගැනීමෙන් පසු ගමේ මුත්තා නම් ගම්භාර දෙවියන් ඒ චෝදනාවෙන් නිදොස්කොට නිදහස් කරන්නට මට හැකි විය.

බහිරව මුත්තා

අනෙක අප රටේ ග්‍රාම දේවතාවුන් සුනඛයන් හා අමනාප බවක් පළ කරන බව පැවසීම ද කෙසේවත් නිවැරදි නොවේ.ඊට හේතුව ග්‍රාම දේවතාවන් මෙරට ගැමි විඥානයේ ස්ථාපිත ආධ්‍යාත්මික උරුමයක් වන අතර අප වල් බල්ලන් යනුවෙන් අතිශය අවිද්‍යාත්මක හා නිග්‍රහාත්මක ව්‍යවහාරයකින් හඳුන්වන දේශීය සුනඛ ප්‍රජාව ද වසර දහ තුන් දහසක පමණ ඉතිහාසයක් හිමි අප රටේ “භූමි පුත්‍රයන්” වීම ය.ඒ බව 2007 වසරේ උඩ වලවේ අභය භූමි සීමාවට අයත් බැල්ලන්බැඳිපැලැස්සේ සිදු කරන ලද කැනීම් වල දී ඉපැරණි මානව ජනාවාසයකින් මතු වූ සුනඛ දතෙන් ද සනාථ වී තිබේ. අප රටේ දේව විශ්වාස හා සම්බන්ධ මහා සම්ප්‍රදාය ලෙස සැලකෙන භාරතීය හින්දු සංස්කෘතිය තුළ සුනඛයා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන්නෙකි.. හින්දු පුරාවෘත්තවල, සුනඛයන් මිනිසුන්ට අතිශය පක්ෂපාතී සහ විශ්වාසවන්ත සහකරුවන් ලෙස හුවා දක්වා තිබේ.ඒ අතර තම හාම්පුතුන් සුරැකීමට ඔවුන් සතු හැකියාව හින්දූන් ගේ ගෞරවයට පාත්‍ර වී තිබේ.හින්දු සංස්කෘතියේ සුනඛයන්ගේ භූමිකාව පිළිබඳ වඩාත් ප්‍රකට උදාහරණයක් තිබේ.එනම් ශිව දෙවියන් පිළිබඳ පුරාවෘත්තයයි.එතුමන් ගේ බහිරව අවතාරය හා සම්බන්ධ සුනඛ පුරාවෘත්තයට අනුව, බහිරව තමන් ගේ සහ තම සම්පත්වල ආරක්ෂාව උදෙසා නපුරු හා බලවත් සුනඛයෙකු හදා වඩා ගෙන තිබේ.ඒ අනුව භූමිය මත සම්පත් සුරකින ආතාල බහිරව ගේ වාහනය සුනඛයා ලෙස අප ජන සමාජයේ ද පිළිගැනීමක් තිබේ.

බොහෝ හින්දු නිවෙස් වල දොරටුවේ සුනඛයකු ගේ ප්‍රතිමාවක් හෝ රූපයක් ඇත, එය නපුරු ආත්මයන් දුරු කිරීමේ සහ නිවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීමේ ගුප්ත උපාය මාර්ගයක් ලෙස හින්දූහු සලකති.එමෙන්ම අප රටේ ග්‍රාම දේවතාවකු වන මොරටු දෙවියන් ගේත් වන්නි හත් පත්තුවේ බහිරව මුත්තා දේවතාවා ගේත් ආරක්ෂකයා ද සුනඛයා වීම මත ගම්බාර දෙවියන් පා පහර දී අසරණ සුනඛයන් ඝාතනය කරන කතාව එතුමන්ට එරෙහි අපගේ ගැමි සමාජයෙන් එල්ල වූ මඩ ප්‍රහාරයක් බව “දෙයියන් ගේ නාමයෙන්”කිව යුතුව තිබේ.

බොහෝ දෙනකු නොදත් නමුදු සුනඛයා විෂ්ණු දෙවියන් සමඟ ද සම්බන්ධ කොට තිබේ.විෂ්ණු ගේ දස අවතාර අතරේ සුනඛයෙකු ද ඇතැයි විශ්වාස කෙරේ. වාමන නමින් හැඳින්වෙනුයේ විෂ්ණුගේ සුනඛ අවතාරය බවත් යක්‍ෂ රජු වන හිරණ්‍යකශිපුව පරාජය කරමින් විශ්වය යථා තත්ත්වයට පත් කිරීමේදී වාමන තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ බවත් පුරාණෝක්තීන් හි සඳහන් ය.

හින්දු සම්ප්‍රදායට අනුව මළවුන් ගේ ආත්ම මරණින් මතු ජීවිතයට යොමු කිරීමේ හැකියාව සුනඛයන් සතු බවක් විශ්වාස කෙරේ.නිවාස නොමැතිව අතර මඟ දිවි ගෙවන සඳහා ආහාර සහ ජලය අතහැර දැමීමේ පුරුද්දෙන් මෙම විශ්වාසය පිළිබිඹු වන අතර මියගිය අයගේ ආත්මයන් ඊළඟ ලෝකයට මඟ පෙන්වීම සඳහා උපකාර කිරීමේ මාර්ගයක් ලෙස ද එය හඳුන්වනු ලැබේ.බොහෝ හින්දු නිවෙස් වල දොරටුවේ සුනඛයකු ගේ ප්‍රතිමාවක් හෝ රූපයක් ඇත, එය නපුරු ආත්මයන් දුරු කිරීමේ සහ නිවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීමේ ගුප්ත උපාය මාර්ගයක් ලෙස හින්දූහු සලකති.එමෙන්ම අප රටේ ග්‍රාම දේවතාවකු වන මොරටු දෙවියන් ගේත් වන්නි හත් පත්තුවේ බහිරව මුත්තා දේවතාවා ගේත් ආරක්ෂකයා ද සුනඛයා වීම මත ගම්බාර දෙවියන් පා පහර දී අසරණ සුනඛයන් ඝාතනය කරන කතාව එතුමන්ට එරෙහි අපගේ ගැමි සමාජයෙන් එල්ල වූ මඩ ප්‍රහාරයක් බව “දෙයියන් ගේ නාමයෙන්”කිව යුතුව තිබේ.

තිලක් සේනාසිංහ

උරුමයක අසිරිය